brand logo

දෙහි ගෙඩි දෙකක් තරම්වත් උස නැති උඹ නළුවෙක් වෙන්නේ කොහොමද? තාත්තා මූණටම කිව්වා

28 October 2019

ඔහු විශේෂයි. හැම චිත්‍රපටයක් තුළම ඔහු වැඩක් කරනවා. ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් තමා ඔහුගේ අලුත්ම වැඩේ. නමුත් අතීතයේ බොහෝ දේවල් සමග මේ ආ ගමන ගැන මොහොතක් මහේන්ද්‍ර හා දොඩමලු වුණා. පාසල් කාලේ ‘‘ගණන් පාඩම’’ මග හැරලා වයලින් ගහපු යුගය තාමත් මතකද? ඔව්. එහෙම කාලයක් තිබුණා. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේදී මම ගණන් පාඩම කට් කරලා මගේ පන්තියේ මිතුරකු වූ අද සංගීතඥයෙක් වන කලණි පෙරේරා සමග වයලින් ගහනවා. ඒ කාලේ මම සංගීතයට පිස්සු වැටිලා හිටියේ. මම හිතන්නේ මම ජීවත් වුණු පරිසරය ‘‘ගල්කිස්ස’’ තමයි මාව සංගීතයට යොමු කළේ. ගල්කිස්ස කියන්නේ Bands වලට music වලට night life එක හොඳට තිබුණු rock පුරවරයක්. ඉතින් අපිත් ගල්කිස්ස පැත්තට ගිහිල්ලා Band ගහනවා බලාගෙන ඉන්නවා. අපිත් ගිටාර් ගහනවා. සින්දු කියනවා. හොඳට විනෝද වෙනවා. මේ මොනවා කළත් මගේ හිතේ බලාපොරොත්තුවක් තිබුණා නළුවෙක් වෙනවා කියන එක. O/L අසමත් වූ නිසා පියාගෙන් නළු සිහිනයට ඉඩක් ලැබුණේ නෑ නේද? ඔව්. මම O/L දෙපාරක් කළා. දෙපාරම සමත් වුණේ වැඩ 06ක් පමණයි. මේ නිසා තාත්තාට ලොකු බයක් තිබුණා මගේ අනාගතය ගැන. අනිත් එක මට තියෙන්නේ නළු පිස්සුව නිසා තාත්තා ලොකු බයකින් හිටියේ. මොකද ඒ කාලේ නළු සංස්කෘතිය දිහා බැලුවාම නළුවෙක් වෙන්න මට කිසිම සුසුදුකමක් තිබුණේ නැති නිසා. තාත්තා මට නිතරම කිව්වා කලාව කරලා හරියන්නේ නෑ. නළුවෙක් වෙන්න උඹ දෙහි ගෙඩි දෙකක් තරම්වත් උස නෑ කියලා. ඒත් තාත්තා මොනව කිව්වාත් මම නළු පිස්සුව අත හැරියේ නෑ. මේක තේරුම් ගත්ත තාත්තා මට පොඩි යෝජනාවක් ගේනවා. O/L සමත් වෙන්න, රඟපාන්න යන්න දෙන්නම් කියලා. ඒත් තාත්තා පොරොන්දු කඩ කළා නේද? ඔව්නේ. මම හොඳට පාඩම් කරලා කොහොම හරි තුන්වැනි සැරේ O/L ගොඩ දා ගත්තා. එදා තාත්තට හරිම සන්තෝෂයි. තාත්තා කිව්වා ok පාස්නේ ඔයාට හොඳට ඉගෙන ගන්න පුළුවන් වුවමනාවක් නෑ. ඒකයි අපරාදේ A/L කරලම රඟපාන්න යන්න කියලා. ඉතින් මොකද කරන්නේ මම A/L විද්‍යා විෂයන්වලින් කළා. නමුත් සමත් වුණේ නෑ. මේ නිසා තාත්තාගේ හිත නරක් වුණා. තාත්තගෙන් පළිගන්නද ගෙදරින් පැනලා