brand logo

දෙවිනුවරින් මුහුදු ගිය ඉදුවර තවමත් ඉන්දිය අත්අඩංගුවේ

29 July 2020

දෙවිනුවර පුරාණවැල්ල ධිවර වරායෙන් මුහුදු ගිය IMUL/1235/MTR අංක දරණ ‘ඉඳුවර-3‘ බහු දින ධීවර යාත්‍රාව සහ ධිවර කාර්මිකයින් සය දෙනෙකු (06) සති දෙකක් පුරා ඉන්දීය අත්අඩංගුවේ පසුවන බැවින් ඔහුන් බේරා දීමට කඩිනමින් කටයුතු කරන මෙන් මෙන් එම ධීවරයින්ගේ පවුල් වල පිරිස් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

කාර්මික දෝශයකට ලක්ව ඉන්දීය මුහුදු සීමාවට පාවෙමින් සිටියදී 2020 ජූලි මස 12 වනදා රාත්‍රී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ පී.එච්.221 නෞකාව මගින් මෙම ධීවරයින් අත්අඩංගුවට ගන්නා ලදී. අනතුරුව ඉන්දීයාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ කානිනගර් බන්ධනාගාරයේ රඳවා තැබීමට එරට ආරක්ෂක අංශ කටයුතු කළේය. එම ධීවරයින් සය දෙනා අවස්ථා දෙකකදී ආන්ද්‍රා ප්‍රදේශ් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවද පවතින වසංගත තත්වය හමුවේ මහේස්ත්‍රාත්වරුන් නොපැමිණීම හේතුවෙන් තවදුරටත් බන්ධනාගාර ගතව සිටින බව වාර්තා වේ.

ඉන්දියාවේ මේ වන විට ඉතා දරුණු අන්දමින් පැතිර පවත්නා කොරෝනා තත්වය හමුවේ මෙම ධීවරයින්ගේ ජීවිත ඉතා අවදානම් සහගත තත්වයක පසුවන බැවින් මොවුන් ගෙන්වා දීමට කටයුතු කරන මෙන් එම ධීවර පවුල් වල සාමාජික සාමාජිකාවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ එම පවුල් වල පිරිස් පවසා සිටියේ, මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා, ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, විදේශ අමාත්‍යාංශ ලේකම් වරයාට ලිඛිතව දන්වා තිබුණද මෙතෙක් කිසිදු සහනශීලී පිළිතුරක් ලැබී නොමැති බවයි. එමෙන්ම, විදේශ කටයුතු අමාත්‍ය, දිනේෂ් ගුණවර්ධන මහතාටද, මාතර දිස්ත්‍රික් මැතිවරණ සංචාරයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටද කරුණු පැහැදිළි කරමින් අතින් භාරදුන් ඉල්ලීමට පවා මේ වන විටත් ප්‍රතිචාරයක් නොමැති වීම හේතුවෙන් තමන් ඉතා අසරණ භාවයට පත්ව ඇතැයි ඔවුහු කියා සිටියහ. තවද, ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරත වන ඉන්දීය ජාතීක ධීවරයින් සඳහා මේ දිනවල ඉතා සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බලධාරීන්, මෙරට ධීවරයින් බේරා ගැනීමට සැලකිය යුතු අවදානයක් යොමු නොකිරීම පිළිබඳ සිය කනස්සල්ල පළ කළහ.

මේ සම්බන්ධයෙන් අප විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසූ අවස්ථාවේ ඔවුන් පවසා සිටියේ අදාළ යාත්‍රා හිමිකාර, අනුත් ප්‍රසන්ත වික්‍රමසූරිය යන අය විසින් ගරු අමාත්‍ය තුමන්ට යොමු කළ අභියාචනය අවශ්‍ය කටයුතු සඳහා ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත යොමු කර ඇති බවයි. චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඒ පිළිබඳ විමසීමේදී එහි ප්‍රකාශිකාවක් කියා සිටියේ, අදාළ බෝට්ටුව සහ ධීවරයින් නිදහස් කරන ලෙස ඉන්දීය මධ්‍යම රජයෙන් මේ වන විටත් ඉල්ලීමක් කර ඇති බවයි.

 

More News..