brand logo

දෙවැනි රැල්ල උසයි අහුවුණොතින් වසයි

12 October 2020

පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ලොව පුරා මහත් ආන්දෝලනයට ලක්වූ තවමත් පාලනය කර ගැනීමට හෝ මර්දනය කර ගැනීමට නොහැකි වූ භයානකම සතුරා බවට දැන් පත්ව ඇත්තේ නව කොරෝනා වයිරසයයි. වසරකට ආසන්න කාලයක් ගතවීමට ඉතා කෙටි දින ගණනක් තිබිය දී ද මෙම වයිරස රෝගකාරකය මේ වන විට ලෝක ජනගහනයෙන් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් මරා දැමීමටත් තවත් ලක්ෂ තුන්සියයකට අධික ප්‍රමාණයකට ආසාදනයට පත් කිරීමටත් හේතුවක් වී ඇත. සියවසකට ආසන්න කාල සීමාවකට පසුව ලොව වඩාත්ම තැති ගැන්මකට ලක් කළ රෝගී තත්ත්වය ලෙසද නව කොරෝනා වයිරසය මේ වන විට හඳුනාගෙන ඇත. ලක්ෂ පනහක් බිලිගනීද? මීට සතියකට පමණ පෙර කාලසීමාවේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්හල් ආශ්‍රිතව කොවිඩ් 19 රෝගී පොකුර පිපිරීමත් සමග මේ වනවිට මෙරට ජනතාවට නැවත වරක් දැඩි තැති ගැන්මකට ලක්ව ඇත. පසුගිය දෙසැම්බර් මාසයේදී චීනයේ වූහාන් ප්‍රාන්තය ආශ්‍රිතව නිර්මාණය වී ලොව පුරා පැතිර යෑම ආරම්භ කරන ලද කොවිඩ් 19 රෝගී තත්ත්වයත් සමග මුල් අවස්ථාවේදීම විද්‍යාඥයන් සිදුකළ පුරෝකථනයට අනුව රෝගී තත්ත්ව අවම වශයෙන් වසර දෙකකට ආසන්න කාලසීමාවක් පුරා ව්‍යාප්ත වෙමින් ලෝක ජනගහනයෙන් ලක්ෂ 50කට ආසන්න ප්‍රමාණයක් බිලි ගන්නා බවට කළ ප්‍රකාශය මේ වන විට බොහෝ දුරට සත්‍ය වෙමින් පවතී. මේ නිසා ගතවන සෑම තත්පරයක් මුළුල්ලේම අප දැඩි සුපරීක්ෂාකාරී භාවයකින් යුක්තව ගත කිරීමට සිදුව ඇත. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්හල් ආශ්‍රිතව මේ දක්වා සොයාගත නොහැකි මූලාශ්‍රයන් මත නිර්මාණය වූ මෙම කොරෝනා වයිරස රෝගී තත්ත්වය මීට පෙර ඇති වූ කුඩා පොකුරු සියල්ලටම වඩා අවදානම් ලෙස සමාජය තුළ පැතිර යමින් පවතී. මීට පෙර මේ අන්දමට විශාල පොකුරු නිර්මාණය වුණු නාවික හමුදා කඳවුර තුළත් වැලිකන්ද තුළත් රාජාංගණය තුළත් ඇති වූ අවස්ථාවන්වලදී බොහෝවිට එම රෝගී ආසාදන තත්ත්වය අදාළ පරිශ්‍රයකට පමණක් සීමා වුවත් මෙවර රට පුරා ව්‍යාප්ත වී යාමේ අවදානම වැඩිවන්නේ එය මෙරට කම්කරු ප්‍රජාවට වැලඳී එමගින් දැඩි බලපෑමක් එල්ල කර ඇති නිසාය. යුරෝපයට දෙවන රැල්ලක් දැනට යුරෝපා රටවල් තුළ දී ඇති වී පැතිර යා හැකි ලකුණු පෙන්වා ඇති නව කොරෝනා වයිරසයේ දෙවන රැල්ල පළමු වටයට වඩාත් භයානක විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම අනතුරු හඟවා ඇත. රටවල් විවෘත කර ඇති අවස්ථාවකදී නව කොරෝනා වයිරසය සමග ජීවත් වීම ලෙහෙසි පහසු නොවන අතර ඒ ජීවිතය දැළිපිහියෙන් කිරි කනවා වැනිය. පළමුව වටයදී බොහෝ රටවල් මිනිසා රෝගී තත්ත්වය බොහෝදුරට පාලනය කර ගැනීමට සමත් විය. රටවල් වසා තැබීම නිසා ඇති වූ සමාජ ආර්ථික දේශපාලනික පසුබෑම හමුවේ බො​හෝ රටවල් එම තීරණය ගැනීම ප්‍රමාද කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. අප දෙස නැවත හැරිය යුත්තේ මේ පසුබිම සිතෙහි තබාගෙනය. හුමාලය හොඳද? කොරෝනාවට තවමත් බෙහෙත් නැත. ඒ සඳහා විවිධ ඔෟෂධ අත්හදා බැලෙමින් පවතී. එවැනි තත්ත්වයක් යටතේ කොරෝනා රෝගයට හුමාලය දෙවැනි වර ඇල්ලීම ප්‍රතිකර්මයක් ලෙසින් භාවිත කළ හැකි බවට මේ දිනවල සමාජ මාධ්‍යවල ප්‍රචාරණය වේ. උණුසුම් ජලය පානය කිරීමේදී සහ හුමාලය ඇල්ලීමේදී නාස් කුහර පිරිසිදුවීම, ශ්වසනය පහසුවීම සිදුවේ. ඒ නිසා කොරෝනා වැලඳෙන්නේ නැතැයි යන්නට විද්‍යාත්මක තහවුරු කළ සාධක නැත. එනිසා ඒවා භාවිත කළ හැක්කේ ප්‍රතිකර්මයක් ලෙසින් නොව,ශ්වසන අපහසු මගහරවා ගැනීමේ ප්‍රථමාධාරයක් ලෙසිනි. කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් නිවසට වී උණුවතුර පානය කිරීම හෝ හුමාලය ඇල්ලීම සිදුනොකර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා වැදගත්ය. මෙලෙස හුමාලය අශ්වාස කිරීම සිදුකළ යුත්තේද මීට පෙර ශ්වසනාබාධවලින් නොපෙළෙන පිරිස්ය. එලෙස ශ්වසනාබාධවලින් පෙළෙන්නන්ට හුමාලය ඇල්ලීමෙන් එම රෝගය තවදුරටත් උත්සන්න විය හැක. සියලු දිසා රෝහල් සූදානම් මේ වනවිට මෙරට රෝහල් පහළොවක් කොවිඩ් රෝගීන් වෙනුවෙන් සූදානම්ව පවතී. එම රෝහල්වලට ඇතුළත් කරගනුයේ කොවිඩ් රෝගීන් පමණි. එකී සීමාවටද දරාගත නොහැකි රෝගීන් හමුවුවහොත් ඒ සඳහා මුහුණදීමට දැනට නෙවිල් ප්‍රනාන්දු රෝහල ඇඳන් 500කින් සමන්විත සූදානම් කර ඇත. ඊට අමතරව දිවයින පුරා ඇති දිසා රෝහල් සේවා අවශ්‍යතා අනුව සූදානමින් පවතී. ඒ කොවිඩ් ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන ලෙසින් නොව පීසීආර් පරීක්ෂණ සිදුකොට එහි ප්‍රතිඵල එන තුරු එම සැකකරන රෝගීන් රඳවා ගැනීමේ මධ්‍යස්ථාන ලෙසිනි. ඒ අනුව දිවයින පුරා දිස්ත්‍රික් රෝහල් එම සේවා අවශ්‍යතාව අනුව සූදානම් කර ඇත. කාලගුණය නරකට හිටියිද? මෙවර රෝගී ව්‍යාප්තිය මීට පෙර මතුවූ අනෙක් පොකුරුවලට වඩා වැඩිය. එමෙන්ම මීට පෙර රෝගය පැතිරුණු කාලසීමාවල පැවැති කාලගුණික තත්ත්වයට වඩා වෙනස් කාලගුණික තත්ත්වයකි දැන් පවතිනුයේ. තවද වයිරසය රෝගීන්ගේ නාස් පද්ධතිය ඇසුරේ ගැවසෙන ප්‍රමාණය වැඩිවීමක් දක්නට ලැබේ. එනම් නාසයෙන් පිටවන වයිරස් ප්‍රමාණය මීට පෙර තත්ත්වයන්ට වඩා වැඩිය. කාලගුණයේ යම් බලපෑමක් මේ සඳහා සිදුවී ඇතැයිද සැකකෙරේ. රෝගය ආසාදනයවූ පුද්ගලයකුගෙන් පිටවන වයිරස් ප්‍රමාණය