brand logo

දුමින්දගේ නිදහස ඇමරිකාව හෙළා දකී

25 June 2021

මිනීමැරුමකට වැරදිකරුවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම ඇමරිකා එක්සත් ජනපදය හෙළා දැක තිබේ. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ 2018 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවකු ලෙස නම් කළ දුමින්ද සිල්වාට සමාව දීම නීතියේ ආධිපත්‍යයට 'වළ කැපීමක්' බවයි. කෙසේවෙතත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි සිරකරුවන් පිරිසක් නිදහස් කිරීම පිළිබඳව තානාපතිවරිය ප්‍රසාදය පළකර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි සිරකරුවන් 16 දෙනකු පොසොන් පොහොය පදනම් කරගෙන ඊයේ (24 වැනිදා) රජය විසින් නිදහස් කරන ලදී. “සිරකරුවන් ඉක්මනින් නිදහස් කිරීම අපි සාදරයෙන් පිළිගනිමු. නමුත් 2018 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ දුමින්ද සිල්වාට සමාව දීම නීතියේ ආධිපත්‍යයට වළ කපයි. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වගවීම සහ යුක්තිය සඳහා සමාන ප්‍රවේශයන් ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය බැඳී සිටී. ”යැයි තානාපතිනිය සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. නයන තරංග ගමගේ
 

More News..