brand logo

දෙමළ සන්ධානය ගුරුකන්ද විහාරයේ පොංගල් සමරුවක

15 January 2020

මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන සීමාවේ පවතින නිරාවිය පිල්ලයාර් ගණදෙවි කොවිලේ අද (15 වැනිදා) දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් තෛපොංගල් සැමරුම් වැඩසටහනක් සූදානම් කර ඇති බව ප්‍රදේශවාසීහු පැවසූහ. දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටී. රවිහරන් ඇතුළු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් හා ප්‍රදේශයේ දෙමළ ජනතාව මෙම තෛපොංගල් සැමරුම වෙනුවෙන් පැමිණීමට නියමිතය. විහාරස්ථාන සීමාවේ ටකරන් මඩුවක් සකස් කොට තෛපොංගල් සැමරුම පැවැත්වීමට සූදානම් කොට තිබේ. පසුගිය වසරේ තෛපොංගල් සැමරුම් වැඩසටහන පැවැත්වීමත් සමග විහාරස්ථානයේ හිමිකම සම්බන්ධයෙන් ගැටලුවක් මතුවිය. විහාරස්ථානයේ වැඩ විසූ අපවත් වී වදාළ කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ට දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් එහිදී බලපෑම් කළ අතර, විහාරස්ථානයේ අයිතිය හා කෝවිලේ අයිතිය සම්බන්ධ‍යන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩුවක් ද ගොනු කරනු ලැබිණි. අදාළ නඩු විභාගයේ ප්‍රතිඵලයක් ලෙස මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන භූමියේ පැවැති කෝවිල මුලතිව් නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ලෙස නම් කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් පසුගිය මැයි මාසයේදී තීන්දුවක් ලබාදෙනු ලැබීය. ප්‍රදේශවාසීන් පැවැසුවේ විහාරස්ථානය සම්බන්ධයෙන් පවතින අධිකරණ නියෝග නොතකා මෙවරද දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් තෛපොංගල් සැමරුම් වැඩසටහනක් පවත්වන බවයි. මේ වන විට පොලිස් නිලධාරීන් පිරිසක් විහාරස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ඇති බව පැවැසේ. මාධව කුලසූරිය -වවුනියාව  
 

More News..