brand logo

දෙවියන් වහන්සේ ලවා ෆෝන් චාර්ජ් කරදෙන - කර්බිගේ ගෙදරත් ෆෝන් චාර්ජ්රයක්

02 November 2019

සංචාරක සංවර්ධන වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග විසින් නිදහස් සහ ස්වාධීන දේවස්ථාන හා අපෝස්තලික දියෝකිසිය සඳහා කර්බි නම් දේවගැතිවරයකු පත්කොට තිබේ. මෙම පත්වීම මෙකී කර්බි නමැති දේවගැතිවරයාට ලැබෙන්නේ අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් ඊ. එම්. එස්. බී. ඒකනායක කළ ඉල්ලීමකට අනුවය. මෙලෙස රාජ්‍ය අනුග්‍රහය ලද කර්බි දේවගැතිවරයා ගැන රටේ කවුරුත් මීට පෙර දැන සිටියේ නැත. ඔහු ඊයේ පෙරේදා කරළියට ආවෙකි. මීට කලකට පෙර ඉන්දියාවේ සායි බාබා නා නා දේ මවමින් දේව බලයෙන් මිනිසුන්ගේ ලෙඩ සුව කරමින් විස්කම් පෑවෙකි. දිනක් ඔහු වාහනයකින් ගමනක් යන විටදී කැලෑ ප්‍රදේශයකදී එම වාහනයේ පෙට්‍රල් ඉවර විය. කලබල නොවන්නැයි රියැදුරාට උපදෙස් දුන් සායි බාබා බාල්දියකට වතුර පුරවාගෙන එන්නැයි ඉල්ලා සිටියේය. රියැදුරා වතුර බාල්දිය ගෙනා කල්හි සායි බාබා ඊට අත දමා යාච්ඤා කළේය. පුදුමයකි. වතුර බාල්දිය පෙට්‍රල් විය. මේ ඇසූ ලංකාවේ ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් හැකි නම් සායි බාබා ලංකාවට ගෙනැවිත් බේරේ වැවට අත පොවා යාච්ඤා කර බේරේ වැවම පෙට්‍රල් වැවක් කරමු යැයි යෝජනා කළේය. ඒත් ඒ සඳහා කිසිවකු සායි බාබාට ආරාධනා කළේවත්, කොවුර්ගේ කතාව ඇසූ සායි බාබා ලංකාවට ආවේවත් නැත. රාජ්‍ය අනුග්‍රහය ලද කර්බි නමැති දේවගැතිවරයා ගැන කියන කල්හි අපට සායි බාබා මතකයට ආවේ, මේ කර්බි නමැත්තාද සායි බාබාගේ ජාතියේ විස්මිත වැඩ කරන බව කියන නිසාය. වතුර බාල්දියක් ගෙන ඒවා පෙට්‍රල් නොකළත් කර්බි දේවගැතිවරයා තමාට අක්‍රිය වූ ජංගම දුරකථන බැටරියක් චාර්ජරයක් නොමැතිව සක්‍රිය කළ හැකි බව කියන්නේය. හෙට දින තමා හමුවීමට එන අය ගැන දෙවියන් වහන්සේ තමන්ට අද දිනම කියන බව ඔහු කියන්නේය. ඒ එකී තැනැත්තන් ඇඳගෙන එන ඇඳුමේ ස්වභාවය, වර්ණය ද සමගිනි. තව තව හාස්කම් ගොඩකි. ඉන්දියාවේ මෙවැනි විස්මිත දේ කළා යැයි කියන සායි බාබාට දෙවැනි නොවේ. පසුගිය දිනෙක අපේ කුළුපග මිතුරකු මෙන්ම ප්‍රකට විලාසිතා නිර්මාණකරුවකු වන අජේයි හරහා මට මේ කියන කර්බි දේවගැතිවරයා මුණ ගැසීමේ අවස්ථාව උදාවිය. ඒ කර්බිගේ නිවසේදීය. එය ඔහුගේ පෞද්ගලික වාසස්ථානය වන නිසා පමණක් නිවසක් යැයි කීමට පුළුවන. නැත්නම් සැබැවින්ම එය ඉතා හොඳින් නඩත්තු කරන විශාල වත්තක් මැද සුපිරි පිහිනුම් තටාකයක්ද සහිත මන්දිරයකි. වෙන්කරගත් වෙලාවකට අනුව