වැඩි නිසා රෝගය පැතිර යෑමේ වැඩිවීමක් ඉදිරියේදී සිදුවිය හැකිය යන්නෙන් අනුමාන කරයි. මින් අදහස් වනුයේ කොරෝනා වයිරසයේ වෙනත් ප්‍රභේදයක් අපට පැමිණ ඇති බව නොවේ. කෙසේ වුවද වයිරසයේ සාන්ද්‍රණයේ වැඩිවීමක් මෙවර පෙන්නුම් කරයි. කොරෝනා වයිරසය සම්බන්ධයෙන් විද්‍යාඥයන් බොහෝ සේ පරීක්ෂණ කටයුතු සිදුකරන නමුත් තවමත් ඔවුන්ට අනාවරණය කරගත නොහැකි වූ කරුණු ප්‍රමාණය දන්නා කරුණු ප්‍රමාණයට වඩා ඉතා අඩු ප්‍රමාණයකි. මෙම වයිරසය ඉදිරි කාලයේ දී කෙසේ ක්‍රියාත්මක වේවි ද එය දේශගුණ හා කාලගුණ බලපෑම අනුව කුමන අන්දමේ වෙනස්කම්වලට ලක් වේද වයිරසයෙහි විවිධ වයිරස ප්‍රභේද ඇතිවෙයිද එසේම මෙම ඇතිවුණු වයිරස රෝගී තත්ත්වය තවත් කුමන කාලසීමාවක් දක්වා මිනිස් ප්‍රජාවට බලපෑමක් ඇති කරයිද යන කරුණු සම්බන්ධව ස්ථිර පැහැදිලි කිරීමක් කිරීමට ලොව පුරා විද්‍යාඥයන් අසමත්ව ඇත. මේ සිද්ධි දාමයන් සම්බන්ධයෙන් පසුගිය කාල සීමාවේදී ලද අත්දැකීම් මත පදනම් වූ යම් යම් ප්‍රකාශ කළ අනාවැකි වුවද සියයට සියයක් නිවැරැදි වේ යැයි විශ්වාසයක් විද්‍යාඥයන් තුළ නැත. මුව ආවරණ පැලඳීමේ ප්‍රමිතිය කොරෝනා මෙරට රෝගී කළ මුල් සමයේ මුව ආවරණ පැලඳීම නිසියාකාරව සිදුවුණි. නමුත් කල් යත්ම පළමුවෙන් මුව ආවරණය නාසයෙන් පහළට වැටුණි. පසුව එය බෙල්ලට වැටිණි. අවසානයේ කොරෝනා නැතැයි සිතා යුතුව මුව ආවරණය නොමැතිව ජනයා පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරනු දැකිය හැකිය විය. දැන් ආයෙත් මුව ආවරණ අවශ්‍ය වී තිබේ. සාමාන්‍යයෙන් ශල්‍ය මුව ආවරණයක් හෝ එන් 95 වර්ගයේ මුව ආවරණයක් හැර අනෙක් සියලු මුව ආවරණ එක්වරකට වඩා භාවිත කළ නොහැක. නමුත් රෙදිවලින් ස්ථර තුනකින් සුසැදි මුව ආවරණ සෝදා භාවිත කිරීමේ වරදක් නැත. අප නිවසින් මුව ආවරණයක් පැලඳ නිවසින් පිටතට ගොස් නැවත පැමිණෙද්දි එම මුව ආවරණය ඉවත් කර නිවස තුළට යා යුත්තේ. සාමාන්‍යයෙන් මුව ආවරණයක් එක් වරක් පමණක් භාවිත කළ හැකි නම් ඉන් සැලසෙන ආරක්ෂාව වැඩිය. මෙවර රෝගී ආශ්‍රිතයන් වෙනදාට වැඩිය. පළමු රෝගීයා හඳුනාගනිද්දි ඔවුන් සමාජය තුළ සති දෙකක පමණ කාලයක් සැරිසරා ඇත. එනිසා දෙවැනි සහ තෙවැනි ආශ්‍රිතයන් හරහා රෝගීන් පැතිරයාමේ අවදානම වැඩිය. එනිසා පෙර අවස්ථාවන්වලට වඩා නියමිත සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද නිසියාකාරයෙන් භාවිත කිරීම අතිශයින්ම වැදගත්ය. කොරෝනා හැදිල දන්නෙම නැතිව හොඳ වෙලාද? මේ වනවිට අපට හමුවන බොහෝ රෝගීන් තරුණ වයසේ පසුවන්නෝය. නමුත් එය වැඩිහිටියන් කරා පැතිරුනහොත් අපටද ඉන්දියාවට අත්වූ ඉරණමට මුහුණදීමට සිදුවීමේ අවදානමක් ඇත. තවමත් රෝගයට ගොදුරුවූවන්ගෙන් 