brand logo

දෙවැනි මනාපය අපට ඕනෙ නෑ - සජිත් ස්ථිරවම දිනනවා

19 October 2019

සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කර ගැනීමට මූලිකත්වය ගත් අය අතරේ සිටි එජාපයේ ජ්‍යෙෂ්ඨයකු වන්නේ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාරය. ජනපතිවරණය පිළිබඳ ඔහු සති අග අරුණට අදහස් දැක්වූයේ මෙසේය. ජනපතිවරණ ඉතිහාසයේ කවදාවත් නොවූ තත්ත්වයක් අද දකින්නට ලැබෙනවා. ඇයි එහෙම වුණේ. මෙය ඉතාම තීරණාත්මක මැතිවරණයක්. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා විදිහට ගෙනාවම පුදුම විදිහේ පිබිදීමක් ජනතාව තුළ ඇති වුණා. මම ඒක දකින්නේ 1977න් පස්සෙ එක්සත් ජාතික පාක්ෂිකයන් ඉතා ධෛර්යවන්තව හා උත්තේජනයකින් කරන මැතිවරණයක් බව පෙනෙනවා. ඒ බව ගෝල්ෆේස් පිටියේ රැලියේ දී සනාථ වුණා. ඉතිහාසයේ කවදාවත් නොදුටු සෙනගක් එදා ගාලුමුවදොරට ආවා. මේක තමයි ජනතාවට අවශ්‍ය වෙලා තිබුණු තත්ත්වය. අද එය ඉෂ්ට වෙලා තියෙනවා. සජිත් ඉල්ලූ ජනතාව ගෝල්ෆේස් පිටියේ විතරක් නෙවෙයි අද මුළු රට වටාම ඉන්නවා. ගම් මට්ටමේ ජනතාවගේ අවශ්‍යතාව සහ කැමැත්තෙන් සංවිධාන ශක්තිය පිරිලා. මම ඇහුවේ එක්සත් ජාතික පක්ෂය ගැන විතරක් නෙවේ. අපේක්ෂකයන් සියලු දෙනා සම්බන්ධයෙන් සන්සන්දනාත්මක තත්ත්වය. ඡන්දය පාවිච්චි කරන්න තීන්දුවක් නොගත් ජනතාවගේ ප්‍රතිශතයක් තියෙනවා. මේ මැතිවරණය අවුරුදු පහකට රටේ නායකයා පත්කරන මැතිවරණය. මෙහි දී ඡන්දදායකයා යම් සන්සන්දනාත්මක කටයුත්තක යෙදෙනවා. මොන අපේක්ෂකයාගෙන්ද රටට යහපතක් සිදුවන්නේ කියලා. අපේ අපේක්ෂකයා කවදාවත් වංචාවකට දූෂණයකට අසු නොවුණු මිනීමැරුම් නඩුවලට අහුනොවුණු ඒ වගේ කළු පැල්ලම් නැති රටට ආදරේ කරන කෙනෙක් අනෙක් අපේක්ෂකයා එහෙම නොවෙයි. චෝදනා විශාල ගණනක් තියෙනවා. ඒ විතරක් නොවෙයි රටට ආදරයක් නැතිව පුරවැසිකමත් දාලා දුවපු කෙනෙක්. මෙවැනි කෙනෙක්ද රටේ නායකයා කරගන්න කියන්නේ. රටේ නායකයා වෙන්න ඕනේ රටට ආදරය කරන කෙනෙක්. තවත් දෙයක් මේ තුළ අපි දකිනවා. සජිත් ප්‍රේමදාසට පුළුවන්කම තියෙනවා තනිවම තමන්ගේ මැතිවරණය මෙහෙයවා ගන්න. ගෝඨාභය රාජපක්ෂට තනිවම රැස්වීමක් හෝ පුවත්පත් සාකච්ඡාවක්වත් තනිවම කරගන්න පුළුවන්ද? ප්‍රශ්නයකට තනිවම උත්තරයක් දෙන්න පුළුවන්ද? මහින්ද රාජපක්ෂ නැත්නම් ගෝඨාභය ඉවරයි. ඔබ ඔය කියන චෝදනා මෙරට කිසිදු අධිකරණයකින් ඔප්පු වෙලා නැහැ. ඔහු නීතියෙන් වැරදිකරුවකු වී නැහැ. ඔය හිස් වචන විතරයි නේද? අධිකරණය කියන්නේ එක්සත් ජාතික