brand logo

දුම්හට්ටියෙන් කුණ්ඩලීනි මුට්ටියට වැටුණ අයට වේදු දුම අල්ලනු...

14 November 2020

කොරෝනාවට එරෙහිව නොයෙක් නම්වලින් විකුණන දුම් හට්ටි මේ දිනවල කරළියට පැමිණ තිබේ. දේව අනුහසින් දුන් වට්ටෝරුවක් අනුව නිපදවූ හාස්කම් ඇති දුම් හට්ටියක් ගැන දුන් ප්‍රචාරය නිසා අද ඒ හරහාද කූට ලෙස මිනිසුන් මුළා කරන බව පෙනේ. මේ හට්ටිවලින් රට කෙතරම් මුළාවට පත්වී ඇත්දැයි හොඳටම පෙනෙන්නේ වැඩ බලන පොලිස්පති පොලිස් නිලධාරීන්ට ලද චක්‍රලේඛයෙනි. කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන්ට දුම්ඇල්ලීම ඇතුළු ගොඩ වෙදකම් කර වැඩ වැරදුණොත් එම නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව පොලිස්පතිවරයා පවසා තිබුණි. දුම් හට්ටි අල්ලා කොරෝනා සුව වෙන්නේ නැත. කොටින්ම කියනවා නම් දුම් හට්ටිය වැරදි වචනයකි. ‘දුම් හට්ටිය’ කියන වචනවලින් සමාජගත වන්නේම වැරදි අරුත නිසාම බටහිර වෛද්‍යවරුන් දේශීය වෛද්‍ය ක්‍රමයට පහර දීමට අවස්ථාවක් ලබාගෙන තිබේ. නියම ආකාරයෙන් වේදුවක් සකසා ගන්නට අවශ්‍ය වන්නේ මුට්ටියක් වන අතර එයින් පිටවන්නේ දුමක් නොව වාෂ්පය වේ. එනිසා අපි සකසා ගත යුත්තේ දුම් හට්ටියක් නොව ‘වේදු මුට්ටියකි’. වේදු පෑම යනු අනාදිමත් කාලයක පටන් අපේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමයේ පැවැත එන ඉතා ප්‍රචලිත ප්‍රතිකාරයකි. මෙම වෙළෙඳපොළේ ඇති දුම් හට්ටි වට්ටෝරුවල ඇති බොහෝ ගණනක් ඖෂධ කිසිදු පදනමකින් තොරව ඒවාට එකතු කර ඇති අතර ඒවා අතර දේශීය වෙදකමේ භාවිතයට නොගන්නා වර්ගයන්ද අඩංගු වේ. එබැවින් මේවා ආයුර්වේද හෝ දේශීය වෛද්‍ය ක්‍රමයට අයත් හෝ ඒවාට අනුකූලව සකස් කළ වට්ටෝරුද නොවේ. මෙම දුම් හට්ටි කලක් සිට එක්තරා පෞද්ගලික සමාගමක් මගින් කොරෝනා ව්‍යසනයේදී එයින් කොරෝනා සුව වන බවට ව්‍යාජ ප්‍රචාරයක් දීමෙන් වෙළෙඳපොළ තුළ ජනප්‍රිය නිෂ්පාදනයක් වීමෙන් පසුව එය මිනිසුන් මුළා කිරීමේ කූට ජාවාරමක් බවට පත්ව තිබේ. මෙම දුම් හට්ටිය නිසා කොවිඩ් රෝගීන් සුව වූ බව ප්‍රචාරය කිරීම ඉතා ලජ්ජා සහගත බාල වර්ගයේ වෙළෙඳ ප්‍රචාරයකි. එබඳු දුම් හට්ටි රජයේ රෝහල් තුළ භාවිත නොකරන බවද කිව යුතුය. රෝගීන් හට තමන්ගේ අභිමතය හා පහසුකම් අනුව වාෂ්ප ප්‍රතිකාරය කර ගත හැකිය. එබැවින් මෙම දුම් හට්ටිය කොවිඩ් රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස හෝ එයින් වැළකීමට භාවිත කිරීමෙන් වැළකිය යුතුය. සමහර සංයෝග ආයුර්වේද හෝ දේශීය වෛද්‍ය ක්‍රමය මගින් කිසිසේත් අනුමත නොකරන ද්‍රව්‍ය එකතුවකි. එසේම එම සංයෝගවල ඇතුළත් සමහර ද්‍රව්‍ය සමහර පුද්ගලයන් හට අසාත්මික හෝ විෂවීමක් සිදුවිය හැකි බැවින් මෙවැනි අනාරක්ෂිත දුම් හට්ටියක් භාවිත කිරීමෙන් ඔබේ සෞඛ්‍යයට හානියක් සිදුවීමෙන් මෙවැනි අවස්ථාවක ප්‍රතිශක්තිය තවත් පහළ යාමෙන් රෝගයට ගොදුරු වීමේ ඉඩකඩ වැඩිවිය හැකිය. සමහර දුම් හට්ටි භාවිත කරන උපදෙස් අනුව ඒවා කිසිසේත්ම මෙවැනි රෝගයකට අදාළව පාවිච්චි කරන ආකාරයේ ක්‍රම නොවේ. සාමන්‍යයෙන් නාසය, උගුර හෝ පෙණහලු ආශ්‍රිත ශ්වසන පද්ධතියේ රෝගවලදී සන්ධි හෝ කොඳු ඇට පෙළ දිගේ තැවීමක් නොකරයි. තවද කෙනකුට සොයා ගැනීමට අමාරු තරම් විශාල සංඛ්‍යාවක් නම් මෙම වට්ටෝරුවලට ඇතුළත් කිරීමෙන් නිවසේදී සරල වේදුවක් සාදා ගැනීමට ඇති ඉඩකඩ අහුරා තම වෙළෙඳ නිෂ්පාදනයේ අලෙවිය වැඩි කරගැනීමට උපක්‍රමයක් භාවිත කර තිබේ. දැන් අපි බලමු වේදුවක් නිවසේදී සාදා ගන්නා නියම ක්‍රමය. මේ සඳහා අවශ්‍ය වන්නේ කට කුඩා මුට්ටියක් (මැටි නම් වඩා සුදුසුයි) හා නිවස අවටින් සොයා ගත හැකි සරල ඖෂධ කිහිපයක් පමණි. සාමාන්‍යයෙන් මෙවැනි වාෂ්ප ආඝ්‍රාණ සංයෝගයක් සඳහා ගනු ලබන්නේ පැඟිරි කුලයේ ද්‍රව්‍ය හෝ යම් ආකාරයක වාෂ්පශීලී තෛල අඩංගු ද්‍රව්‍ය වේ. නාගරික පරිසරයක ජීවත් වන අයට මේ සඳහා සුදුසු පරිදි භාජනයක් හා අනෙකුත් ද්‍රව්‍ය යොදා ගත හැකිය. මෙහිදී වඩා වැදගත් වන්නේ ඉතා ප්‍රවේශමෙන් කටයුතු කිරීම මගින් උණුවතුරෙන් පිලීස්සීමට ඇති අවදානම වළක්වා ගැනීම වේ. එහෙත් කොවිඩ් රෝගයෙන් බේරීමට සිතා නිරෝගී අයකු දිනපතා මේ ආකාරයේ වේදු පෑම අවශ්‍ය වන්නේ නැත. අපි ඉතා අවධානයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඊට ප්‍රමාණවත්ය. දෙහි කොළ, යකිනාරන් කොළ, පඹුරු කොළ, බෙලි කොළ, නික කොළ, පාවට්ටා කොළ, මදුරුතලා කොළ, කොහොඹ කොළ, කුරුඳු කොළ, ඉරිවේරිය, කප්පරවල්ලිය, යකවනස්ස, යක්බේරිය වැනි දේවල් (මේවා සොයා ගැනීමට නැති අවස්ථාවක දෙහි ගෙඩියක් කපල දැමීමත්, දෙහි ලෙලි, දොඩම් ලෙලි, සේර කොළ, රම්පෙ කොළ, කරපිංචා කොළ, සුදුළූණු බික් කිහිපයක්, කොත්තමල්ලි ටිකක් හෝ කුරුඳු පොතු වුවත් ප්‍රමාණවත් වේ.) ඉහත ඒවායින් එකක් හෝ දෙකක් සොයා ගෙන ඒවායින් අහුරු දෙකක් තුනක් ගෙන අවශ්‍ය නම් කොත්තමල්ලි මිටක් හා කුඩා අමු ඉඟුරු කැබැල්ලක්ද දමා එය ළිපේ තබා හොඳින් වසා වතුර නටන තෙක් තැම්බීම කළ යුතුය. එසේම වතුර රත්වීමෙන් පසුව කොළ වර්ග දමා වසා නටවා ගැනීමෙන් වාෂ්පශීලී තෛලවල ක්‍රියාව වඩාත් හොඳින් ලබා ගත හැකි බවද මතයකි. කෙසේ වුවත් මුට්ටිය වසා තැම්බීම කළ යුතුය. වේදු පෑමට කොළ වර්ග අමුවෙන් ගත යුතුයි. වියළීමෙන් පසු ඒවායේ වයිරස නාශක සංඝටක හීන වේ. වියළී ගිය කොළවලට වඩා අමු පත්‍ර ගුණයෙන් අධිකය. ද්‍රව්‍ය වර්ග වැඩි ගණනක් යෙදීමෙන් ඒවායේ ගුණය හීන වන අතර ඖෂධීය බලපෑම අඩුවේ. ද්‍රව්‍ය කිහිපයක් පමණක් යෙදීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය. වේදුවක් ඇල්ලීමෙන් ලැබෙන ප්‍රතිලාභ වශයෙන් විශේෂයෙන්ම නාසා කුහරය තුළ ඇති ශ්ලේෂම පටක උත්තේජනය වීම, එහි ස්‍රාවය වැඩි දියුණු වී නාසා කුහරය පිරිසිදු වීම, නාසා මාර්ගයේ ඇති අවහිරතා ඉවත්වීම, ඒ හරහා නාසා මාර්ගයේ ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීම, එසේම නාසා කුහරය තුළ ඇති ප්‍රදාහ තත්ත්වයන් සමනය කිරීම ආදිය පෙන්වා දිය හැකිය. එහෙත් වාෂ්පවල උණුසුම නිසා කොවිඩ් වයිරසය විනාශ වීම යනු මිථ්‍යාවකි. ලෝක සෞඛ්‍ය සංවිධානය වාෂ්ප ඇල්ලීම ගැන සිය මතය ප්‍රකාශ කොට ඇත්තේ මේ අනුවය. එහෙත් සම්ප්‍රදායික වේදුවක තිබෙන ඖෂධීය සංඝටකවල බලපෑම ගැන තවමත් නිසි අධ්‍යයනයක් කොට නොමැත. මෙහිදී සිදුවිය හැක්කේ වේදුවේ තිබෙන වාෂ්පශීලී සංඝටක මගින් නාසා කුහරය තුළ කරන උත්තේජනය මගින් යම් ස්වාභාවික ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් ඇතිවීමෙන් වයිරසය ක්‍රියාව යම් ප්‍රමාණයකින් පාලනය කිරීමයි. එහෙත් මේ සම්බන්ධයෙන් මෙතෙක් විද්‍යාත්මක පර්‌යේෂණයක් මගින් ඔප්පු කළ සාක්ෂි නොමැත. එහෙත් නාසය ප්‍රතිශක්ති ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් වැදගත් කාර්යයක් ඉටුකරන ඉන්ද්‍රියක් නිසා නාසා කුහරය හරහා ශරීර ගත කරන ප්‍රතිශක්ති එන්නත් පවා නිපදවා තිබේ. ඒ අනුව සාම්ප්‍රදායික වේදු මුට්ටියේ බලපෑම ගැන කල් තියා විද්‍යාත්මක මතයක් පළ කිරීම අපහසු වුවත් එය භාවිත කිරීම හරහා යම් ප්‍රතිලාභයක් ඇති බව අත්දැකීම් ඔස්සේ පෙනේ. කෙසේ නමුදු මෙය කිසිසේත්ම කොවිඩ් රෝගයට ප්‍රතිකාරයක් නොවේ. රෝගය