brand logo

දෙහිවල සත්වෝද්‍යානයේ හෙරොයින් ජාවාරම් කළ සේවකයෙක් STF අත්අඩංගුවට

17 October 2019

දෙහිවල සත්ව උද්‍යානයේ සේවය කරන සේවකයෙකු හෙරොයින් ග්‍රෑම් 100ක් සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව දෙහිවල සත්ව උද්‍යානය තුළ තිබූ සැකකරුගේ කබඩ් එකක සගවා තිබූ තවත් හෙරොයින් ග්‍රෑම් 400ක් සොයාගෙන ඇත. ඒ අනුව මෙම සැකකරුගෙන් සොයාගත් සමස්ත හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 500ක් බව පොලීසිය සදහන් කළේය. මෙලෙස අත්අඩංගුවට සැකකරු වයස අවුරුදු 41ක් වන විදානආරච්චිගේ නාලක පුෂ්පකුමාර නම් අයෙක් වන අතර, ඔහු සත්ව උද්‍යානය තුළ හෙරොයින් සගවා තබාගෙන ඒවා ජාවාරම් කරන බවට අනාවරණය වී ඇත. මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේ හෙරොයින් ග්‍රෑම් 100ක් සමග දෙහිවල ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගත් වයස අවුරුදු 34ක් වූ දෙහිවල ප්‍රදේශයේම පදිංචි සැකකරුවෙකුගෙන් ලද තොරතුරක් මත බව පොලීසිය සදහන් කළේය. අනතුරුව ඉහත සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් පසුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් කටුබැද්ද ප්‍රදේශයේදී සුඛෝපබෝගී මෝටර් රථයක් පරීක්ෂාවකට ලක්කර තිබේ. එම මෝටර් රථයේ පුද්ගලයින් දෙදෙ‌නෙකු සිට තිබූ අතර එහි රියදුරු වශයෙන් කටයුතු කළ අයෙක් වේ. එම අවස්ථාවේ අදාළ රියදුරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 68ක ප්‍රමාණයක් සහ රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් සොයාගෙන තිබේ. එම සුඛෝපබෝගී මෝටර් රථයේ ගමන්ගත් අනෙක් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 15ක්, නවීන පිස තෝලයක්, එම මැගසින් 01ක් සහ 9මිලිමීටර් සජීව පතරොම් 05ක් සොයාගෙන ඇත. මොහොමඩ් ජුනේදීන් නමැති මෙම සැකකරු පසුගිය 12 වන දින කටුබැද්ද ප්‍රදේශයට පැමිණ එහි හෝටලයක නවාතැන් ගෙන සිට ඇති බව පොලීසිය පවසයි. මෙම හෙරොයින් ජාවාරම වැලිකඩ බන්ධනාගාරයේ සිටින සැකකරුවෙකු විසින් මෙහෙයවා ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අනාවරණය කරගෙන ඇත.
 

More News..