brand logo

දෙහිවල සත්තු කැලේට මුදා හැරීමේ තීරණයක්

04 June 2022

ආහාර අර්බුදයෙන් සතුන්ට උන්හිටි තැන් අහිමි වෙයි

ඉදිරියේදී දෙහිවල සත්වෝද්‍යානයේ ආහාර අර්බුදයක් ඇතිවුවහොත් වැඩි ගහනයක් සහිත සතුන් දරුණු සතුන් නොගැවසෙන අභයභූමි ප්‍රදේශයන්ට මුදාහැරීමට තීරණය කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත පැවැසීය. සත්වෝද්‍යානය තුළ ප්‍රදර්ශනය සඳහා එක් වර්ගයකින් සතුන් හතරක් පමණක් සිටීම සෑහෙන බව හා මීමින්නන්, මුවන් වැනි වැඩි ගහනයක් සහිත සතුන් වනජීවී දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව එලෙස තෝරාදෙන භූමි ප්‍රදේශයකට නිදහස් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් සත්වෝද්‍යානයේ ප්‍රකාශකයකු සඳහන් කළේ රට පුරා පවතින ආහාර අර්බුදය මේ වනවිටද දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ට බලපා ඇති බවය. ටෙන්ඩර් මගින් සත්ත්ව ආහාර ලබාදෙන පුද්ගලයන්ට මුදල් ගෙවීමට සත්වෝද්‍යානය සතුව මුදල් නොමැති බව හා එහෙයින් ආහාර සැපයුම්කරුවන් මුදල් ගෙවනතෙක් ආහාර සැපයීම ප්‍රමාද කරන බව ඔහු පැවසුවේය. මේ පිළිබඳව අප කළ විමසීමකදී අධ්‍යක්ෂවරයා සඳහන් කළේ වාර්ෂික ටෙන්ඩරයක් මගින් ආහාර ද්‍රව්‍ය ලබාගන්නා බවත් ටෙන්ඩර් කාලසීමාව තවමත් කල් ඉකුත් වී නොමැති හෙයින් එවැනි ගැටලුවක් මතු වී නොමැති බවත්ය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ ආහාර අර්බුදයට සහ මුදල් ඉතිරි කරගැනීමට පිළියම් ලෙස කාලයක් පුරා සත්වෝද්‍යානයේ සතුන්ට ලබාදුන් මිල අධික ආහාර වර්ග වෙනුවට මේ වනවිට ආදේශක ආහාර වර්ග සඳහා සතුන් පුරුදු කරමින් පවතින බවය. ඒ අනුව ඇපල්, දොඩම් වැනි පලතුරු ආහාරයට ගත් සතුන්ට පේර වැනි පලතුරු සහ අධික මිලෙන් යුතු සූරියකාන්ත බීජ ආහාරයට ගත් පක්ෂීන්ට වෙනත් කුඩා බීජ වර්ග ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් ගොවිපළවල ආහාර නිෂ්පාදනය වැඩි කිරීමටද කටයුතු යොදා ඇති බව හෙතෙම කීය. මේ වනවිට ගෝනපොල ගොවිපළෙහි තෘණ හා බෝග වර්ග විශාල ප්‍රමාණයක් වගා කර ඇති අතර රිදියගම උද්‍යානයේ අක්කර විස්සකින් යුතු ගොවිපළක් තැනීමට නියමිත බව අධ්‍යක්ෂවරයා පැවසුවේය. එමෙන්ම සත්වෝද්‍යානයේ ආදායම් වැඩිකරගැනීමට කොවිඩ් සමයේ නතර කෙරූ විවිධ ක්‍රියාකාරකම් නැවතත් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද හෙතෙම කීය. අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ විෂබීජ ශරීර ගතවීම් හේතුවෙන් සතුන්ට පිටින් ආහාර ලබාදීම නතර කර ඇති බවයි. එසේම සතුන්ට ආහාර ලබාදීමට කැමැති අයකුට වියළි ආහාර, ව්‍යාඝ්‍ර පැටවුන් සඳහා කිරිපිටි සහ අලි ඇතුන්ට උක් දඬු වැනි ද්‍රව්‍යයන් සත්වෝද්‍යානයට ලබාදීමට හැකියාව පවතින බවද ඔහු පැවැසීය. එරංදි කෞශල්‍යා
 

More News..