brand logo

දෙවියන් වහන්සේ ළඟට ලෙඩුන් යැවුවොත්

29 December 2019

රෝමානු කතෝලිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන බයිබලයේ නව ගිවිසුමේ ජේසුතුමන් රෝගීන් සුවපත් කෙරූ බව සඳහන් වේ. බයිබලයේ සඳහන් ආකාරයටම තමන්ටද රෝග සුව කළ හැකි බව පැවසූ බොහෝ පිරිසක් රටේ එක් එක් තැනින් මතු වී නැති වී ගියහ. ඒ අතරින් බොහෝ දෙනකුගේ දේවස්ථාන බංකොළොත් වූයේ යාච්ඤාවෙන් ලෙඩ සනීප කරන්නට පැමිණි ඇතැම් අය රෝගය උත්සන්න වී මියගිය නිසාය. කලක් යටපත්ව තිබූ මෙම ලෙඩ සුව කිරීමේ කතාව පසුගිය දිනක නැවත කරළියට එන්නේ ගණේමුල්ල හොරගොල්ල පදිංචිව සිටි හැටනව හැවිරිදි ජෝර්ජ් ඇන්තනී නම් දෙදරු පියා යාච්ඤා විජ්ජාකාරයකුට හසුව මිය යාමෙනි. මෙම සිද්ධියේ ශෝචනීයම කරුණ නම් තමාගේ සොහොයුරා මියගිය සොවින් ඔහුගේ වැඩිමහල් සොහොයුරිය වූ තෙරේසා සිල්වා නම් කාන්තාවද මියයාමය. ඇය තමාගේ සොහොයුරාගේ දේහය අසල ‘උඹල මගේ මල්ලි මරාගත්තා’ කියමින් හඬා වැලපී ඇත. ඇන්තනී සිල්වාගේ දියණියන් දෙදෙනා වන සුගන්ධි සහ දිනූෂා යන දෙදෙනාගේ සහ සුගන්ධිගේ ස්වාමිපුරුෂයා වන රංගනගේ කැමැත්ත නිසා නිව්මෝනියා රෝගයෙන් පෙළුණු තම සොහොයුරාට වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ඉඩ නොලැබුණ බව පවසමින් හඬන විට තෙරේසා සිල්වා මියගොස් සිටියාය. ඇයගේ මරණය ළය පැලී සිදු වූවක් බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ. මියගිය ඇන්තනී සිල්වාගේ දියණියන් දෙදෙනා සහ බෑණා වන රංගන ඇන්තනි සිල්වාව ලෙඩ සුවකර ගැනීමට ගෙන ගොස් ඇත්තේ ඒකල පිහිටි Christ's Gospel Church නම් දේවස්ථානයකටය. මෙම දේවස්ථානයේ ප්‍රධාන දේවගැතිවරයා ලෙස කටයුතු කරන්නේ කිංස්ලි වනිගසිංහ නම් පුද්ගලයාය. තමා කරන සුව කිරීමේ මෙහෙයන්ට පැමිණෙන පිරිස් සුව වෙන්නේ මෙසේ යැයි ඔහු වීඩියෝ පටිගත කරන අතර ඒවා තමාගේ You tube නාළිකාවටද මුදා හරී. ඇන්තනී සිල්වාට ආශිර්වාද කරමින් එම ආශිර්වාද ලබන මොහොතේම ඔහු සුවය ලබන බව කිංස්ලි වනිගසිංහ පවසන වීඩියෝ පටය ඔහුගේ You tube නාළිකාවේ තිබුණි. එහෙත් ඇන්තනී සිල්වා මියගොස් පැය කිහිපයක් තුළ එය ඉවත් කර ගැනීමට කිංස්ලි වනිගසිංහ කටයුතු කර ඇත. ඇන්තනි සිල්වාව මෙම යාච්ඤා මෙහෙයට රැගෙන යාම පිළිබඳ දැඩි විරෝධයක් දැක්වූ ඔහුගේ ළඟම ඥාතීන්ව මේ මොහොත වන විට එම විරුද්ධතාව නොදක්වා සිටින තැනට පත් කරනගන්නට ඇන්තනී