brand logo

දුවට වෙච්ච පොරොන්දුව ඉටු කරන්න බැරිවීමේ දුක ධම්මිකට තියෙනවා

01 March 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ වේගපන්දු යවන්නෙකු වන ධම්මික ප්‍රසාද් ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. පසුගියදා ජත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමත් සමග ධම්මික ප්‍රසාද් ගැන බොහෝ දෙනා කතා කරන්නට පටන් ගත්තා. ඒ කොහොම වෙතත් මේ වෙද්දී ඔහු තීරණය ගෙන අවසන්. අවසන් කතාවේදී ඔහු කළ ප්‍රකාශය ක්‍රීඩාලෝලීන් සංවේදී කරන්නටත් සමත් වුණා. මේ සියල්ල නිසාම පිනිපලසේ අපි ධම්මිකගේ ආදරණීය බිරිඳ නිහාරි සිල්වා සමග කතා කළා. ජාතික කණ්ඩායම නියෝජනය කළ සැමියා ධම්මික ජාත්‍යන්තර පිටියට සමුදෙනවා කියද්දී ඒ දේ දැනුණේ කොහොමද? මෙහෙමයි. එයා ඒක තීරණය කරලා මට කිව්වා. ඇත්තටම මට පුදුම හිතුණා. එයා හැම තිස්සෙම උත්සහ කළේ එයාගේ තැන හදාගෙන ආයෙම රට වෙනුවෙන් සෙල්ලම් කරන්න. ඒ නිසා මම ඇහුවා ඇයි සමුගන්න තීරණයක් ගත්තේ කියලා. එතකොට එයා කිව්වේ පුහුණුකරුවන් සමග කතා කරා එතැනදී ඒ අය තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන වැඩි අවධානයක් දෙන්නේ, ඒ නිසා බොරුවට තේරුමක් නැහැ තවදුරටත් ඉන්න එක කියලා හිතුණ නිසා මේ තීරණය ගත්තා කියලා. එහෙම කියනකොට ඉතින් මටත් හිතුණා එයා අරන් තියෙන තීරණයත් හරි වෙලාවත් හරි කියලා. මුලින්ම එහෙම සමුගන්නවා කියද්දී නිහාරිට දුක හිතුණද? අනිවාර්යෙන්ම දුක හිතුණා. එයා පහුගිය කාලේ ලොකු ආබාධයන්ට ලක් වුණු නිසා තමා තරග මග හැරුණේ. එයාට විශාල ශල්‍යකර්ම තුනක් පවා කළා. ඒ ශල්‍යකර්ම කළ වෛද්‍යවරු කිව්වේ ධම්මික ඔයාට ආයේ සෙල්ලම් කරන්න නම් බැරි වෙයි කියලා. ඒත් එයාට එයාගේ හිතේ විශ්වාසය තිබ්බා. ශල්‍යකර්මයෙන් මාස තුනකට පස්සේ එයා ව්‍යායාම පවා කරන්න ගත්තා. ඒ වගේ ලොකු කැපකිරීමක් කරලා තමා ආයෙම පන්දු යවන මට්ටමට ආවේ. ක්ලබ් තරග පවා මේ වෙද්දී ක්‍රීඩා කරනවා. ඉතින් ඒ කරපු කැපකිරීම් උදේ හවස දැක්කේ මම. ඒ නිසා මට ලොකු දුකක් ආවා මේ ගත්ත තීරණය මුලින් කියද්දි. අවුරුදු 20ක් සෙල්ලම් කරලා සමුගනිද්දී එයාගේ හිතෙත් වේදනාවක් ඇති. ඒක නැහැ කියනවා නෙවෙයි. නමුත් සමුගන්නවා කියන තැනට හිත හදාගෙන ජාතික කණ්ඩායමේ හිටපු කාලය ගැන සහ ක්‍රීඩා කරපු ආකාරය ගැන සතුටින් තමා එයා ඒ සමුගැනීම සිදු වුණේ. නමුත් එයා ආසාවෙන් හිටියා තරගයක් ක්‍රීඩා කරලම සමුදෙන්න. ඒ දේවල් නොලැබීම ගැන වේදනාවක් තියෙනවා. ඒ වගේම සතුටක් තියෙනවා එකම තැන ඉඳගෙන දෙයක් දිහා බලාගෙන ඉන්නවට වඩා අද මම සතුටුයි එයා ගත්ත තීරණය ගැන. පුංචි දෝණිට දුන්න පොරොන්දුවක් ගැන සමුගැනීමේදී ධම්මික කිව්වා.... ඔව්. ඒ ඇත්තටම ධම්මික ආබාධයට ලක්වෙලා ක්‍රීඩා නොකර ඉන්න කාලේ දුව නිතර ඇහුවේ තාත්ති ඔයා සෙල්ලම් කරන්නේ කවද්ද කියන එක. මොකද දුවට මාස තුනේ ඉඳන්ම මම ධම්මික සෙල්ලම් කරපු තරග බලන්න යනවා. දුවත් එහෙම තමා තාත්තා එක්කමයි. දුවගේ ඒ වචනත් සෑහෙන්න ඉවහල් වුණා ධම්මික මොන තරම් ආබාධ තිබ්බත් ඒවා මැඬගෙන ආයේ නැගිටින්න. ඒ නිසා ධම්මිකත් හැම තිස්සෙම කිව්වේ නැහැ මම කොහොම හරි ආයේ සෙල්ලම් කරනවා කියලා. ධම්මික දරුවන්ට හරි ආදරෙයි. මම දොස් කියනවා ඉල්ලන හැමදේම දෙන්න එපා කියලා. ඒත් එයා ළමයි ඉල්ලන හැමදේම දෙන තාත්තා කෙනෙක්. ඒ නිසා හිතට වේදනාවක් තියෙනවා දුවට දුන්නු පොරොන්දුව ඉටු කරන්න බැරි වීම ගැන. එයා ආස කළා දුවයි, පුතයි එක්කගෙන ගිහිල්ලා හොඳින් ක්‍රීඩා කරලා තවදුරටත් ක්‍රීඩා කරන්න පුළුවන්කම තියෙද්දී අයින් වෙන්නේ කියන එක පෙන්වන්න. අන්තිම වෙද්දී නම් නැහැ තරගයක් ඕනේ නැහැ ඉවත් වෙනවා කියන තැනට එයා හිත හදාගෙන තිබ්බා. නිහාරි ධම්මික සෙල්ලම් කරපු තරග බලන්න ගිය කෙනෙක්ද? ඔව්, මම ධම්මික මුණගැහෙද්දී ක්‍රිකට් ගැන කිසිම දෙයක් දැනගෙන හිටිය කෙනෙක් නෙවෙයි. ධම්මික සෙල්ලම් කරපු හැම තරගයකටම මම ගියා. විදෙස් සංචාර පවා මම ගියා දුව හම්බෙන්න කිට්ටු වෙද්දී ගුවන් ගමන් යන්න එපා කියලා වෛද්‍යවරු කියනකම්ම වගේ මම ගියා. බලපු අමතක නොවන තරගය මොකක්ද... ආසාවෙන් සහ කුතුහලයෙන් බලපු තරගය තමා 2015 දී ඉන්දියාව එක්ක සෙල්ලම් කරපු ඉෂාන් ශර්මා එක්ක ප්‍රශ්නයක් ඇති කර ගත්ත තරගය. ඒක අපි බැලුවේ හිටගෙන ඒ තරම්ම කුතුහලයෙන්. නිහාරිට කොහොමද ධම්මික මුණගැහෙන්නේ... මගේ අයියගේ පාසලේ මිතුරෙක්. ඒ නිසා නිතර ගෙදර එනවා යනවා. එතකොට පාසල් කණ්ඩායමේ නායකයා. ඒ දැන හැඳුනුම්කම තමා පසුව ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන කාලේදී තමා අපේ ගෙදර ඇවිල්ලා තාත්තාගෙන් මගේ ගැන අහලා ආදරය කරන්න පටන් ගන්නකොට එයා ජාතික කණ්ඩායමේ. පොඩි දෙන්නා ගැන මතක් කළොත්... දුව ඩිහාශි ක්ලේයාරා දුවට අවුරුදු 9යි. එයා යන්නේ සෙන් තෝමස් ජාත්‍යන්තර පාසලට. පුතාට නම් තවම අවුරුදු 4යි. එයාගේ නම ඩිහාෂ් මිලෝන්. අනුෂා රණසිංහ
 

More News..