වළක්වා ගැනීමට සම්මත සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකොට මෙම වේදුවක් මගින් පමණක් රෝගය වළක්වා ගැනීම කළ නොහැකිය. එසේම නිරෝගී පුද්ගලයකු දිනකට කිහිප වතාවක් මෙය නොකළ යුතු අතර දිනපතා කිරීමද අවශ්‍ය නොවේ. මෙය කරන අතරවාරයේ යම් ආකාරයක සැකසහිත රෝග ලක්ෂණ මතු වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ගත යුතුය. කුණ්ඩලිනී බලයෙන් මතුරන ලද ජලය මුට්ටි පිටින් ගංගාවලට මුසු කළ අපේ ඇමැතිවරු ලංකාවෙන් කොවිඩ් පහව යන තුරු මග බලමින් ඇඟිලි ගනිමින් සිටිති. ඒ අතරේ තවත් අය කොවිඩ්වලින් බේරී සිටීමට මතුරන ලද පෙරුම්කායම් සුර විකුණති. තවත් අය නළලේ කොන්දේ යටිපතුලේ උලන තෙල් විකුණති. තවත් උන් බොරු කොරෝනා පැණි විකුණති. තවත් පිරිසක් දුම්හට්ටි ජාවාරමෙන් ජයට ගසා කති. තවත් උන් නොයෙක් ආකාරයේ පොර ටෝක් දෙමින් කොවිඩ් ලෙඩෙක් එක්ක හිටියත් කොවිඩ් නොහැදෙන අන්දමේ බේත් වට්ටෝරු ඇතැයි මැත දොඩවති. තවත් අය රේකී හෙවත් විශ්ව ශක්තියෙන් කොවිඩ් රෝගීන් සුව කළ හැකි යැයි බොරුවෙන් සමාජය මුළා කරති. කුණ්ඩලිනී ජලය කතාව හැර අන් සියලුම දේවල් ඉන්දියාවේද තිබේ. එහෙත් කුණ්ඩලිනී බිහි කළ රටේ මේ වසංගතය මර්දනය කරන්නට කුණ්ඩලිනී යොදා නොගන්නේ ඇයි? කියා කිසිවෙකු හෝ ප්‍රශ්න නොකරයි. ඉන්දියාව තුළ බිහිවී ලෝකය පුරා ව්‍යාප්ත වූ තාන්ත්‍රික ඉගැන්වීම් හරහා ප්‍රචලිත වූ කුණ්ඩලිනී සංකල්පය මෙවැනි බහුබූත ජාවාරම් සඳහා යොදා ගන්නා විකාරයක් නොවේ. ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් වසංගතයෙන් මිනිසුන් සලිත වෙද්දී ලොවම සලිත වන ඇඟේ මයිල් කෙළින් වන විශ්මිත හෙළිදරව් කරන අපේ තක්කඩි යූ ටියුබ්කරුවන් මෝඩයන්ගේ විව්ස්වලින් මඩිය තරකර ගනියි. 2020 දී රටට කිරි ඉතිරෙන බව කියූ කේන්දරකරුවන් සොයා ගන්නටවත් නැත. මේ වසංගතය අවසන් වන්නේ කවදාද? අපේ රට කොවිඩ්වලින් බේරී සෞභාග්‍යය කරා ගමන් කරන්නේ කවදාද? යන අනාවැකිය පැහැදිලිව පැවසිය හැකි ජ්‍යෝතිෂවේදීන් ලොවෙත් නැත. මේ ව්‍යසනයෙන් ලංකාව බේරා ගත හැකි යාඥාකරුවන්, ප්‍රාතිහාර්ය පාන දේවගැතිවරුන්, යකුන්ගෙන් වැඩගන්නා ඇදුරන්, කට්ටඩියන් දෙවියන්ගේ පිහිට ලබා දෙන කපුවන් කිසිවෙක් පේනතෙක් මානයක නොවේ. අපි දකින්නේ මේ රටේ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ දිවා රෑ නොමැතිව මේ වෙනුවෙන් කැපවෙන ආකාරය පමණි. ඒ අතරේ වයිරස් නාශක යන්තර, තෙල් වර්ග, මැතුරු නූල් ආදී නොයෙක් විගඩම් කරළියට එයි. යූ ටියුබ්කරුවෝ මිනිසුන්ගේ බිය විකුණා සිය මඩිය තරකර ගැනීමට නොයෙක් කයිවාරුකරුවන් ඔසවා තබති. කුණ්ඩලිනී ශක්තිය යනු කුමක්දැයි නොදන්නා මෝඩයන් ගොනාට ඇන්දවීම අපහසු නොවේ. සුව වන රෝගීන් කුණ්ඩලිනී මුට්ටියට දමා ගන්නා ජාවාරම්කරුවෝ අලුතින් සොයාගන්නා ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව ගැන කතා නොකරති. මෙවැනි වසංගත කාලයක ආගමික වතාවත් හෝ එවැනි සාම්ප්‍රදායික පුද පූජා සිදුකිරීමේ කිසිම වරදක් නොවේ. එසේම බෞද්ධ රටක රතන සූත්‍රය වැනි පිරිත් දේශනා කිරීමද ජනතාවගේ ආධ්‍යාත්මික විශ්වාසය ඉහළ නැංවීමේ ක්‍රමයක් ලෙස පිළිගත හැකිය. ඒවා මේ රටේ අනාදිමත් කාලයක සිට පවතින සිරිත් ලෙස සම්මතය. එහෙත් පිරිත් කීමෙන් ජල අණුවල හැඩය වෙනස් වූ බවට එක දොස්තර මහතෙක් කියන කෙබරය මේ කුණ්ඩලිනී විලම්බීතයට සමානය. පිරිත්වලින් ජල අණු වෙනස් වුණත් එය හරහා කොවිඩ් වයිරසයට වන බලපෑමක් නැත. කුණ්ඩලිනී කියන්නේ ඒ වගේ වසංගත දුරු කරන ශක්තියක් නම් ඉන්දියාවේ ජීවත් වන ලක්ෂ ගණනක් යෝගීන් හට මුළු ඉන්දියාවේම ගංගාවලට මේ වගේ බලගැන් වූ වතුර බවුසර ගණන් මුදාහැරීමට හැකිය. එහෙත් ඉන්දියාවේද නැති ගොන්පාට් අපේ රටේ ප්‍රචලිත වෙමින් පවතින අතර ඒවා පිළිගනිමින් අගය කරමින් ඒවාට එරෙහි වූවන්ගේ මව්පියන් මතක් කරමින් තර්ක කරන ගොබ්බ රැලක්ද සමාජයේ සිටීම කනගාටුවට හේතුවකි. අන්තර්ජාලය කුණ්ඩලිනී ශක්තිය විකුණා ගෙන කන බටහිර රටවල සිටින තක්කඩින්ට සමානව දැනටමත් අපේ රටේද විශ්ව ශක්ති ජාවාරම්කරුවන් සිටියි. මැණික්වලින් ඩවුන්ස් රෝගය සුව කරන රිසිවරුන් සිටින මේ රටේ අනාගතයේදී කුණ්ඩලිනී ශක්තියෙන් බෙහෙත් දෙන හොර වෙදුන් පිරිසක්ද බිහිවනු නියතය. මෙවැනි මෝඩ චූන්වලට වඩා ගම්මඩුවක් පත්තිනි පූජාවක් ගැන කතා කිරීම වටිනේය. ගමේ කතාවට අනුව නම් මේ කුණ්ඩලිනී මුට්ටිය වැඩි දවසක් නොගොස් අපේ ගොබ්බ කට්ටිය මිනිසුන් තම්බා ගෙන කන කුණ්ඩ හට්ටියක් බවට පත් කරගැනීම නිසැකය. කොවිඩ් වසංගතය ජාවාරමක් බවට පත් කර ගෙන සිටින තක්කඩි ව්‍යාපාරවලින් ජනතාව බේරා ගැනීමට රජයේ අවධානය යොමු විය යුතුය. වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා
 

More News..