brand logo

දුරකථන විකුණපු ඔන්ලයින් වංචාවෙන් කෝටි ගණනක් හම්බ කරලා

01 February 2021

අන්තර්ජාලය මගින් දැන්වීම් පළ කර වටිනා ජංගම දුරකථන ඇතුළු උපකරණ විකුණන මුවාවෙන් රුපියල් කෝටි ගණනාවක වංචාවක් කළ පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැලිගමදී අත්අඩංගුවට ගෙන ඇත. අනුන්ගේ හැඳුනුම්පත් භාවිත කරමින් එම වංචාව කර තිබේ. ගිණුම් කිහිපයකම සැක කටයුතු ලෙස රුපියල් කෝටි ගණනක මුදල් සංසරණය වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහ බැංකු මූල්‍ය බුද්ධි අංශය කළ පැමිණිල්ලක් මත මෙම සැකකරු අල්ලාගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගන්නා මොහොතේදීත් වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් ලබාගත් සිම් කාඩ්පත් 5 ක්, සොරකම් කරන ලද හැඳුනුම් පත් 5 ක්, ව්‍යාජ නම්වලින් වූ බැංකු පොත් පහක්ද සෙයාගෙන තිබේ. කනංකේ, පහේකණුවේ පදිංචි රුක්මාල් සුබසිංහ (29) නමැති සැකකරු ඔන්ලයින් ව්‍යාපාර කටයුතු වැඩි වශයෙන් සිදුවන වෙබ් අඩවියක විවිධ නම්වලින් දැන්වීම් පළකර ඇත. ඔහු ජංගම දුරකථන, සංගීත උපකරණ සහ අයිපෑඩ් ඇතුළු දෑ අඩු මුදලට විකුණන අයකු ලෙස පෙනී සිටිමින් දිනපතා දැන්වීම් පළකර ඇත. අත්තිකාරම් ලෙස සෑම අයකුගෙන්ම රුපියල් දස දහසේ සිට විසිදහස දක්වා ව්‍යාජ බැංකු ගිණුම්වලට මුදල් ගෙන්වාගෙන ඇතැයිද අනාවරණය වී තිබේ. සැකකරුට එරෙහිව ඇති පැමිණිලි වහාම දැනුම් දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලංකාව පුරා පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත. ඊයේ (31 වැනිදා) පෙරවරුව වනවිට පැමිණිලි දහයක් පමණ සැකකරුට එරෙහිව ලැබී ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..