brand logo

තරුණයෝ පස්සෙන් එනකොට මට ලැජ්ජයි - මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න

13 August 2018

මෙරට තරුණ තරුණියන්ට ව්‍යවසයකත්ව හැකියාවක් නොමැති නිසා රැකියා ඉල්ලමින් දේශපාලකයින් පිටුපස යන මට්ටමට වැටී ඇති බවත් දේශපාලකයෙකු ලෙස තමන් ඒ පිළිබඳව ලැජ්ජාවට පත්වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. මෙම මස 29, 30 සහ 31 වැනි දිනවල මොණරාගල දී පැවැත්වීමට නියමිත එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. වර්තමානයේ මෙරට ව්‍යවසායකයන් ලෙස හඳුනාගෙන ඇත්තේ වැඩ කරන ජනතාවගෙන් සියයට 2.8ක් පමණ වන ඉතා සීමිත පිරිසක් බවත් වියට්නාමයේ ඒම ප්‍රතිශතය 19.6%ක්. තායිලන්තයේ 20%ක්ම හා චීනයේ 7.5%ක් ලෙස හඳුනාගෙන ඇති බවත් ඔහු පවසයි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වික්‍රමරත්න මහතා 'ශ්‍රී ලංකාවේ සමස්ත ව්‍යවසායකන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ තිස්දහසයි. ව්‍යාවසායකත්වය කියන්නෙ අපේ ඇගේ තියෙන දෙයක්. ඉතිහාසය දිහා බලපුවාම අපට ඒක ඔප්පු කරල පෙන්වන්න පුළුවන්. අපි යුරෝපය වගේ රටවලට තානාපතිවරු යැවුවෙ මීට අවුරුදු දාහකට විතර ඉස්සර. ඒ තරම් ශක්තිමත් ව්‍යවසායක පරපුරක් අපට හිටියා. ඒත් අද තත්ත්වය වෙනස්. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණ මේ ප්‍රමාණය ලක්ෂය දක්වා ඉහළ නැන්වීමයි. ඒ සඳහා තමයි මේ ව්‍යාවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වෙන්නෙ. ගම් දනව් වල සිටින ඉන්න තරුණ කොටස් මේ රටේ ව්‍යාවසායකත්ව පරපුරට එකත් කිරීම මෙහි අරමුණයි. සංවර්ධනය කරා ශ්‍රී ලංකාව රැගෙන යන ගමනේ දී ඔවුන්ගේ දායකත්වය ඒ සඳහා ලබා ගැනීම සඳහා මේ වැඩසටහන ක්‍රියාත්මකයි." මෙම අවස්ථාවට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඩී.එස්. පත්මකුලසූරිය යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. මීට අමතරව දිස්ත්‍රක්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, යුද හමුදා, පොලිස්, විදුලිබල මණ්ඩල, ජල සම්පාදන ඇතුළු රාජ්‍ය ආයතනවල නියෝජිත‍යෝ සහ ග්‍රාම නිලධාරීහු මෙම අවස්ථාවට එක් වූහ. සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා ඇතුළු පිරිස ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත භූමියේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූහ.
 

More News..