සිල්වාගේ පවුලේ අය සමත්ව සිටින බව පැවසේ. බෙහෙත් ලබා ගැනීමකින් තොරව ඉතා පැහැදිලිව ඇන්තනී සිල්වා සුවවන බව කියන වීඩියෝව අප සතුය. ඖෂධ ලබා ගැනීමකින් තොරව මියගිය බව කියන ඇන්තනී සිල්වාට ඖෂධ ලබා දුන් බවට ඔහුගේ නිවැසියන් පරසක්වළ ගසා කීවද ඔහුගේ නිවසට ලියුම්කරු ගිය මොහොතේ එලෙස බෙහෙත් ලබාගත් බවට එක බෙහෙත් තුණ්ඩුවක් ලබා දීමට නිවැසියන්ට නොහැකි විය. ඒ වෙනුවට සිදු වූයේ තමන් කවදාවත් පත්තර නොකියවන පිරිසක් නිසා පත්තරවලට තමන් පිළිතුරු නොදෙන බව උස් හඬින් කියා සිටීමයි. ලියුම්කරුගේ අනන්‍යතාව ඔප්පු කර ගැනීමට ඔවුන්ට තිබුණු උනන්දුව ඇන්තනී සිල්වාව රෝහලකට ගෙන යාමට තිබුණා නම් බොහෝ දුරට ඇන්තනී සිල්වාට මෙවන් මරණයක් අත්නොවනු ඇත. නිව්මෝනියා රෝගය නිසා ඇන්තනී සිල්වා මියගිය බවට මරණ පරීක්ෂණයේ පැහැදිලිව සඳහන්ව තිබියදී තවමත් යාච්ඤාව මගින් ලෙඩ සුවවන බව මේ මිනිසුන් විශ්වාස කරන්නේ ඇයි දැයි නොදනිමි. කිංස්ලි වනිගසිංහ සහ ඔහුගේ අනුගාමිකයන් පවසන දේ විශ්වාස කිරීමට කිසිදු හේතුවක් නොමැති තරම්ය. දුරකථනය හරහා ලියුම්කරු ඇමතූ කිංස්ලිගේ සම්බන්ධීකාරිණියක වන ශිරන්ති වීරසිංහ විසින් කිංස්ලි හමුවීමට පැමිණෙන ලෙසට දිනයක් ලබා දුන්නාය. එහෙත් එදින උදෑසන දුරකථන ඇමතුමක් දුන් කිංස්ලි තමාට ජනාධිපති ලේකම් කාර්යාලයට යා යුතු බව පවසා හමුවීම අවලංගු කළේය. ඊට පසු කිංස්ලි හෝ ඔහුගේ පිරිසගේ කිසිදු සාමාජිකයකුගෙන් හාහෝවක් නැත. රෝගයකින් කෙනකු මියයන තෙක් ඖෂධ ලබා ගැනීම වැළැක්වීම මෙරට නීතියෙන් සාවද්‍ය මිනීමැරීම නම් වරදට හසුවන්නකි. මෙම වරදට වසර විස්සක සිරගත කිරීමක් ලබාදිය හැකි බව නීතියේ සඳහන්ය. දෙදහස් දහතුන වසරේ මාර්තු මස 24 වන දින හෝ ඊට ආසන්න දිනයකදී අනුෂ්ක නාමල් බණ්ඩාර නම් බාලවයස්කාර දරුවාට රුධිරය ලබා නොදීම හේතුවෙන් මියගියේය. එම දරුවාගේ මව්පියන් වන සමරකෝන් බණ්ඩාර සහ අයිරාංගනී තෙන්නකෝන්ට විරුද්ධව අනුරාධපුර මහාධිකරණයේ නඩු විභාගයක්ද ක්‍රියාත්මක වේ. නඩු අංක HC 67/ 2006 යටතේ ක්‍රියාත්මක මෙම නඩුවේ සිදුවීම යෙහෝවාගේ සාක්ෂිකරුවන් යැයි කියන මූලධර්මවාදී දහම අදහන පිරිසක් රුධිරය පාරවිලනය පාපී ක්‍රියාවක් බව විශ්වාස කරමින් මියගිය දරුවාට රුධිරය ලබා නොදීමයි. එමෙන්ම මීට වසර හතරකට පෙර කහ උණ වැලඳුණ අවුරුදු එකොළහක දැරියක් යාච්ඤා මෙහෙයකට සහභාගි කරවීම හේතුවෙන් මිය යෑමේ සිද්ධියකට