එහි ගිය මම ඒ මන්දිරයේ සාලයේ වූ සැපපහසු, මිල අධික සෝෆාවේ වාඩි වුණෙමි. අරුම පුදුම දේ කරන දේවගැති ‘කර්බි’ මා අසලට පැමිණ ඉතා උණුසුම්ව සහ ළෙන්ගතුකමින් මා පිළිගත්තේය. කතාවට අමුතු ආරම්භයක් අවශ්‍ය නොවීය. ඒ අද පැමිණෙන මාධ්‍යවේදියා සමග ප්‍රවේශමෙන් කතා කරන්නැයි දෙවියන් වහන්සේ ඔහුට කල්තියාම උපදෙස් දී තිබුණු බැවිනි. ‘‘මම හැමදාම උදේට දේව පියා සමග කතා කරනවා. මට සනීප කරන්න තියෙන අය ගැන විස්තර ඔක්කෝම උදේට දේව පියා කියනවා. කොච්චර විස්තර කියනවද කිව්වොත් එයාලා ඇඳන් එන ඇඳුමේ පාට පවා මට කියනවා. අද උදේ මට කිව්වා පත්තරෙන් එනවා පරිස්සමින් කතා කරන්න කියලා’’ එසේ කියා කර්බි දෙවියන්ගෙන් පණිවුඩ ලැබෙන විට ඒවා සටහන් කරගෙන තිබෙන තම ජංගම දුරකථනය මට පෙන්වීය. ‘‘මේ තියෙන්නේ මම ඊයේ දාගත්ත ඒවා. මේ බලන්න මේ මනුස්සයගෙ ඇඳුමේ පාටත් තියෙනවා.’’ වේදිකා නාට්‍යයක තිරපිටපතකට පෙනුමෙන් සමාන සටහනක් තම ජංගම දුරකථනයෙන් ඔහු මට පෙන්වමින් කීවේය. ‘‘‘හරි පුදුමයිනේ මේ වගේ අරුම පුදුම දේවල් ප්‍රාතිහාර්ය කරන්න ඔබට බලය ලැබුණෙ කොහොමද?’’ මම ඔහු හා කතාව ආරම්භ කළෙමි. ‘‘මීට අවුරුදු දහයකට විතර කලින් මම ගෙව්වේ හොඳ ජීවිතයක් නෙවෙයි. ඒක ඇත්තටම නරක ජීවිතයක්. මම තේ කොළ ව්‍යාපාරයක නිරත වෙලා හිටියා. ඒත් දවසක් මට හිතුණා දෙවියන් වහන්සේගෙන් මගේ නරක දේවල්වලින් දුරස් වෙන්න බලය ඉල්ලන්න. මම දෙවියන් වහන්සේ සමග දිගටම කතා කරද්දී දෙවියන් වහන්සේ මට කිව්වා ඔයාට පුදුම ක්‍රියාවක් කරන්න බලය තියෙනවා කියලා.’’ කර්බි එක හුස්මට කියාගෙන ගියේය. දෙවියන් වහන්සේ කුමන භාෂාවෙන් කතා කළේ දැයි මම විමසීමට පෙරම ‘‘දෙවියන් වහන්සේ මේ දේවල් මට කිව්වේ ඉංග්‍රීසියෙන්’’ යැයි කර්බිම කීවේය. කර්බිගේ යූටියුබ් චැනලයේ ඔහු ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක හාස්කම් සිදු කරන වීඩියෝ ඇත. ඇමරිකාවේ එක යාච්ඤා මෙහෙයකදී කර්බි විසින් එතැන රැස්ව සිටින අයගේ ෆෝන් බැටරි චාර්ජ් කරනවට අමතරව ඒවාට රීලෝඩ් දමයි. ගෙවීමට ඇති බිල්පත් ගෙවා දමයි. ඇමරිකානු සුදු කතක් තමාට ගෙවන්නට තිබූ ණය වාරිකයක් ඉබේ ගෙවුණ බව මිනිසුන් දහසක් පමණ සිටින ශාලාවක මහ හඬින් කෑ ගසා කියයි. ‘‘ලංකාවේ මාව ජනප්‍රිය වුණේ ඉතා මෑතකදී. ඒත් පල්ලි හයසියයක පමණ මිනිසුන් ලක්ෂයකට අධික පිරිසක් මගේ ශ්‍රාවකයෝ වෙන එක ඉවසන් ඉන්න බැරි ඉරිසියාකාර දේශපාලනඥයෙක් මම කියන දේවල් පොඩි කොටසක් එඩිට් කරලා සමාජ මාධ්‍ය ජාලවල දාලා මාව ලැජ්ජාවට පත් කරන්න සූදානම් වෙනවා.’’ කර්බි රාජ්‍ය ඇමැතිවරයකුට කෙළින්ම චෝදනා කරන්නේය. තමා වටා මිනිසුන් රැස් වෙමින් තමා ජනප්‍රසාදය දිනා ගැනීමට අදාළ දේශපාලනඥයා ඉරිසියා කරන නිසා ඔහු තමාට අංචි අදින බව කර්බි කියයි. ‘‘මේ ෆෝන් චාර්ජ් කරන ඒවා හරි පොඩි වැඩ. මට මීට වැඩිය දේවල් ගොඩක් කරන්න පුළුවන්. ඔය වගේ වැඩ කරන්නේ මම මගේ බලය මිනිස්සුන්ට පෙන්වන්න විතරයි. කර්බි එදිනෙදා භාවිතයට ගන්නා මූලික භාෂාව ඉංග්‍රීසිය. ඔහුගේ දේශනා බහුතරයක් සිදුවන්නේ ඉංග්‍රීසි බසිනි. ඒ නිසා කර්බි ගැන දැනන් සිටියේ හැඳි ගෑරුප්පුවලින් කන සමාජ තලය පමණි. ඔහු යූටියුබ් තරුවක් වන්නේ දේව බලයෙන් ජංගම දුරකථන බැටරි චාර්ජ් කිරීම නිසාය. එය එසේ නම් කර්බිගේ ගෙදර පැත්ත පළාතේ ෆෝන් චාජරයක් තිබෙන්නට බැරිය. ඒත් පුදුමය නම් කර්බි තම ජංගම දුරකථනය චාර්ජ් කරන්නේ ගෙදර ඇති චාජරයෙනි. එතැනදී නම් ඔහුගේ දෙවියන් වහන්සේ ඔහු හැර ගොසිනි. කර්බි කියන ආකාරයට ඔහුට මේ සුපිරි බලය ලැබෙන්නේ දෙවියන් වහන්සේ සමග අන්‍ය භාෂාවලින් කතා කිරීමෙන්ය. ඒ සඳහා අසීමාන්තික කැපකිරීම් සිදු කළ යුතුය. මේ දිනවල ඔහු ආහාර කිසිවක් නොගෙන වතුර සහ කළු කෝපි පමණක් බොමින් ධ්‍යාන වඩන්නේ යැයි ඔහු කියයි. තමා කියන ආකාරයට සිටිනවා නම් දින හතක් ඇතුළත ඕනෑම කෙනකුට මේ බලය දෙවියන් වහන්සේගෙන් ඉල්ලා දීමට ඔහුට හැකි බව කර්බි කියයි. ‘‘මේ තරම් බලයක් තියෙන අයකුට ස්වභාව ධර්මය පාලනය කරන්නට බැරිද?’’ මගේ පැනය විය. ‘‘අපෝ පුළුවන්. මම වැස්ස නවත්තලා තියෙනවා. ඉන්දියාවේ මම දේශනයක් කළා, එළිමහනේ. මිනිස්සු පන්දාහක් විතර හිටියා. එක සැරේම වහින්න පටන් ගත්තා. මම දෙවියන් වහන්සේගෙන් ඇහුවා ඇයි වස්සන්නේ කියලා. දෙවියන් වහන්සේ මට කිව්වා ඔබ වැස්සට නවතින්න කියන්න වැස්ස නවතීවි කියලා. මම වැස්සට අණ කළා නවතින්න කියලා.’’ වැස්ස නැවතුණා කර්බිගේ මුහුණේ ඇත්තේ ආඩම්බර පෙනුමකි. ‘‘ඕක මොකක්ද මම මැරිච්ච කෙනෙක් නැගිට්ටුවා.’’ කර්බි ඇඟට පතට නොදැනී කියයි. මේ සිද්ධිය වුණේ අපේ පල්ලි ඔක්කෝම එකතු වෙලා කරපු ක්‍රීඩා උත්සවයකදී. තරමක් වැඩිමහල් කෙනෙක් මීටර් 100 දුවල මහන්සි වැඩි වෙලා මැරුණා. හැමෝම එයාව ඉස්පිරිතාලෙ ගෙනියන්න හදද්දී මම කිව්වා නෑ... ඕන නෑ.. මම එයාව සුවපත් කරන්නම් කියලා. මම ඔහුව නැගිට්ටෙව්වා මරණෙන්. මරණයෙන් උත්ථානය වූ මිනිසා පිළිබඳ විස්තර කර්බිගේ මිතුරා මෙන්ම කර්බි හා සමානව රෝගීන් සුව කිරීමට බලය ඇති අජේගෙන් විමසුවද ඔහු ඒවා ලබා දුන්නේ නැත. එසේම මේ සිදුවීම වූයේ කවදාද, කොතැනද යන්නද ඔවුන් පැහැදිලිව කියන්නේ නැත. කර්බි නම් වූ මේ දේවගැතිවරයා කියන හැටියට තර්ක කිරීමට දෙයක් නැත. මෙලොව වෙසෙන බලගතුම මිනිසා ඔහුය. කර්බි කියන ආකාරයට තමාගේ රෝගීන් සුව කිරීමේ මෙහෙයන්හිදී රෝගීන් අතරින් තමා ඇවිද යද්දී රෝගියාට රෝගය ඇති ස්ථානය දෙවියන් වහන්සේ අපූරු විදියකට ඔහුට පෙන්වයි. ඒ අදාළ රෝගියාගේ රෝගය ඇති ස්ථානයට සමාන්තරව කර්බිගේ ශරීරයේ වේදනාවක් ඉපදීමෙනි. ඒ අනුව ගැබ්ගෙල පිළිකාවක්, දරු ගැබේ ආසාදනයක් ඇති කාන්තාවක් කර්බිගේ ළඟට ආවද සුවකර ගැනීමට හැකිවේදැයි අපට කුහුලක් ඉපදුණි. ඔහු කී කතා සියල්ල මගේ දෑස් ඉදිරියේ ඔප්පුකර පෙන්වීමට අදාළ එක හාස්කමක් සිදුකර පෙන්වීමට පුළුවන් බව ඔහු කීය. එම හාස්කම නම් ටයිල් කැටයක් සාමාන්‍ය බල්බයකින් ගසා කඩා දැමීමයි. ඒ හාස්කම ප්‍රකාරව බල්බය කැඩෙන්නෙත් නැත. හාස්කම කිරීම ඇරඹුණි. පෙර සූදානමකින් සිටියාක් මෙන් ඔහුගේ නිවසේ සිටි අයකු ඉතා ඉක්මනින් ටයිල් කැට කීපයක් සහ විදුලි බල්බ කිහිපයක් රැගෙන ආවේය. මගේ අතට තමා දැන් දේව බලය දෙන බව කියා කර්බි මට විදුලි බුබුළක් දී සාමාන්‍ය උසක තබා එය ටයිල් කැටය මතට අතහරින්නැයි කීවේය. පුදුමයකි. ටයිල් කැටය කැඩුණි. මට දැන් දේව බලය ලැබුණු බව පවසා තවත් බල්බ හතක් පමණක් දී ටයිල් කැට කඩන්න කියා කීවද සිද්ධ වුණේ බල්බ කුඩු වී යෑම පමණි. බල්බ ඉවර වුණ නිසා හාස්කම් කිරීමත් අවසන් විය. එතැන අස් කරන්නට පැමිණි පෙර ටයිල් ගෙනා පුදුගලයා එක්වරම ‘ආ මේ ටයිල් එක කැඩිලා’ කියා කීවේය. ඒ පැත්ත හැරී මේ පැත්ත බලන විට ටයිල් කැටය කැඩී තිබුණි. ​‘‘දෙවියන් වහන්සේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා උන්වහන්සේගේ බලය තියෙන අයට සර්පයෝ වුණත් අතින් අල්ලන්න පුළුවන් කියලා. මගේ බිරිඳට ඒක ඔප්පු කරන්න මම දවසක් මේ වත්තේ හිටපු කුණුකටුවෙක් අතින් අල්ලලා පෙන්නුවා. ඒත් මගේ බිරිඳ බයයි මට සත්තු සර්පයෝ දෂ්ට කරයි කියලා. ඒ නිසා මම දැන් ඒක කරන්නේ නැහැ.’’ ඔහුගේ ඒ කතාවත් සමග ඇතිවන ගැටලුව නම් මේ සා දේව වරප්‍රසාද සහිත කර්බිව ඔහුගේ බිරිඳටවත් විශ්වාස නැද්ද යන්නය. මන්ද යත් කිසිදු ආරක්ෂිත උපකරණ නොමැතිව සර්පයන් ඇල්ලීමත්, උන් හුරතල් කිරීමත් ආදිවාසී සහ අහිගුණ්ටික ජනතාව අතර ඉතා ජනප්‍රිය දෙයක් වන බැවිනි. කර්බි මේ සමාජයේ ඉතා කැපී පෙනෙන දිවි පෙවෙතක් ගත කරයි. ඔහු සතුව පවතින වත්කම් ප්‍රමාණය සේම චතුර ලෙස ඉංග්‍රීසි කතාකිරීමේ හැකියාව ඔහුට අමතර ආරක්ෂාවක් සපයයි. ගැටලුව නම් කිසිදු පදනමක් නැති මෙවන් කතා කියවන පුද්ගලයන්ට රාජ්‍ය අනුග්‍රහය සහ ආරක්ෂණය හිමි වීමය. කලණ වීරසිංහ ඡායාරූප - සමන් අබේසිරිවර්ධන
 

More News..