brand logo

දේපොළ සංවර්ධනයට සමාගමක්

26 July 2020

දේපොළ සංවර්ධනය සහ ආයෝජනය සඳහා වූ රජයට අයත් සමාගමක් ස්ථාපිත කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ‘සෙලෙන්ඩිවා ඉන්වෙස්මන්ට්ස් ලිමිටඩ්’ (Selendiva Invesments Ltd) නම් මෙම ආයතනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර ඇති සංචාරක ක්ෂේත්‍රය සමග සමගාමීව යන ‘සත්කාරක සේවාවලට’ අදාළ රාජ්‍ය ආයතන සහ දේපොළ නගාසිටුවීම සඳහා වූ දැක්ම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පිහිටවූ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මෙම සමාගමේ සභාපතිත්වය දරනු ලබන්නේ නාගරික සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන නිමල් පෙරේරාය. ඔහු සමග මහා භාණ්ඩාගාරය විසින් නම් කළ පී.ඒ.එස්.ඒ. කුමාර, විසාකා අමරසේකර, ආර්.ඒ.එල්. උදයකුමාර යන නියෝජිතයන් අධ්‍යක්ෂවරු ලෙස කටයුතු කරති. අනෙක් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා වන්නේ වෝටස් එජ් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු පුල්ලේය. මෙම ආයතනය විසින් ආරම්භයේදී රජයට කොටස් හිමි හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) පීඑල්සී (කොළඹ හිල්ටන් හෝටලයට අනුබද්ධ), කැන්වින් හෝල්ඩිංස් ලිමිටඩ් සහ ග්‍රෑන් ඔරියන්ටල් හෝටලය යන ආයතන කළමනාකරණය කරනු ඇත. ඒ වෙනුවෙන් සුදුසු ‘රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව’ ක්‍රමවේද ද උපයෝගි කරගනු ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. නයන තරංග ගමගේ
 

More News..