brand logo

දෙවන රැල්ලක් නැහැ - රට හෝ පළාත් වසා දැමීමක් නැ

15 July 2020

කොවිඩ් 19 රෝගය පාලනය සම්බන්ධයෙන් වන විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා වන සියලු උපදෙස් ජනාධිපතිතුමන් විසින් සෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලබාදී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්ලයේ ආලෝක පූජාව උදෙසා වාර්ෂික කොප්පරා පූජාව අවස්ථාවට (15) සහභාගි වෙමින් ඒ මහතා ඉහත අදහස් පළ කළේය. කොවිඩි 19 රෝග පාලනය සම්බන්ධයෙන් තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය. මේ වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව කොවීඩ් 19 රෝගීන් 532 නෙකු වාර්තා වෙලා තිබෙනවා. ඒ අතර එහි පුනරුත්ථාපනය වන රැඳවියන් 444 ක්, එහි සේවය  කරන උපදේශකයන් හා කාර්ය මණ්ඩලයේ 64 ක් මෙන්ම ඔවුන්ගේ පවුල්වල ආශ්‍රිතයන් 24  දෙනෙකු සිටිනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සියලු දෙනා මෙන්ම  කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ ඊට අමතරව ආශ්‍රිතයන් ද පී සී ආර්   පරීක්ෂණ සඳහා යොමුකොට තිබෙනවා. මෙය කොවීඩ් රෝගී පොකුරක් වශයෙන් මිස  දෙවන රැල්ලක් වශයෙන් හඳුන්වන්න බෑ. මේ වන විට ද අපි බොහෝ වශයෙන් මෙම රෝග ව්‍යාප්තිය පාලනය කොට තිබෙන නිසා රට හෝ පළාත් වසා දැමීමක් මේ මොහොතේ  අවශ්‍ය වන්නේ නෑ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද  රාජපක්ෂ මහතාද කොවීඩ් මර්දන විශේෂ කාර්ය බලකාය කැඳවා රෝග පාලනය සඳහා  අවශ්‍ය සියලු උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සෞඛ්‍ය අංශ  හා අදාළ සියලුම දෙනා රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගෙන  තිබෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ විවිධ කටකතා සම්බන්ධයෙන් ජනතාව බිය විය යුතු  නැහැ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් සියලුම සත්‍ය තොරතුරු මාධ්‍ය හරහා  නිරන්තරයෙන් ජනතාවට ලබා දෙනවා. නමුත් ජනතාවට වගකීමක් තිබෙනවා මේ  අවස්ථාවේ මෙම රෝගය වළක්වා ගැනීම සඳහා උපරිම පියවර ගැනීමට. නිකරුණේ  අනවශ්‍ය ආකාරයෙන් ගමන් බිමන් නොයා, මුඛ ආවරණ නිසි පරිදි පැළඳ, සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කොට රෝග පාලනය සඳහා ජනතාවගේ දායකත්වය ලබා දීම අත්‍යවශ්‍යම  සාධකයක් බවට පත්ව තිබෙනවා. ඒ වගකීම රට වෙනුවෙන් ජනතාව ඉටුකළ යුතුයි. කමල් සුරවීර මහනුවර
 

More News..