පක්ෂය නෙවේ. මේ චෝදනා ඉදිරිපත් කරන්නේ අපේ රහස් පොලිසිය. විශේෂ පොලිස් ඒකකය එකතු වෙලා නීතිපති හරහා දැන් ඒ අධිකරණ ක්‍රියාවලිය පටන් අරන් තියනෙවා. තීන්දුව දෙන අදියරට තවම නඩු ඇහිලා නැතත් අපි කියන්නේ ඔහුට චෝදනා රාශියක් ඇති බවයි. ඒ නඩු කටයුතු ක්‍රමානුකූලව ඉදිරියට යනවා. මේ ඡන්දයේ දී එක්සත් ජාතික පාක්ෂිකයාගේ හැසිරීම කොහොම වෙයිද? අපේ පාක්ෂිකයන් මෙවර පුදුම උද්‍යෝගයෙන් ඉන්නේ. 1977 වගේ ඔවුන් විශාල පිබිදීමකින් ඉන්නවා. වසර ගණනකට පසුව හෝ ඔවුන් බලාපොරොත්තු වූ අපේක්ෂකයා ඔවුන්ට ලැබිලා. වසර 25කට පසුව වුවත් ධෛර්යය උත්තේජනය ඕනෑකම ඔවුන් තුළ තිබෙනවා. පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් පත් කරගන්න උදා වූ අවස්ථාවක්. පාක්ෂිකයා මෙය දිගටම ඉල්ලූ දෙයක්. දැන් ඔවුන්ට එය ලැබිලා තියෙනවා. ඒ නිසා දැන් ඔවුන් සජිත් ප්‍රේමදාස ජනාධිපති කරගන්න සියලු වෙහෙස ගන්නවා. නමුත් මධ්‍යම පාන්තික ඡන්ද එක්සත් ජාතික පක්ෂයට පහසුවෙන් ලැබෙන්නේ නැති තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. මධ්‍යම පන්තියේ වැඩි පිරිසක් රාජ්‍ය සේවකයෝ. ලක්ෂ 15ක් ඉන්නවා. මේ රටේ රාජ්‍ය සේවකයන්ට වැඩියෙන්ම සැලකුවේ අපේ රජය. අවම වශයෙන් සියයට එකසිය හතකින් පඩි වැඩිවීම සිදු වුණා. ඒ විතරක් නෙවේ. ඔවුන්ට ගෞරවනීයව රාජකාරිය ඉටුකරන්න පුළුවන් වාතාවරණය මේ රජය තුළින් ඇති වුණා. මොන ආණ්ඩුවද රජයේ සේවකයන්ට අපි වගේ සැලකුවේ. අද මධ්‍යම පාන්තිකයා ඇතුළු සියලු දෙනාට බියෙන් තොරව ජීවත් විය හැකි රටක් අපි නිර්මාණය කරලා තියෙනවා. අදහස් ප්‍රකාශ කිරීමට විවෘත භාවය ලැබිලා තියෙනවා. මේ වගේ නිදහස් රටක ජීවත්වන එක තෝරගන්නවද එහෙමත් නැත්නම් ඒකාධිපතියෙක් යටතේ ජීවත් වීම තෝරගන්නවද කියලා මධ්‍යම පන්තිය ඇතුළු ජනතාව තීරණය කරාවි. උතුරේ ඡන්ද ගන්න මොනවාද රජය දුන්න පොරොන්දු? අපි කිසිම පොරොන්දුවක් දී නැහැ. අපේ පක්ෂයේ තීරණය ඒකීය රටක් තුළ බලය විමධ්‍යගත කිරීම. අපිට ආපසු යුද්ධයක් උවමනා නැහැ. යුද්ධයක් කරන කෙනාට ඡන්දය දෙනවාද යුද්ධ නොකර සියලු ජනවර්ගයන්ට සාමූහිකව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරන කෙනාට ඡන්දය දෙනවාද කියන එක ජනතාව තීරණය කරාවි. යුද්ධ කරන කෙනෙක් අවශ්‍ය වෙන්නේ යුද්ධයක් තියෙනවා නම් විතරයි. ආපහු මේ රටේ කිසිම කාලෙක යුද්ධ ඇතිවෙන්නේ නැහැ. ගෝඨාභය දන්නේ යුද්ධ කරන්න. එතකොට එයාව ගේන්න හදන්නේ නැවතත් රට යුද්ධයකට තල්ලු කරන්නද. රටට අවශ්‍ය සංවර්ධනය