75%කට අධික ප්‍රමාණයකට රෝගී ලක්ෂණ නොපෙන්වීම යම් සුබදායී තත්ත්වයකි. එමෙන්ම රෝගය වැලඳුන පිරිසගෙන් 85% කට වැඩි පිරිසක් අවුරුදු 20ත් 40ත් අතර ප්‍රජාවයි. නමුත් මෙය අවුරුදු 60, 70 අතරට ගියහොත් එය භයානක තත්ත්වයකි. බ්‍රැන්ඩික්ස් පොකුරේ හමුවුණු බොහෝ රෝගීන් රෝග ලක්ෂණ මතුනොවුණද මේ සතිය ඇතුළත එලෙස රෝග ලක්ෂණ මතුවේ නම් මතුවිය යුතුය. කොරෝනා වයිරසය ආසාදනය වී එම රෝග ලක්ෂණ මතුනොවුණු පිරිස මීට පෙර මෙන්ම මෙවරද සිටිය හැක. නමුත් ඒ පිරිසට දෙවැනි වර රෝගය වැලඳෙනවාද, නැතිනම් ඒ අයගෙන් වෙනත් අයට රෝගය වැලඳෙනවා දැයි නිශ්චිතවම කිව නොහැක. ඒවා තවමත් පරීක්ෂණ මට්ටමේය. එනිසා එලෙස වැලඳෙනවා යැයි සිතා කටයුතු කිරීම හැම අතින්ම සුරක්ෂිතය. ලෝකයේ කුමන රටක කුමන හෝ කලාපයක නව කොරෝනා වයිරසය පැතිරෙමින් පවතින අවස්ථාවකදී එක් රටක් පමණක් කුමන හේතුවක් නිසා හෝ අනෙක් රටවලට වඩා අධි සුරක්ෂිත බවට පත් නොවන බව අප විසින් වටහා ගත යුතුව ඇත.‍ මේ හේතුව නිසා ඉන්දියාව, පකිස්තානය වැනි රටවල්ද යුරෝපා රටවල්වල ද මීට මාස කිහිපයකට පෙර පැවති තත්ත්වයට වඩා භයානක ලෙස නව වයිරස් ඉස්මතු වීමත් සමග අප ඊට සූදානම් වීම අත්‍යවශ්‍ය කරුණක්ය. පුරවැසියන් විචක්ෂණ බුද්ධියකින් අප විසින් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් හා සමාජ සුරක්ෂිත භාවය කෙරෙහිද ආරක්ෂිත පුරුදු අනුගමනය කිරීමටද අඛණ්ඩව උනන්දු වීම අත්‍යවශ්‍ය සාධකයක් වෙයි. ලන්ඩන් සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ඇඩම් කුචාර්ස්කි පවසන්නේ “බොහෝ මිනිසුන් තවමත් අවදානමට ලක්වෙමින් ඇති බවයි. එය මුල සිටම නැවත ආරම්භ කිරීමක් වැනිය." ජර්මනිය සිටින්නේ අවදානම් තත්ත්වයේය. මේ වනවිට සිය ගණනක් ජනයා වයිරසය සඳහා නැවත PCR Positive - ධනාත්මක බව පෙන්වා ඇත. පොකුරු වේගයෙන් හඳුනාගත හැකි නම්, දේශය අගුළු දැමීම හඳුන්වා දීමෙන් වයිරසය පැතිරීම නැවැත්වීම විශාල ගැටලුවක් නොවේ. එසේ නොමැති නම්, ඔවුන් දෙවන රැල්ලකට දායක වේ. කොරෝනා වයිරසය හැසිරවීම පිළිබඳව පුළුල් ලෙස පැසසුමට ලක් වූ දකුණු කොරියාවට එවැනි පොකුරු නිසා යම් සීමාවන් නැවත පැනවීමට සිදුවිය. දෙවන රැල්ල පළමුවැන්නාට සමාන වේද? R හි වටිනාකම එනම්, එක් එක් ආසාදිත පුද්ගලයාට සාමාන්‍යයෙන් වයිරසය පසු කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව - වසංගතය ආරම්භයේ දී 3 ක් විය.