brand logo

දෙමළේ පිච්ච මල පරවිය

06 February 2021

දෙමළ සාහිත්‍යවේදීන්ගේ වගතුග සිංහල සමාජයේ කතාබහට ලක් නොවන තරම්ය. එනමුත් ඩොමිනික් ජීවාට එහෙම වුණේ නැත. ඔහු සිංහල සාහිත්‍යය ගැන උනන්දුවක් දක්වන චරිත අතරේද ප්‍රසිද්ධ අයෙකි. යාපනේ පිච්ච මල ලෙසින් හැඳින්වූ ඔහු මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, කේ. ජයතිලක වැනි මහා සාහිත්‍යවේදීන් දෙමළ සමාජයට හඳුන්වා දුන්නේය. කේ. ජයතිලකගේ ‘චරිත තුනක්’ දෙමළෙන් දකුණු ඉන්දියාවේ මුද්‍රණය කිරීමට මුල් වූවේද ඔහුය. ගිය සතියේ අප අතරින් සමුගත් ඩොමිනික් ජීවා ගැන මේ ලිපිය ලියන්නට අප තෝරාගත් ආචාර්ය මඬුළුගිරියේ විජේරත්නද විශේෂ චරිතයකි. ඩොමිනික් ජීවා සිංහල සාහිත්‍යය දෙමළට හරවද්දී මඬුළුගිරියේ විජේරත්න දෙමළ සාහිත්‍යය සිංහල පාඨකය්නට දීමට මුල් වූවෙකි. යාපනයේ ‘පිච්ච මල’ සදහටම පරවී ගියේය. සුප්‍රසිද්ධ දෙමළ ලේඛක ‘ඩොමිනික් ජීවා’ මියගිය පුවත එසේ ලෝකයට දැනුම් දුන්නේ ලොව ප්‍රකට දෙමළ සාහිත්‍යවේදියකු හා පශු වෛද්‍යවරයකු වන ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ‘නෝයල් නඩේසන්’ සහෘදයාය. ඩොමිනික් ජීවාගේ දිවියේ රසබර තැන් කීපයක් මතක් කරමින්, ඔහු මෙසේද කියා තිබුණි. ‘‘එදා ඩොමිනික් ජීවා ලේඛකයාණන් පසු කලෙක ඔහු විසින් අරඹන ලද ‘මල්ලිගෛ’ (පිච්ච මල) සඟරාවේ සිංහලයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පින්තූරයක් දමා දෙමළ ජනතාවට හඳුන්වා දුන්නේය. ඒ අවස්ථාවේ යාපනයේ අන්තවාදියකු ජීවාගේ ‘මල්ලිගෛ’ සඟරාව මිලයට ගෙන ඔහු ඉදිරියේම ඉරා දමමින් ‘‘උඹ සිංහලයෝද අපේ ජාතියට හඳුන්වලා දෙන්නේ’’ යැයි ද්වේෂ සහගතව බැණ වැදුණේය. එදා ඩොමිනික් ජීවා මෙයට පිළිතුරු දීමට තම ජීවිතයේ දවසක් ඒවී යැයි කිසිවිටෙකත් සිතා සිටින්නට නැත. සරදමක මහත! ඔහු ප්‍රංශයේ පැරිස් නුවර 2016 දී සාහිත්‍ය දේශනයකට ගිය කල්හි මේ බව ප්‍රසිද්ධියේ කියාපාන්නට ඔහුට අවස්ථාවක් ලැබුණි. එහිදී ඔහු එය පැවසූ විට එදා මාර්ටින් වික්‍රමසිංහගේ පින්තූරය ඉරා දැමූ පුද්ගලයා ඩොමිනික් ජීවා ඉදිරියට ඇවිත් සමාව අයැද සිටියේ මාද ඉදිරිපිටදීය. ‘‘අපි කළ වැරදිවලින් අපේ ජනතාව කොපමණ අපහසුතාවකට පත්වී අවතැන් වී සිටිනවාදැයි බලන්න. මට සමාවන්න.’’ එසේ කී ඔහුට ඒ මොහොතේ ඩොමිනික් ජීවා කිව්වේ දැන්වත් තේරුම් ගත්තා නම් හොඳය යන්නයි. දෙමළයේ තවත් ලේඛකයකු වන රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී ‘මුරුගපූපති’ ජීවාගේ අභාවය ගැන කීවේ ‘‘ලාංකික තමිල් සාහිත්‍යයේ මැක්සිම් ගෝර්කි නිහඬ විය’’ යනුවෙනි. ලංකාවේ පමණක් නොව සුවහසක් ලොව දෙමළ ජනතාව ශෝකයට පත් කරමින් මේ දුර්ලභ ගණයේ සාහිත්‍යධරයාගේ පන්හිඳ 2021 ජනවාරි මස 28 වැනි දින සදහටම ගොලු වුණේය. එවිට ඔහු පසුකරමින් සිටියේ වයස අවුරුදු 94ය. ලෝකයේ මිනිසුන් පහළ වන්නේ එක් එක් කාර්යයන් කිරීම සඳහාය. ඩොමිනික් ජීවා නම් මිනිසා මේ ලක් දෙරණේ පහළ වුණේ ලාංකේය සාහිත්‍ය කෙත පෝෂණය කරන්නටය. ඔහු සාහිත්‍යවේදියකි, සංස්කාරවරයෙකි, පුවත්පත් කලාවේදියෙකි, කෙටි කතා කරුවෙකි, එමෙන්ම ඔහු අප රටේ සිංහල දෙමළ සාහිත්‍ය ‘සේතුව’ නිර්මාණය කළ ‘සේතු’ නිර්මාණකරුවා විය. ඔහු පන්හිඳ අතට ගත්තේ අසාධාරණ අයුක්තිය, සූරාකෑම, විශේෂයෙන් යාපා පටුනේ කුල පීඩනය නැති කිරීම උදෙසාය. ජන්මයෙන්ම හීන කුලයක් යැයි යාපා පටුනේ දෙමළ ජනතාව සලකන කරණවෑමි කුලයක 1927 ජුනි මාසයේ 27 දින ඩොමිනික් ජීවා මෙලොව එළිය දුටුවේය. ඔහුගේ පාසල් කාලය ඉතා අමිහිරි සිදුවීම්වලින් ගහණය. ඔහු පස්වැනි පන්තියේදී ඉගෙනුම ලබන විට සිදුවූ සිද්ධියක් ‘මුරුග පූපති’ විසින් ලියන ලද ‘ඩොමිනික් ජීවා විත් නිනෙවුහල්’ (ඩොමිනික් ජීවාගේ මතක සටහන්) කෘතියට කියා තිබුණේය. ‘‘එදා අපේ පන්තියට ගණිතය ඉගැන්වීමට ගුරුවරයකු පැමිණියා. අපි ඔක්කෝම ගණන් පාඩම ඉගෙන ගන්න ලෑස්ති වුණා. ගුරුවරයා කළු ලෑල්ලේ ගණනක් හැදුවා. මං හොඳින් ගණනට අවධානය යොමු කෙරුවා. ඒ ගණන හැදුවේ වැරදි විදිහට. මං නිර්භයව නැගිටලා ‘සර් ඔය ගණන වැරදියි’ කිව්වා. එකෙනෙහිම ගණිත ගුරුවරයා කෝපයට පත්වුණා. මා දෙස රවා බැලුවා. ‘එහෙනම් ඇවිල්ලා මේක හදපං’ මට රටහුනු කෑල්ල විසි කළා. මං රටහුනු කෑල්ල අහුලාගෙන කළු ලෑල්ලේ නිවැරදි ආකාරයෙන් ගණන හැදුවා. එතකොට ගිනි පුපුරු විසිවෙන ඇස්දෙකින් යුතුව ඒ ගුරුතුමා දැඩි කෝපයකින් මට බැණ වැදුණා. ‘තෝ ඇයි බොල මෙහෙ ඇවිල්ලා අපට වද දෙන්නේ. උඹ හොඳ මිනිස්සුන්ගේ හිස, රැවුල් බාන්න. පලයං ගිහින් ඒක කරපං’ මෙහෙම කිව්වාම මං කොහොමද ඔහුගෙන් ඉගෙන ගන්නේ කියලා මං ඉස්කෝලයෙන් පිට වුණා. ඒ ඉස්කෝලේ මගේ අධ්‍යාපනයේ දොර වැසී ගියා. ඊට පස්සේ තාත්තා එක්ක මං බාබර් වැඩේ කරන්න ගියා.’’ ජීවා කියා තිබුණේ ඔහුගේ මවගේ සිහිනය වී තිබුණේ ඔහු උපාධිධාරියකු වනු දැක්මට බවයි. ඒ නිසා ඇගේ බල කිරීමටම ඔහු සාන්ත මේරි විද්‍යාලයට ඇතුළත් කර ඇත. පළමු පාසලෙන් ලද අමිහිරි මතකය හිතෙන් පහව ගොස් නොතිබූ නිසා අලුත් පාසලට ජීවා බැඳුණේ හිතේ බයකින් යුතුවය. ‘‘ඒ ඉස්කෝලෙයට බැඳිච්ච පළමු දවසේම අපූරු සිදුවීමක් වුණා. මාව ඒ ඉස්කෝලයට එක්කරගෙන ගියේ මගේ ලොකු අයියා. ඉස්කෝලයට බන්දවාගෙන මාව පන්තියටත් එක්කරගෙන ගියා. ඒ පන්තිය භාරව හිටියේ තංගම්මා කියලා ටීචර් කෙනෙක්. මං හරියට චකිතයකිනුයි හිටියේ. ඒ ඉස්කෝලේදීත් මොකක් හරි සිදුවීමක් වෙයි කියලා. ඒත් එක්කම මට දරා ගැනීමට නොහැකි මූත්‍රා බරක් දැනුණා. මූත්‍රා කිරීමට ටීචර්ගෙන් අහන්න බය හිතුණා. ඒක නිසා ඉවසාගෙන හිටියා. ඉවසන්නට බෑ. අන්තිමේදී මං කලිසමේම මූත්‍රා ටික බාලා දැම්මා. පස්සේ ටීචර් මං ළඟට ආවාම මං හොඳටම බය වුණා. ටීචර් අල්ලපු පන්තියේ හිටපු අපේ අයියාට කතා කරලා මාව ගෙදර ඇරියා. පසුකලෙක මාගේ තන්නීරුම් කන්නීරුම් (ජලය සහ කඳුළු) පොතට 1960දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හම්බ වුණාම ඉස්සෙල්ලාම යාපනයේ තංගම්මා ටීචර් ළඟට තමයි ගියේ. මට එතකොට වයස තිස් තුනයි. ඒ වෙනකොට ඒ ටීචරුත් වයසට ගිහින්.’’ සාහිත්‍ය සම්මානයක් ලැබීම ලේඛකයකුගේ ලිවීමට ලොකු උත්තේජනයකි. ඩොමිනික් ජීවාටද ලැබූ සාහිත්‍ය සම්මානය දිගින් දිගටම ලියන්නට ලොකු පන්නරයක් වුණේය. ඒ, ලේඛනයේ පිබිදීමත් සමග ඔහු මල්ලිගෛ සඟරාව, පිච්ච මල ආරම්භ කර ඇත. ඒ 1964දීය. ‘‘මම මල්ලිගෛ (පිච්ච මල) සඟරාව පටන්ගත්තට පස්සෙ මගේ බාබර් සාප්පුව මල්ලිගෛ ප්‍රකාශකයෝ කියල වෙනස් කරල ලොකු බෝඩ් එකකුත් දැම්මා. මල්ලිගෛ සඟරාව මුද්‍රණය කරලා මුළු යාපනය පුරාවටම පාපැදියෙන් ගෙන ගොස් මගේ පාසල් කාලයේ මිතුරන්ට, කඩවලට නොයෙක් ස්ථානවලට දැම්මා. ඒකෙන් මුදල් ටිකක් හම්බ කරගන්න පුළුවන් වුණා. ඒ වුණත් මගේ පවුලගෙ තාත්තා ඇණුම්පද කිව්වා. සඟරාව විකුණලා එනකොට මට එයා කිව්වේ ‘හම්බකන්නා’ එනවා කියායි. පවුලගේ තාත්තා කියන්නේ මගේ අම්මගෙ අයියා.’’ ඔහුගේ විවාහය මාමාගේ දියණිය සමග සිදුවී ඇතත් ජීවිත කාලයටම අමතක කළ නොහැකි විවාහයට පෙර තරුණ වියේ පැවති ප්‍රේම සම්බන්ධයක්ද ජීවාට තිබී ඇත. එදවස ඔහුගේ එකම ප්‍රාර්ථනය වී ඇත්තේ ඒ පෙම්වතිය හා විවාහ වීමය. ‘‘තරුණ වයසේදි කාටත් හිතෙනවා වාගේ මටත් ආදරය කරන්න හිතුණා. මේ ගෑනු ළමයා හිටියේ අපේ පටුමගට එහා පටුමගේ. මං එයාව බලන්න දවසකට හතර පස් පාරක් ඒ පටුමගේ බයිසිකලයෙන් ගමන් කරනවා. එහාට ගිහිල්ලා කෙල්ලව කොහොම හරි යාළු කරගත්තා. නමුත් ප්‍රශ්නයකට තිබුණේ එයා මට වඩා උසස් කුලයක, මං පහත් කුලයක. එයා කුලය ගණන් ගත්තේ නෑ. හැබැයි එයාගේ දෙමාපියෝ හොඳටම විරුද්ධ වුණා. ඒක නිසා අපි දෙන්නා හොරෙන් පැනලා යමු කියලා කතා වුණා. එහෙම කතා වෙලා දවසක් දා මං එයාට කිව්වා අද හවසට ඔයාව එක්කරගෙන යන්න එනවා කියලා. මගේ සංඥාවට ඔයා එන්න, පස්ස පැත්තේ ගේට්ටුව ළඟට. එතකොට අපිට යන්න පුළුවන් කියලා. මං කියපු වෙලාවට එතැනට ගියා. ගිහිල්ලා සංඥා දුන්නා, ඒත් කෙල්ල නෑ. පැයක් පමණ මං හිටියා. ඒත් නෑ. එතකොටම වාගේ එයාගේ අම්මා ආවා. ඇවිත් මෙහෙම කිව්වා.’’ ‘‘උඹලා අද පැනලා යනවා කියලා ආරංචි වෙලයි මං ආවේ. ළමයෝ, මේක අහපන්, උඹලා පැනලා ගියොත් මේ අඹ ගහේ එල්ලිලා මං මැරෙනවා. එතකොට මගේ මිනිය උඩින් තමයි උඹලට යන්න වෙන්නේ.’’ කියලා නොයෙක් දේ කිව්වා. මං ආපහු ගියා. මගේ පළමු ප්‍රේමය අවසන් වුණේ එහෙම. අදත් මං දුක්වෙනවා. ඒ ගේ අසලින් අදත් යනකොට මට චකිතයක් දැනෙනවා.’’ ආදර සම්බන්ධය දෙදරා ගියත් ඇදනොවැටුණු ජීවා, මාමාගේ දුව හා වූ විවාහයෙන් ගැහැනු දරුවකුගේ හා පිරිමි දරුවකුගේ පියෙකුද වූවේය. ලංකාවේ පැවති තිස් අවුරුදු යුද්ධයේ පීඩනය උතුරේ කාහටත් එන්න එන්නම තදින් දැනුණේය. කිසිවකුටත් කරදරයක් නොවී මල්ලිගෛ සඟරාව වසර ගණනාවක් තිස්සේ ඔහු කරගෙන ගියේය. එයින් ආදායමක් සේම ඔහුගේ ලිවීමේ පිපාසයත් සංසිඳුණේය. දෙමළ සමාජයට කියැවීමේ දෙයක්ද ලැබුණේය. ඒත්, සන්සුන් දෙමළ සමාජය දෙදරවමින් යුද්ධය හිස එසෙව්වේය. ‘‘මං මල්ලිගෛ සඟරාව පටන් ගත්තට පස්සේ එල්ටීටීඊ විමුක්ති කොටින්ගෙන් මිනිස්සු පීඩනයට පත්වුණා, හමුදාව පීඩනයට පත්වුණා, පොලිසිය පීඩනයට පත්වුණා. ඒ කාලයේ යාපනයට තහනම් බඩු අතර කඩදාසිත් එක ද්‍රව්‍යයක්. මගේ සඟරා ගහන්න කඩදාසි නෑ. ඒ කාලේ කොහොම හරි මහන්සි වෙලා සඟරාව ගහන්න ඕන කියලා මං කඩවලට ගිහිල්ලා පරණ කොපි පොත් ගෙනැල්ලා ඒවායේ තමයි මගේ මල්ලිගෛ සඟරාව මුද්‍රණය කළේ. එහෙම මුද්‍රණය කරපු මල්ලිගෛ සඟරාව විකුණා ගත්තේ යුද්දෙ මැදම යාපනය පුරාම බයිසිකල් පැදලා. මල්ලිගෛ සඟරාවට ජීවයක් ආවෙ කොළඹට ආවට පස්සෙයි.’’ ‘‘මේ සඟරාව පටන් ගත්තට පස්සෙ තමයි මං සිංහල, දෙමළ සාහිත්‍ය පාලම ඇතිකරන්න සිතුවේ. එහෙම හිතලා මං සිංහල ලේඛකයන්ගේ සේයාරූ සහිත විස්තරයක් එක්කම ඔහුගේ කෙටි කතාවක් පළ කළා. එහෙම පළ කරපු අය හැටියට මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, ගුණදාස ලියනගේ, බොබී ජී. බොතේජු, ගුණසේන විතාන, නිහාල් රංජිත් ජයතිලක, ටී.පී.ඒ. සුබසිංහ, රත්න පී. ඒකනායක වැනි අයයි. ඔවුන් ගැන ලියන කොට ඒ අය දන්නේ නැතිව තමයි දෙමළ සමාජයට හඳුන්වලා දුන්නේ. මේ කාලයේ මං දේශපාලනයට අවතීර්ණ වෙන්න ඕනා කියලා හිතුවා. මට හොඳට වේදිකාවල කතා කරන්නත් පුළුවන්. ඒකට හේතු වුණේ දකුණු ඉන්දියානු පක්ෂයක් වන තිරාවිඩ මින්නේමු කලහම් පක්ෂය. මගේ කතා අහන්නත් බොහොම කට්ටිය එනවා. හරිම කැමතියි. මං කොමියුනිස්ට්වාදියෙක්. විශේෂයෙන් සූරාකෑම, දරිද්‍රතාවය, අයුක්තිය, අසාධාරණය, පීඩිත පන්තිය එයිනුත් කුල පීඩිත පන්තිය ගැන කතා කියන නිසාම ඒ අය අහන්න කැමතියි. ඒ නිසාම සිංහල සමාජවාදී අදහස් ඉදිරියට ගෙන ගිය එස්.ඒ. වික්‍රමසිංහ, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, පීටර් කෙනමන්, පිලිප් ගුණවර්ධන, සරත් මුත්තට්ටුවේගම වැන්නවුන්ගේ ළඟ ඇසුරට පත්වුණා. ඒ නිසාම යාපනයේ කුල පීඩනයට, සූරාකෑමට, අයුක්තියට, අසාධාරණයට එරෙහිව සටන් කරන්න මට හැකියාව ලැබුණා." දෙමළ ලේඛක නොයෙල් නඩේසන් කියූ කතාවක් මගේ සිහියට නැගේ. වරක් කොටි සංවිධානයට විරුද්ධව ඩොමිනික් ජීවා ලියූ විට ඔහුව මුණගැහෙන්නට එන ලෙස කොටි සංවිධානයේ බුද්ධි අංශයේ නායක පොට්ටු අම්මාන් කියා ඇත. ඒත් ජීවා ගියේ නැත. එහි නොගිය ඔහු කොළඹට එන්නේ ඉන්පසුවය. මට ඔහුව මුණගැහෙන්නේ මේ දවස්වලයි. එක් දිනක් හිරු පත්‍රය වෙනුවෙන් ඔහු ගැන සාකච්ඡාවක් කරන ලෙසට හිරු පත්තරේ කර්තෘවරයකුව සිටි වත්මන් විදුලිබල අමාත්‍යවරයා වන ඩලස් අලහප්පෙරුම දැනුම් දුන්නේය. මම ඔහුව සොයාගෙන ගියෙමි. පිටකොටුවේ එක්තරා හරස් වීදියක ඔහු සිටියේය. පෙනුමෙන් ප්‍රසන්න අහිංසක මේ මිනිසා බූරු ඇඳක දිගාවී මා එනතුරු බලාගෙන සිටියේය. අපි දෙන්නා සුහද කතාබහක යෙදුණේ දෙමළ භාෂාවෙනි. ඔහු