නම් ඒකට තෝරාගත යුත්තේ ඒ සඳහා කටයුතු කරන නායකයෙක් සමගියෙන් සිංහල ද්‍රවිඩ මුස්ලිම් සියලුම ජාතීන්ට නිදහසේ ජීවත් විය හැකි රටක් අපි නිර්මාණය කළ යුතුයි. ඒ වගේ රට සංවර්ධනය කිරීමට අත්දැකීම් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. ඉතින් අප ඒ සඳහා  අවශ්‍ය නියම සුදුස්සා ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම නැතිව ඔය සමාජ ජාලවල කියන්නා වගේ පොරොන්දුවක් උතුරේ ජනතාවට දීල නැහැ. ඕව අමූලික බොරු. සංවර්ධනය කියලා පසුගිය දවස්වල දිගටම කළේ ඡන්ද ගන්න පගා දීපු එක නේද? ඔය වැරදි අර්ථකථනයක්. අපිට ජනතාවට පගා දෙන්න ඕනේ නැහැ. නමුත් ජනතාවගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නවා. ජනතාව වෙනුවෙන් සහන සැලසීමට පටු අර්ථකථන දෙන්න එපා. එහෙම නම් ඔය කියන විදිහට රජයට ජනතාව වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බැරි වෙයිනේ. රජයක වගකීම ජනතාවගේ සියලු ඕනෑ එපාකම් සපයා දීම. මෙසේ සහන සැලසීම රජයකින් රජයකට වෙනස් වෙන්න පුළුවන්. පටු කෝණවලින් බලනකොටත් හැමදෙයක් දිහාම අවිශ්වාසයෙන් බලනකොටත් ඔය වගේ දේවල් පේන්න පුළුවන්. අපි දූෂණයෙන් වංචාවෙන් තොර ආණ්ඩුවක් හදනවා කියලා දැනටමත් අපේ අපේක්ෂකයා කියලා තියෙනවා. තමන්ගේ කැබිනට් මණ්ඩලයට හොරු ගන්නේ නැහැ දූෂිතයෝ ඇතුළු කරන්නේ නැහැ කියලා. ඔහු කිව්වා බලන්න ප්‍රතිවාදී අපේක්ෂකයා ළඟ ඉන්න පිරිස දිහා. අධිකරණවල නඩු වැහි වැහපු දූෂිතයෝ හොර මිනීමරුවෝ ස්ත්‍රී දූෂකයෝ, වංචනිකයෝ මේ වගේ පිරිසකට ද ආපහු රට භාරදෙන්න කියන්නේ. රජයේ සේවකයන්ට විශේෂ පඩි වැඩිකිරීම සාධාරණයි කියලා ඔබ හිතනවද? අපි රජයේ සේවකයන්ගේ පඩි වැඩි කළා විතරක් නෙවෙයි. තවත් ගොඩක් දේවල් කළා. ගොවියාගේ වී මිල වැඩි කළා. බඩ ඉරිඟු මිලට සාධාරණ මිලක් දෙනවා. මේ අයටත් විශාල සහන ප්‍රමාණයක් ලැබිලා තියෙනව. රුපියල් 28ක්ව තිබුණු වී දැන් විකුණන්නෙ රුපියල් 45ට විතර. රුපියල් 23ට තිබුණු බඩ ඉරිඟු දැන් රුපියල් 50 ට විකුණනවා. ඒ වගේම තේවලට සහතික මිලක් තියෙනවා. රුපියල් 170ට වික්ක රබර් දැන් රුපියල් 270ට විකුණනවා. ගම්මිරිස්වලට ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් ඒකත් හඳුනාගෙන තියෙන්නේ අවශ්‍ය තීරණ ගන්න. වැඩි පඩි ගත් රාජ්‍ය සේවකයන් එජාපයට ඡන්දය දෙයිද? ඔව්. අනිවාර් යෙන්ම. මම ඒක දන්නවා. රජයේ සේවකයෝ එක්ක මම අමාත්‍යවරයා විදියට හුඟක් ළඟින්  කටයුතු කරනවා. සේවකයෝ තමන්ගේ කෘතවේදීත්වය