( The value of R - the number of people each infected person passed the virus to on average - was 3 at the start of the pandemic.) එයින් අදහස් කළේ වයිරසය වේගයෙන් ව්‍යාප්ත වන නමුත් අපගේ හැසිරීම වෙනස් වී ඇති බවයි. අපි සමාජයෙන් දුරස්තව සිටින විට R නැවත එම ඉහළ මට්ටම ලබා ගන්නේ කෙසේදැයි බැලීමට අපහසුය. ආචාර්ය කුචර්ස්කි බීබීසීයට පැවසුවේ “කිසිම රටක් සියල්ල ඔසවා යථා තත්ත්වයට පත් වන්නේ නැහැ. "කොරෝනා වයිරසය පාලනය නොකරන රටවල පවා - බ්‍රසීලය සහ ඉන්දියාව වැනි - R අගය 3.0 නැත." කෙසේ වුවත් රෝගය නැවත වර්ධනය වීමට පටන් ගත්තේ නම්, එය සාපේක්ෂව මන්දගාමී වීමට ඉඩ ඇත. කෙසේ වෙතත්, දෙවන රැල්ල න්‍යායාත්මකව තවමත් පළමු එකට වඩා විශාල විය හැකි නිසා බොහෝ මිනිසුන් එයට ගොදුරු විය හැක. " රෝග නැවත ඉහළ ගියහොත්, දෙවන රැල්ල මැඬපැවැත්වීම සඳහා අගුළු දැමීම නැවත හඳුන්වා දිය හැකිය. එය සැමවිටම අපට ලබා ගත හැකි විකල්පයකි," ආචාර්ය ටිල්ඩෙස්ලි පවසයි. දෙවන රැල්ල වයිරසය මෘදු වන අතර තවදුරටත් ගැටලුවක් නොවනු ඇත්ද? මාරාන්තික දෙවන රැල්ලට එරෙහි එක් තර්කයක් නම්, වයිරස් පරිණාමය වන විට මිනිසුන්ට වඩා හොඳින් ආසාදනය වීම අඩු වන බවයි. එච්.අයි.වී පවා මෘදු වන බව පෙනේ. න්‍යායට අනුව වයිරස් තම ධාරකයාව මරා දමා මෘදු නොවන්නේ නම් තවදුරටත් පැතිරෙනු ඇත. මහාචාර්ය බෝල් පවසන්නේ තවම එය සහතික කර නැති බවයි. ශ්‍රී ලංකාවේ සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේදය බොහෝ විට සාර්ථකව ක්‍රියාත්මක නොවන බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබිණි. එහිදී ජනතාවගේ හැසිරීම පිළිබඳ කිසිසේත් සෑහීමකට පත්විය නොහැක. ප්‍රතිඵලය නම් ඉතාම ඉක්මනින් රෝගීන් සමාජය තුළ පැතිර යාමත් සෞඛ්‍ය අංශයට දරාගත නොහැකි මට්ටමේ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීමක් ආරම්භවීමත් බොහෝ විට සිදුවිය හැකි වීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම අනතුරු අඟවා සිටියේ සමාජ දුරස්ථභාවයන් නොසලකා අනවශ්‍ය ලෙස ඉක්මනින් රටවල් විවෘත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නව කොරෝනා වයිරසය ඉදිරියේදී වඩාත් ප්‍රචණ්ඩ ලෙස රටවල්වලට බලපෑමක් සිදුකළ හැකි යන්නය. එහිදී දෙවන රැල්ල සඳහා සූදානම්ව සිටීමත් අප විසින් අත්පත්කරගත් ක්‍රමවේදයන් කිසිලෙසකින්වත් ලිහිල් නො කොට පවත්වාගෙන යාම ඉතා වැදගත් වේ. නව කොරෝනා වයිරසය බලපෑම අවම මට්ටමක පැවතීම අප්‍රිකානු කලාපයේ ද දකුණු ආසියාවේ ඉන්දියානු කලාපයද ඉදිරි සති කිහිපයේදී රෝගීන් වාර්තා වීම සැලකිය යුතු වේගයකින් ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතී. එබැවින් ඉන්දියානු කලාපයට ආසන්නව පවතින ශ්‍රී ලංකාව වැනි රටවල් ඉදිරි කාලයේදී වඩාත් ප්‍රවේශමින් යුක්තව තම කටයුතු මෙහෙය වීමේ අවශ්‍යතාව පැන නැගෙයි.
 

More News..