ගියේ? තාත්තා මට රඟපාන්න අවසරය ලබා දුන්නේ නෑ. එයාට වුවමනා වුණේ මාව දැන් රස්සාවකට යවන්න. මට ඕන වුණේ විෂය හදාරලා හොඳ නළුවෙක් වෙන්න. දැන් මගේ හිතටත් හරි නෑ. මම අම්මට කියලා, අපේ අයියා කෙනෙක් හිටියා හපුතලේ යහලබැද්ද පැත්තේ. හරි සුන්දර ගමක්. මම එහේ ගිහිල්ලා නතර වුණා. මෙම හිටිය ගෙදරට අල්ලපු ගෙදර තමයි උපුල් ශාන්ත සන්නස්ගල හිටියේ. ඉතින් අපි දෙන්නා නාට්‍ය ගැන චිත්‍රපට ගැන, නිතරම කතා බස් කරනවා. ටික දවසකට පස්සේ තාත්තාගෙන් පණිවුඩයක් එනවා. ගෙදර එන්න ඇවිල්ල ඕන රඟපෑමක් කර ගන්න, හැබැයි මගෙන් සල්ලි නම් ඉල්ලන්න එපා කියලා. ඉතින් ඒ වේලාවේ මටත් ලොකු ආඩම්බරයක් ආවා. තාත්තාගේ සල්ලි මට ඕන නෑ. මම කොහොම හරි නළුවෙක් වෙනවා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ඇවිල්ලා මම ධම්ම ජාගොඩ මහතාගේ රංග ශිල්ප කලායතනයට එකතු වුණා. ඒක මට හරි ගියේ නෑ. ඉන් පස්සේ මම ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතා යටතේ රංගන කලාව ඉගෙන ගන්නවා. එතුමා තමයි මගේ ඇස් පාදන්නේ. විෂය හදාරගෙන, කරුණු සොය සොයා තර්ක විතර්ක කරගෙන වසර 05ක් පමණ මම එතුමා සමග කාලය ගත කරනවා. මේ කාලයේදී තමයි ඔබට ‘‘සක්විති සුවය’’ ලැබෙන්නේ. මගේ ගේ ළඟ තමයි අරිසෙන් අහුබුදු සූරීන්ගෙත් නිවස තිබුණේ. අහුබුදු මහතාගේ පුතා එක්ක මම හරි යාළුයි. අපි එතැන ක්‍රිකට් පවා ක්‍රීඩා කරනවා. ඒ ගෙදරට ගිය වෙලාවට අහුබුදු මහත්තයා මට ධර්මය පිළිබඳ, සමාජයේ ජීවත් වන ආකාරය පිළිබඳව උපදෙස් ලබාදෙනවා. එතුමා දැනගෙන හිටියා මම ආචාර්ය සාලමන් ​ෆොන්සේකා යටතේ කලාව හදාරනවා කියලා. ඉතින් මම දවසක් අහුබුදු සූරීන්ට කිව්වා ‘‘සර්’’ ගාමිණී ෆොන්සේකා ‘‘සර්’‘ අලුතින් චිත්‍රපටයක් කරන්න යනවා. මාව කොහොම හරි කතා කරලා ඒ චිත්‍රපටයට සම්බන්ධ කරලා දෙන්න කියලා. මගේ ඉල්ලීම අහුබුදු මහතා අහක දැම්මේ නෑ. ගාමිණී සර්ගේ නිවස ඉතාමත් කිට්ටුව තිබූ නිසා අපි දෙදෙනා පයින්ම ගොස් ගාමිණී මහතා මුණ ගැසුණා. එදා තමයි මට සක්විති සුවය චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ. තාත්තගෙන් සල්ලි ඉල්ලන් නෑ කියපු ආඩම්බර කතාවට මොකද වුණේ ? රඟපෑවට කොහෙන්ද සල්ලි. අම්මාගේ පර්ස් එකට විද්දා. තාත්තාගේ සාක්කුවට හොරෙන්ම බැස්සා. ප්‍රංශය, බෙල්ජියම්... වැනි රටවල්වලින් ඇවිල්ලා