දක්වන්න මේ ඡන්දය අවස්ථාවක් කරගන්නවා. වසර ගණනාවක් පුරා ඔවුන්ට තිබුණු නොවිසඳුණ ප්‍රශ්න රාශියක් මේ රජය යටතේ විසඳුණා. රජයේ සේවකයන් දැන් තෘප්තිමත්. වෘත්තීය සමිති නායකයන්ගේ කතාවලින් වුණත් අපිට මේ තත්ත්වය පේනවා. දැනටත් කිසියම් හෝ වෘත්තීය අරගලයක නිරත වෙන්නේ නොයෙකුත් දේශපාලන පක්ෂවල අවශ්‍යතා මත බව හඳුනාගෙන තිබෙනවා. සේවකයන් අපිට නොයෙකුත් අවස්ථාවල කියලා තියෙනව. ඔවුන්ගේ වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා දුන්නේ මේ ආණ්ඩුවෙන් බව. ඔබට තියෙන තක්සේරුව මත රජයේ සේවකයන්ගෙන් ඔබේ අපේක්ෂකයාට ලැබෙන ඡන්ද ප්‍රතිශතය කෙබඳුද? පසුගිය මැතිවරණයේ දී රජයේ සේවකයන්ගෙන් සියයට හැටක ඡන්ද ප්‍රතිශතයක් අපි ලබාගත්තා. මෙවරත් එය ඒ තරමින්ම හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් වෙන බව විශ්වාසයයි. ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා ගැන මොනවාද හිතෙන්නේ? තනිවම කිසිම දෙයකට මුහුණ දෙන්න බැරි අපේක්ෂකයෙක් කිසිම මතයක් නැති අනුන්ගේ අදහස්වලින් යැපෙන කිසිම දර්ශනයක් නැති අයෙක්. මේ වනවිට ජනතාව ඒ තත්ත්වය හඳුනාගෙන අවසන්. රැස්වීමකට තනියම එන්න බැරි, පුවත්පත් සාකච්ඡාවක් තනිවම හසුරුවා ගන්න බැරි, ප්‍රශ්නයකට සෘජු පිළිතුරක් දෙන්න බැරි අයෙක් නායකත්වයට පත්වුණොත් කොහොම වෙයිද? තනිවම නැගී සිටින්න බැරි අපේක්ෂකයෙක් මේ රටේ නායකයා කරලා හරියයිද? ඒ විතරක් නෙවෙයි එතුමා මේ රටේ යුද්ධය කාලේ පැනලා ගිහිල්ලා ඇමරිකන් පුරවැසියෙක් වෙලා ලංකාවේ පුරවැසිභාවය ඉවත් කරගෙන ගෙවල් දොරවල් විකුණලා දාපු කෙනෙක්. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂ විසින් නටවන රූකඩයක් විතරයි.  එයාගේ නෝනයි පුතයි දෙන්නම තවමත් ඇමරිකන් පුරවැසියෝ. මේ වගේ කෙනෙක්ට ද ජනතාවට ඡන්දය දෙන්න කියන්නේ. ජනපතිවරණයේ තියුණු සටනක් පෙනෙන්නට තිබෙනවා. ඔබේ පක්ෂය දෙවැනි මනාපයක් බලාපොරොත්තු වෙනවද? මේ රටේ ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරණයකදී දෙවැනි මනාපයක් සටහන් වෙලා නැහැ. අපට දෙවැනි මනාපයක අවශ්‍යතාවකුත් නැහැ. අපේ අපේක්ෂකයා ජයග්‍රහණය කරනවා. ඇයි අපි සියයට පනහකට වැඩි ප්‍රතිශතයක් ගන්නවා නම් දෙවැනි මනාපයක් ගැන කථා කරන්නේ. ඔබේ අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රතිශතය තක්සේරුව කෙබඳුද? අපේ ඉලක්කය සියයට පනහක ප්‍රතිශතයක්. මේ මැතිවරණයේ උච්චතම අවස්ථාව එළඹෙන්නේ අන්තිම සතිය තුළ. එතැනදි අපේ ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය කටයුතු අපි සැලසුම් කරලා තියෙනවා. ඒ සැලසුම් අපි ක්‍රියාත්මක කරනවා. එතකන් මේ තත්ත්වය ඉහළ පහළ යාවි. ජනාධිපතිවරණය ජයගත්තොත් මහ මැතිවරණය කවදා තියයිද? කවුරු ජනපති ලෙස පත්වුණත් ඔහුට බලයක් නැහැ පාර්ලිමේන්තුව විසිරුවන්න. එහෙම නම් තුනෙන් දෙකක බලයක් තිබිය යුතුයි. ඒක නිසා අවුරදු හතරහමාරකට පස්සේ තමයි පාර්ලිමේන්තුව විසුරුවන බලය ලැබෙන්නේ. ඒ කියන්නේ මාර්තු වන විට ඒ කාලයේ දී අපට පුළුවන් වෙයි පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වැටිලා තියෙන තත්ත්වය ගැන මොනවද හිතෙන්නේ? හරිම කනගාටුවක් තියෙන්නේ. මේ රටේ ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ දෙක තමයි එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්. ඒ වටා සන්ධාන ගොඩනැගුමට ප්‍රධාන පක්ෂ වුණේ ඒවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න අද කටයුතු කරලා තියෙනවා. අද පාක්ෂිකයෝ අතරමං වෙලා තියෙන්නේ. එ් නිසයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ විශාල වශයෙන් එක්සත් ජාතික පක්ෂය වටා එකතු වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ පොදු ජනතාවගේ පක්ෂයක්. පොහොට්ටුව කියන්නේ පවුලේ පක්ෂයක්. නායකයා මහින්ද රාජපක්ෂ. අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ ඒ අපේක්ෂකයාට බැරි වුණොත් අනිත් අපේක්ෂයා චමල් රාජපක්ෂ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මේක ජනතාවගේ පක්ෂයක්ද? පවුලේ පක්ෂයක්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා වෙන්න නම් පොහොට්ටුව පරදින්න ඕනේ. ලෝක දේශපාලනයෙත් පවුල් දේශපාලනය දකින්නට තියෙනවා නේද? තාත්තගෙන් පුතාට දේශපාලනය අාසියාවේ දේශපාලන ක්‍රමය තුළ දකින්නට තියෙන ලක්ෂණයක්. ඉන්දියාව, බංග්ලාදේශය පාකිස්තානය වගේ රටවල් තුළත් මේ තත්ත්වය තියෙනවා. ලංකාවේ තියෙන්නේ එහෙම තත්ත්වයක් නොවෙයිනේ. මේක පරම්පරාව සහ පවුලම එක පක්ෂයක්. මේ පක්ෂය තුළ පවුල කියන සාධකය ඉස්මතු වෙනවා මිසක් ජනතාවට සැලසෙන සෙතක් නැහැ. මේ තත්ත්වය ජනතාවත් වැඩිකල් නොගොස් තේරුම් ගනීවි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගැන ඔබට තියෙන්නේ මොන වගේ හැඟීමක්ද? අපේ කැබිනට් එකේ ප්‍රධානියා ඔහු. මමත් කැබිනට් අමාත්‍යවරයෙක් වුණේ ඔහු සමග. විවේචන අවශ්‍ය නැහැ එතුමා ගැන. හැබැයි ජනාධිපතිතුමා ස්වාධීනව නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් විදියට