brand logo

දූෂණවලට හසුවන රාජ්‍ය සේවකයන්ට යළි රැකියා නෑ - ජනපති

01 January 2020

රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයා බැලීමට සහ අක්‍රමිකතා කරන අය නීතියේ රැහැනට හසුකර ගැනීමට තමා බුද්ධි අංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. රාජ්‍ය සේවකයකු දූෂණ හා වංචාවන්ට සම්බන්ධ වුවහොත් තරාතිරම නොබලා දඬුවම් දෙන බවත්, යළි කිසි දිනක රාජ්‍ය සේවයේ අවස්ථාවක් නොදෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මගී ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (31 වැනිදා) පැවැති සාකච්ඡාවේදීය. පවතින සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂම බව තම ධුර කාලයේදී අවසන් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී අවධාරණය කර ඇත. දෛනික ජන ජීවිතයට සෘජුව සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන කාර්යක්ෂම සහ විනිවිද භාවයෙන් යුත් පිරිසුදු ආයතන බවට පත්විය යුතු බවද මෙහිදී ජනාධිපතිවරයා පවසා තිබේ. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහතික කිරීමට නම් අනවශ්‍ය අණ පනත් සහ රෙගුලාසි කඩිනමින් සංශෝධනය විය යුතුයි. සියලු රාජ්‍ය සේවාවන් සරල සහ ජනතාව අපහසුතාවට පත් නොවන ක්‍රමවේදයකින් ක්‍රියාත්මක විය යුතුයි. රාජ්‍ය සේවය පිළිබඳ ජනතා විශ්වාසය නැවත තහවුරු කිරීම ලක්ෂ 15ක් වන සමස්ත රාජ්‍ය සේවකයන්ගේ ප්‍රමුඛ වගකීමකි. එහිදී විවෘත සංවාද, සාකච්ඡා සහ නොසඟවා ගැටලු ඉදිරිපත් කිරීම ඉතා වැදගත්. රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා හැකියාවක් සහ වෘත්තීය නිපුණතාවක් ඇති පිරිස් බඳවා ගැනීමට විද්වත් කමිටුවක් පත් කළේද රාජ්‍ය සේවය රටේ කොඳුනාරටිය නිසයි. අල්ලස් ගන්නන් සේම, දෙන්නන්ද නීතියේ රැහැනට හසුකර ගැනීමට අපේක්ෂා කරනවා. විදේශීය ආයෝජකයන් තුළ මෙන්ම සමස්ත ලෝකයේම රට පිළිබඳ පැහැදීමක් ඇති වන්නේ රාජ්‍ය සේවයේ ක්‍රියාකාරීත්වය මතයි. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඇතුළු පහසුකම් වැඩි කළ හැක්කේ ද රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමෙනි. රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ විදෙස් ශ්‍රමිකයන් සහ කෘෂිකර්මාන්තය ඇතුළු රැකියාවල නිරත ජනතාව උපයන ආදායමෙනි. එහෙයින් සමස්ත ජනතාවට කාර්යක්ෂම සහ පවිත්‍ර රාජ්‍ය සේවයක් ලබාදීමට සියලුම සේවකයන්ගේ ප්‍රමුඛ වගකීමකි. මහජන සේවා කාර්යක්ෂමව ඉටු කිරීමේදී දත්ත ජාල ගත කිරීම, නව තාක්ෂණික ක්‍රමෝපාය අනුගමනය කිරීම මෙන්ම සියලු ආයතන මනා සම්බන්ධීකරණයකින් කටයුතු කළ යුතුයි. ඒ විතරක් නොවේ, වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී කළ යුතු වෛද්‍ය පරීක්ෂණය අනුව සැහැල්ලු වාහන සඳහා ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත්. එම පරීක්ෂාව ද රෝහල් මට්ටමින් ලබාදීම පිළිබඳව සොයා බලනවා. වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියැදුරු බලපත්‍ර සඳහා සීමා කරන ලෙස දැනුම් දුන්නා., ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.
 

More News..