brand logo

දෙවැනි එල්.පී.එල්. තරගාවලියට ක්‍රීඩකයන් ගෙන්වන හැටි ප්‍රසිද්ධ කෙරේ

22 June 2021

ලබන ජූලි මස 29 වැනිදා සිට අගෝස්තු 22 දා දක්වා පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ විදෙස් ක්‍රීඩයින් ලියාපදිංචි කිරීම ඊයේ (21 වැනිදා) සිට ආරම්භ කෙරිණි. අදාළ ලියාපදිංචිය සඳහා විදෙස් ක්‍රීඩකයින්ට සතියක කාලයක් හිමිවන අතර එය මේ මස 27 වැනිදා දහවල් 12.00ට අවසන් වනු ඇත. ඒ අනුව ලියාපදිංචිය සඳහා එක්වන ක්‍රීඩකයින්ගේ සුදුසුකම් මත ඔවුන්ව එල්.පී.එල්. තරගාවලියේ විදෙස් ක්‍රීඩක කෙටුම්පත සඳහා ඇතුළත් කිරීමට නියමිතය. ලියාපදිංචිය සඳහා එක්වීමට අපේක්ෂිත විදෙස් ක්‍රීඩකයන් සපුරාලිය යුතු සුදුසුකම් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දක්වා තිබේ. එහි සඳහන් පරිදි, ලියාපදිංචිය සඳහා එක්වන විදෙස් ක්‍රීඩකයින් ඔවුන්ගේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබීම, සිය රටේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාකර තිබීම හෝ අයි.සී.සී.යේ පූර්ණ සාමාජිකත්වය හිමි රටක් විසින් සංවිධානය කරනු ලැබූ විස්සයි විස්ස ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වී තිබීම අනිවාර්ය වේ. මෙහිදී තරගාවලියට එක්වෙන දේශීය ක්‍රීඩකයන් ලැයිස්තුවට එක්වන ක්‍රීඩකයින් කවුරුන්ද යන වග ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මගින් තීරණය කරනු ඇත. ඒ සඳහා ජාතික, නැගී එන, සංවර්ධන කණ්ඩායම්, ‘ඒ’ කණ්ඩායම සහ අන්තර් සමාජ ප්‍රධාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතරින් තෝරා ගැනීම සිදු වේ. පළමු තරගාවලියේදී සේම මෙවරත් අදාළ තරගාවලිය කණ්ඩායම් පහක සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. දේශීය ක්‍රීඩකයන් 14 දෙනෙක් සහ විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙකු සමගින් එක් කණ්ඩායමකට ඇතුළත් මුළු ක්‍රීඩකයන් සංඛ්‍යාව 20කි. කිසියම් කණ්ඩායමකට පැවැති පළමු එල්.පී.එල්. තරගාවලියේදී සිය කණ්ඩායම නියෝජනය කළ දේශීය සහ විදේශීය ක්‍රීඩකයින් දෙදෙනා බැගින් රඳවා ගැනීමේ අවස්ථාව පවතී. එම අවස්ථාව උදා වන්නේ එකී ක්‍රීඩකයන් මෙවර තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පතට ඇතුළත්ව ඇත්නම් පමණි. මෙවර තරගාවලියේ ඒ ඒ කණ්ඩායම්හි ප්‍රධානතම ක්‍රීඩකයන්ගේ යම් වෙනසක් සිදු වී ඇති බවට වාර්තා වේ. ඒ අනුව කලම්බු කිංගිස් පිලේ ප්‍රධානතම ක්‍රීඩකයා ලෙසින් කුසල් ජනිත් පෙරේරා, දඹුල්ල වයිකිංග්ස් පිලේ ප්‍රධානතම ක්‍රීඩකයා ලෙසින් දසුන් ශානක, ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ ප්‍රධානතම ක්‍රීඩකයා වශයෙන් වනිඳු හසරංග, ගෝල් ගැලැඩියේටර්ස් පිලේ ප්‍රධානතම ක්‍රීඩකයා ලෙසින් ධනුෂ්ක ගුණතිලක සහ කැන්ඩි ටස්කර්ස් පිලේ ප්‍රධානතම ක්‍රීඩකයා වශයෙන් නිරෝෂන් දික්වැල්ලව නම්කර ඇති බවට සඳහන් වේ. ඉකුත් වසරේ නිමාවට පත් වූ පළමු එල්.පී.එල්. තරගාවලියේදී කුසල් පෙරේරා කැන්ඩි ටස්කර්ස් පිලේ නායකයා ලෙසිනුත්, නිරෝෂන් දික්වැල්ල දඹුල්ල වයිකින්ග්ස් පිලත් නියෝජනය කර තිබීමත් විශේෂත්වයකි. ගයාශාන් විතානආරච්චි
 

More News..