හිටියානම් හොඳයි කියලා මට හිතෙනවා. එතුමා පසුගිය කාලේ ගත් තීරණ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් දැන් යම් තීරණයක් අරගෙන තියෙනවා නිර්පාක්ෂික වෙන්න. හැබැයි ඕක කරන්න තිබුණේ වේලාසනින්. රනිල්ගෙත් සජිත්ගෙත් එකට ගමනක් නැහැ නේද? දැන් අපි සියලු දෙනා එකට එකතු වී තමයි මේ මැතිවණ ව්‍යාපාරය කරගෙන යන්නේ. මේ මැතිවරණයේදී අපේ නායකයා සජිත් ප්‍රේමදාසට සම්පූර්ණ නිදහස් දීලා තියෙනවා මැතිවරණ ව්‍යාපාරය අවශ්‍ය විදියට කරගෙන යන්න. මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂට දම්වැලක් දාගෙන ඉන්නවා. වගේ කිසිම පාලනයක් කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ නැතිව තනිවම ගිය ගමනක් ගෝඨාභය රාජපක්ෂගේ අපි දැක්කේ නැහැ. ඉදිරි රැස්වීම්වල දී රනිල් සජිත් එකට මැතිවරණ කටයුතුවල යෙදෙනවා විතරක් නෙවෙයි. අපේ අගමැතිතුමා වෙනමම පිරිස අමතමින් ඔහුගේ ඡන්ද ව්‍යාපාර කටයුතුවලට හවුල් වෙනවා. උඩට නොපෙනුනාට එජාපය තුළ බෙදීම තවමත් තියෙනවා නේද? කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම පිල් බෙදීමක් නැහැ. ඉතාම සමගි සම්පන්නව එකාවන්ව මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු කරගෙන යනවා. ඔය වගේ කථා පතුරවන්නේ දේශපාලන අනාථයෝ. අපේ පක්ෂයේ නම් කාටවත් එහෙම ප්‍රශ්නයක් නැහැ. සියලු දෙනාගේම පොදු අරමුණ අපේ ජයග්‍රහණයයි. ඒ ජයග්‍රහණය වෙනුවෙන් අපි හැම දෙනාම පෙනී සිටිනවා. රජයේ සේවකයන්ට කොතරම් සැලකිලි කළත්  ඔවුන් නිදහසේ සේවය කළත් අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍යතා සපුරන්නේ නැහැ නේද? රජයේ සේවකයන්ට සම්පූර්ණ නිදහස දුන්න් අපි. හැබැයි. දැන් රජයේ සේවකයෝ වැඩ කරන්නේ නැහැ. ඔවුන්ගේ කාර්යක්ෂමතාවයේ ප්‍රශ්නයක් තියෙනවා. අපි බලනවා ඉදිරියේදී නිකන්ම නිකන් උසස්වීම් ලබා නොදී යම් යම් ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරනවා. කාර්යක්ෂමතාව පදනම් කරගත් උසස්වීම් ක්‍රමයේ දිරි දීම් ක්‍රමයක් අරඹන්න අපට සිදුවෙනවා. නැත්නම් රට ඉදිරියට යන්න බැහැ.  රජයේ සේවකයන්ගෙන් අපි කාර්යක්ෂමතා දකින්න ඕනේ. ඒ දේ අපි ඉදිරියේදී කරනවා. තව හරියටම මසකින් අපේ ජනපතිවරයෙක් පත්වෙනවා නියත වශයෙන්ම. එය ඉරහඳ වගේ විශ්වාසයි. එතකොට අපි ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනවා. දීප්ති ප්‍රමිතා අධිකාරී ඡායාරූප - සමන් අබේසිරිවර්ධන
 

More News..