ලංකාවේ වැඩමුළු කළා. ඒවාට සල්ලි ඕනෙනේ. නමුත් මම සුරතල් මසුන් ඇති කරලා උන් විකුණලා සල්ලි ටිකක් හොයා ගත්තා. මොකක්ද නිහාල් සිල්වාට ඉංග්‍රීසි උගන්වපු කතාව ? ආ... ඒ දේ සිද්ධ වුණේ හෙලේනා ලෙත්තමිගේ නාට්‍ය වැඩමුළුවලදී. ඒ වැඩමුළු සියල්ල සිද්ධ වුණේ ඉංග්‍රීසි භාෂාවෙන්, නිහාල් සිල්වා ඒ වැඩමුළුවලට සහභාගි වුණා. ඉතින් මම තමයි ඉංග්‍රීසියෙන් කියන දේවල් සිංහලයට පරිවර්තනය කරලා නිහාල් ඇතුළු අනෙක් පිරිසට කියලා දුන්නේ. ඒ වැඩමුළුවලින් පස්සේ හෙලේනා ලෙත්තමි ‘‘පුන්තිලා’’ සහ ගිම්හානයක සිහිනයක් කියලා වේදිකා නාට්‍ය 2ක් කළා. අපි තමයි ඒ නාටවල නළුවො වුණේ. වැඩමුළුවලින් පස්සේ තමයි නිහාල් සිල්වා, සාජන්ට් නල්ල තම්බි වුණේ. මම ඒ නාට්‍යවල මුල් කාලයේ රඟපෑවේ නෑ. නමුත් පසුව රඟපෑවා. ඔබ රඟපෑ උදයකාන්තගේ President super star චිත්‍රපටය ගැන අදහස ? උදයකාන්ත කියන්නේ විවිධ වූ ශෛලීන් ඔස්සේ වෙනස් වූ කතා තේමාවන් තෝරාගෙන නිර්මාණ කරන අධ්‍යක්ෂවරයෙක්. President Super Star චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට එය නරඹන තුරු සිතා ගැනීමට බැරි නිර්මාණයක් වේවි. මම උදයකාන්තව දකින්නේ H.D ප්‍රේමරත්න වැනි මැද මාවතේ සිනමාකරුවකු ලෙසයි. චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් සඳහන් කළොත්? එදා සිට අද දක්වා ජරාජීරණය වූ දේශපාලනය හා දේශපාළුවන් පදනම් කරගෙන තමා මේ කතාව ගොඩනගලා තියෙන්නේ. කෙටියෙන් කියනවා නම් SMS වලින් ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම තමයි චිත්‍රපටය පුරා කියවෙන්නේ. මේ reality තරගයට විවිධ දේශපාලන මත දරන පුද්ගලයන් තරග කරනවා. ශ්‍රියන්ත මෙන්ඩිස් තරග කරන්නේ ධනවාදී දේශපාලන ආකල්ප දරන පුද්ගලයෙක් ලෙසයි, මම තරග කරන්නේ වාමාංශික මත දරන තරගකරුවෙක් ලෙසයි. ඊට අමතරව වැදි පරම්පරාව නියෝජනය කරමින්ද තරගකරුවෙක් මේ සඳහා ඉදිරිපත් වේ. මේ අතරින් කවුද ජයග්‍රහණය කරන්නේ කියලා චිත්‍රපටය නැරඹුවම ඔබට දැනගන්න පුළුවන්. මේ චිත්‍රපටයේ නළු නිළියෝ බොහොමයක් රඟපානවා කියලා ආරංචියි ? ඔව්. නළු නිළියෝ 80 ක් විතර රඟපානවා. වේශ නිරූපණ ශිල්පී වසන්ත විට්ටච්චි විහිළුවට වගේ කිව්වා චිත්‍රපටයේ නාමාවලියට රඟපාන අයට වඩා රඟ නොපාන අයගේ නම් දැම්මොත් ලේසියි කියලා. දර්ශන දියතිලක
 

More News..