මාගේ දෙමළ දැනුමට විස්මය පළකළ අතර අපි දෙදෙනා කුළුපග වුණෙමු. එහිදී ඔහු වැදගත් ප්‍රකාශයක් කළේය. ‘‘අපි සුළු ජාතිකයන් විසින් මහා ජාතියෙන් ඉල්ලන්නේ මොකක්ද දන්නවද පුතා. ඔයාලා සුළු ජාතිය වෙලා අපි මහ ජාතිය වුණොත්, අන්න ඒ වෙලාවේ ඔයාලා අපෙන් ඉල්ලන්නේ මොකක්ද, අන්න ඒකයි අපි ඉල්ලන්නේ.’’ ඩොමිනික් ජීවා කොළඹට පැමිණ නිකම්ම හිටියේ නැත. මල්ලිගෛ පන්දල් (පිච්ච මල් ගොමුව) ආයතනය පිහිටුවාගෙන එමගින් කෘති 70ක් පමණ සිංහල දෙමළ සමාජයට තිළිණ කළේය. ඒවා අතරින් තෝරා ගත් කෙටි කතා පනහක පොකුරක් සිංහල පාඨකයන්ට පරිවර්තනය කරවලා ‘පත්තර ප්‍රසූතිය’ නමින්ද තිළිණ කළේය. මල්ලිගෛ පන්දල් ආශ්‍රයෙන් කේ. ජයතිලක සූරීන්ගේ චරිත තුනක් නවකතාව දෙමළ බසට නගා දකුණු ඉන්දියාවේ චෙන්නායිවල පිහිටි නිව් සෙන්චරි බුක්ස් (New Century Books) ආයතනය මගින් පළ කළේය. සිංහල පොතක් දෙමළට නගා දකුණු ඉන්දියාවේ පළවූ ප්‍රථම අවස්ථාවද මෙය විය. දකුණු ඉන්දියානු පාඨකයන්ට සිංහල නිර්මාණවල රුව ගුණ රසවිඳීමට හැකියාව ඇති කළේ ඩොමිනික් ජීවා විසිනි. ‘‘මල්ලිගෛ පන්දල් මගින් මට දෙමළ සිංහල සමාජයට කිරීමට හැකිවුණ සේවාව මගේ ශක්ති ප්‍රමාණයෙන් මා විසින් කරනු ලැබුවා.’’ ‘‘මාව දැන් විශ්වවිද්‍යාල මට්ටමින් අගයන්න පටන් ගත්තා. මගේ ජීවිතය, නිර්මාණ, මා කළ සේවය අලලා දැන් නිබන්ධනත් කෙරෙනවා. දකුණු ඉන්දියාවේ මධුරෛ කාමරාජන් විශ්වවිද්‍යාලය ශාස්ත්‍රපති නිබන්ධන කීපයක් කළා. ඒ වගේම අපේ ලංකාවේ පේරාදෙණිය, යාපනය, මඩකලපුව වැනි විශ්වවිද්‍යාලවලත් විවිධ උපාධිවලට පර්යේෂණ නිබන්ධන කෙරුණා.’’ ඔහු වරක් මා සමග පැවසුවේය. උපන් දා සිට මියයන තෙක්ම දශක හතරක ජීවිතයේ දෙමළ සාහිත්‍ය සහ සිංහල සාහිත්‍ය කෙත පෝෂණයට ජීවාගේ පන්හිඳ සුවිසල් මෙහෙවරක් කළේය. ජාතික සමගිය සඳහා මේසා කැපවීමකින් ක්‍රියා කළ තවත් ශ්‍රී ලාංකේය සිංහල දෙමළ ලේඛකයකු නැති තරම්ය. මේ කාලය තුළ ඔහු ජීවිත කාලයටම එක් වරක් ලැබෙන ගොඩගේ සම්මානයත්, සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් දෙනු ලබන සාහිත්‍ය රත්න සම්මානයත් ‘දේශයේ නෙත’ නමැති අග්‍රාමාත්‍ය සම්මානයෙන් පිදුම් ලබා සිටියේය. ආචාර්ය දෙමළ පණ්ඩිත් පන්මොළි විත්තගර් පන්මොළි පුලවර් සාහිත්‍යවේදී මඩුළුගිරියේ විජේරත්න
 

More News..