එම දැරියගේ මව්පියන්ට විරුද්ධව ගම්පහ මහාඅධිකරණයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් පැවරූ නඩුවක්ද විභාගයට ගැනුණු අතර ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම නිසා පමණක් එම මව්පියන්ට උසාවියෙන් නිදහස හිමි විය. අපේ රටේ පවතින නීතිය මෙවන් සිද්ධියකදී හැසිරෙන ආකාරය ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක වීරසූරිය පැහැදිලි කළේ ය. ‘‘අපේ රටේ දණ්ඩ නීතිසංග්‍රහයේ ඉතා පැහැදිලිව පෙන්වල දීලා තියෙනවා මිනීමැරුමක් සිදු කරන ආකාරය. 294 වන වගන්තියේ දෙවන අවස්ථාවේ සඳහන් වෙනවා පීඩාව සිදු කරනු ලැබූ තැනැත්තාගේ මරණය සිදුවිය හැකි අන්දමේ ශාරීරික පාඩුවක් බව වරදකරු දන්නා වූ පාඩුවක් කිරීමේ අදහසින් එය කරනු ලැබීම හෝ තෙවැනි අවස්ථාවේදී කියල තියෙනවා ශාරීරික පාඩුව යම් තැනැත්තෙකුට කිරීමේ අදහසින් එය කරනු ලැබ, එසේ කිරීමට අදහස් කරනු ලැබූ ශාරීරික පාඩුව ස්වභාවික කටයුතු අතර දී මරණය සිදු කිරීම ප්‍රමාණවත් වීම කියල. මේ වගේ අවස්ථාවකදී මිනිස්සු තේරුම් ගන්න ඕන තරමන්ට ඕන විදියට බයිබලය අර්ථකථනය කරල වෙන කාගෙවත් ජීවිතවලට හානි කරවන්න බැහැ කියලා.’’ නීතිඥ අශෝක වීරසූරිය මතු කර සිටින ප්‍රධානම අදහස නම් බයිබලයේ සඳහන් මූලිකම ඉගැන්වීම වන ප්‍රඥාවන්ත වීම සිදු නොකොට මිනිසුන් මෙලෙස ක්‍රියා කිරීම ප්‍රායෝගික නොවන බවයි. ‘විභාගයක් වෙනුවෙන් දෙවියන් යදින එකයි, මුකුත් පාඩම් නොකර දෙවියන් යැදල විතරක් විභාගයක් සමත් වෙනවා කියල හිතනව නම් ඒ අනුවණකම’ ඔහු කියා සිටියි. දණ්ඩ නීති සංග්‍රහයේ 298 වන වගන්තිය වන ‘සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් නොවන අපරීක්ෂාකාරී හෝ නොසැලකිලිමත් ක්‍රියාවක් කිරීමෙන් යමකුගේ මරණය සිදු කරන තැනැත්තෙකුට අවුරුදු පහ දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් නොකළ යුතුය යන වගන්තිය යටතේ වුවද යාච්ඤා බලයෙන් සුවවීමට ගිය මිනිසුන් මරණයට පත් වූ විට එයට වගකිව යුත්තන්ට විරුද්ධව කටයුතු කළ හැකි බව ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කියා සිටියේය. කිංස්ලි වනිගසිංහ හෝ මේ ලෝකේ තමන්ට ලෙඩ සුව කිරීමට හැකි බව කියන ඕනෑම කෙනකු හමුවීමට අපි ඉතා කැමැත්තෙන් සිටිමු. එකම ප්‍රශ්නය විශේෂ බලයකින් තමා සුව වූ බව කියන කිසිවකුත් මෙතෙක් අපට හමු නොවීමය. කලණ වීරසිංහ
 

More News..