brand logo

දෙවෙනි මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබාදිය නොහැකි

16 February 2021

    කොවිඩ් එන්නත භාවිතයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය දී තිබෙන ප්‍රමුඛතා ලයිස්තුවේ දේශපාලනඥයින් නොමැති බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතියක් සඳහන් කරනවා. තවද වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ දැනට ලංකාවට ලැබී ඇති එන්නතේ දෙවන මාත්‍රාව වෙනත් කණ්ඩායම් වලට ලබාදීම තුලින් පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලබාදීමට නොහැකි තත්වයක් උදාවිය හැකිය යන්නයි එම එන්නත ලබාදුන් පසු දෙවෙනි මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබාදිය නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා. පසුගිය ජනවාරි 28 ප්‍රදානයක් ලෙස ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මෙරටට ලැබුන අතර ඉන් මාත්‍රා 192,938ක් මේ වනවිට විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින්ට ලබාදී ඇත.   "ඇත්තටම ගත්තොත් තව එන්නත් 60,000යි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. මොකද 250,000ක එන්නත් ප්‍රමාණයක් දෙවන මාත්‍රාව සඳහා ඉතිරිකර ගන්නට ඕනේ. එන්නත් දෙක අතර පරතරය වැඩි කිරීම හොඳ දෙයක් වෙන්නට පුළුවන්. නමුත් මේ එන්නත් දෙවන මාත්‍රාව වෙනත් වැඩක් සඳහා යොදා ගැනීම සඳහා ද කියලා මහජනතාවට අපැහැදිලි තත්ත්වයක් ඇති වෙනවා. කිසියම් හේතුවක් නිසා ඉන්දියාව අපිට ඊළඟ වටයේදී කොවිෂීල්ඩ් එන්නත ලබා දුන්නේ නැත්නම් පළවෙනි මාත්‍රාව දුන්නු අයට දෙවන මාත්‍රාව ලබාදීමට නොහැකි වන තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. දෙවෙනි මාත්‍රාව වෙන එන්නතක් දෙන්නත් බෑ. අපි කියන්නේ දෙවන මාත්‍රාව වෙනත් කණ්ඩායම්වලට යෙදීම කියන කාරණාව සෞඛ්‍ය අමාත්‍යාංශය අතිශය වශයෙන් තහවුරු කරගෙන කළයුතු දෙයක්. අනික ප්‍රමුඛතාවයේ අනුපිළිවෙලින් ගුරුවරු, මාධ්‍යවේදීන් ආදී විශාල පිරිසක් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය දීලා තියෙන අනුපිළිවෙලේ දේශපාලකයන්ගේ එකක් නෑ."
 

More News..