brand logo

දෙස් විදෙස් බලපෑම් නිසා ජනපතිගේ තොණ්ඩුව ගැලවෙන ලකුණු !

30 June 2019

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය - ක්‍රියාත්මක නොවන තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තා වේ. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන් අතරින් සිව් දෙනකුට මරණ දඬුවම ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය 26 වැනිදා තීරණය කළ බව සඳහන් කිරීමත් සමග දෙස් විදෙස් පාර්ශ්ව ගණනාවකින් එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීම අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. අන්තර්ජාතික ක්ෂමා ආයතනය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, කැනඩාව ඇතුළු ප්‍රබල සංවිධාන හා රටවල් ගණනක් දැඩි විරෝධය දක්වා ඇත. ඊට අමතරව ආණ්ඩුව නියෝජනය කරනු ලබන එක්සත් ජාතික පක්ෂයද ඊට දැඩි විරෝධයක් දක්වා තිබේ. මීට අමතරව මෙරට තවත් පක්ෂ හා සංවිධාන ගණනක් විරෝධය මතු කර ඇත.ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් මෙලෙස විවිධ අදහස් මතුවීම නිසා මරණ දඬුවම ලබාදීම පිළිබඳ මේ වන තෙක් අවසන් තීරණයක් ලැබී නොමැත. ජනාධිපතිවරයා සඳහන් කළේ සති දෙකක් ඇතුළත එම තීන්දුව ක්‍රියාත්මක කරන බවයි. එහෙත් පසුගිය සති අන්තය වන තෙක් අදාළ තීරණය අධිකරණ අමාත්‍යාංශයට ලැබී නොමැති බව එහි ප්‍රකාශකයකු සඳහන් කළේය. ජනාධිපතිවරයා අත්සන් තබා ඇති මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයාට ඒ බව අදාළ දිනට සතියකට පෙර දැනුවත් කළ යුතු අතර ඔහුට අවශ්‍යනම් සති දෙකක් ඇතුළත ජනාධිපතිවරයා වෙත අභියාචනාවක් ඉදිරිපත් කළ හැකිය. එල්ලුම් ගහට නියම වූ එක්දහස් දෙසිය හැට එක් දෙනෙක් සිටින අතර ඉන් අටසිය විසිතුන් දෙනකු අභියාචනා යොමු කර තිබේ. සුගන්ධි බස්නායක
 

More News..