brand logo

දුම්රිය වර්ජනයේ පාඩුව මගියාට පමණක් නොවේ

04 October 2019

​මේ දිනවල රටේ වැඩිපුරම බැණුම් අසන පිරිසක් වේ නම් ඒ දුම්රිය සේවකයන් විය යුතුය. දේශපාලකයන්ද ඉක්මවා ඔවුන් ජනතාවගෙන් බැණුම් අසමින් සිටින්නේ මේ දිනවල ඔවුන් විසින් ක්‍රියාත්මක කොට ඇති වැඩ වර්ජනය හේතුකොටගෙනය. මේ වර්ජනයට දින අටක් සම්පූර්ණ වූ ඊයේ සවස් වනතුරුත් විසඳුමක් ලැබී තිබුණේ නැත. දුම්රිය මගීන්ගෙන් බහුතරය රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු මධ්‍යම පාන්තිකයෝය. එනම් දුම්රිය සේවකයන්ගේම පන්තියට අයත් වන්නෝය. එහෙත් මේ අය දුම්රිය වැඩ වර්ජනය නිසා තමන්ට සිදුව ඇති ගැහැට ගැන කියන්නේ තමන් කිසි දිනෙක වෘත්තීය අයිතීන් ඉල්ලා වර්ජනය නොකරන ගාණටය. කුමන ක්ෂේත්‍රයක වුවත් වැඩ වර්ජනයක් සිදුවන විට එම ක්ෂේත්‍රයෙන් සේවාව ලබා ගන්නා පිරිස අපහසුතාවට ලක්වීම නොවැළැක්විය හැක්කකි. දුම්රිය වර්ජනයෙන් දුම්රිය මගීන්ද, බස් වර්ජනයෙන් බස් මගීන්ද, වෛද්‍ය වර්ජනවලින් රෝගීන්ද ආදී වශයෙනි. එහෙත් මෙවන් වර්ජන නිසා අපට සිදුවන පෞද්ගලික ලාභ පාඩු ගැන සිතනවා විනා රටේ සමස්තයට සිදුවන පාඩුව ගැන කිසිවකුගේ අවධානය යොමු නොවන තරම්ය. ඇතැම් ක්ෂේත්‍රයක වර්ජනයක් හේතුවෙන් රටට සිදුවන පාඩුව ඍජු හෝ ඉක්මන්වන අතර ඇතැම් වැඩ වර්ජනයක පාඩු සිදුවන්නේ දිගුකාලීනවය. ගුරු වර්ජන, විශ්වවිද්‍යාල වර්ජන වැනි වර්ජන නිසා සිදුවන පාඩු ගණනය කළ යුත්තේ දිගුකාලීනවය. දුම්රිය දෙපාර්තමේන්තුව කොහොමටත් පාඩු ලබන ආයතනයකි. දැනට ක්‍රියාත්මක වර්ජනය නිසා දිනකට රුපියල් මිලියන 16 ක පමණ පාඩුවක් ලබන බව කියැවේ. මේ අනුව සේවක වැඩ වර්ජනය නිසා මේ දක්වා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති මූල්‍යමය පාඩුව රුපියල් මිලියන 130 ක් පමණ වේ. මේ වැඩ වර්ජනය නිසා දුම්රියට සිදුව ඇති පාඩුව එලෙස ගණනය කළ හැකි වුවත් ඉන් මගීන්ගේ වැඩ පැය ගණන අඩුවීම නිසා සමස්ත රටේ ආර්ථිකයට සිදුවන පාඩුව ගණනය කෙරෙන්නේ නැත. මගීන්ගේ වැඩ පැය ගණන අඩුවීම නිසා අනෙකුත් ක්ෂේත්‍රයන්වල සිදුවන පාඩු ගණනය කෙරෙන්නේ ද නැත. දුම්රිය වර්ජනය නිසා එක එල්ලේම අපහසුතාවට පත්වෙන්නේ මගීන් වුවත් ඔවුන්ටත් වඩා අපහසුතාවට පත්වන පිරිස්ද සිටිති. දුම්රියවල බුලත්විට විකුණන වෙළෙන්දාගේ සිට දුම්රිය ස්ථාන අසල වෙළෙඳසල් පවත්වාගෙන යන්නෝද ඒ අතර සිටිති. ත්‍රිරෝද රථ රියැදුරන්ද දුම්රිය වර්ජනයෙන් පීඩා විඳින තවත් පිරිසකි. දුම්රිය වර්ජනය පත්තර අලෙවියට පවා බලපානු ඇතැයි කිසිවකුට කල්පනා නොවන බව සහතිකය. එහෙත් වර්ජනය දුම්රියපොළේ පොත් පත්තර වෙළෙඳුන්ගේ පමණක් නොව දුම්රිය පොළ ඉදිරිපිට පොත් පත්තර වෙළෙන්දාගේද දෛනික ආදායම අඩුවීමට හේතුවකි. මේ සියලු දෙනාට කෙසේ හෝ එදිනෙදා ජීවිකාව ගැටගසා ගත හැකි නමුත් දුම්රිය වර්ජනය නිසා අසරණ වන යාචකයාට ඇත්තේ කාගේ පිහිටක්ද? මේ අනුව පෙනී යන්නේ දුම්රිය සේවය යනු දුම්රිය සේවකයා හා මගියා පමණක් සම්බන්ධවන ක්‍රියාන්විතයක් නොවන බවය. රෝහල් වර්ජනයකටද විශ්වවිද්‍යාල වර්ජනයකටද වෙනත් ඕනෑම වර්ජනයකටද මෙය අදාළ වේ. බුලත්විට වෙළෙන්දාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා කාගේ වුවත් දෛනික ආදායම බිඳ වැටීමේ අවසන් ප්‍රතිඵලය විඳීමට සිදුවන්නේ අප සැමටය. එනම් දුම්රිය වර්ජනය වේවා වෙනත් වර්ජනයක් වේවා ඉන් ඇතිවන පාඩුව එකී වර්ජකයන්ද ඇතුළුව සමස්ත රටටම විඳීමට සිදුවන බවය. ඕනෑම වෘත්තියකට- වෘත්තීය අයිතීන් දිනා ගැනීමට ශුද්ධ වූ අයිතියක් තිබේ. එහෙත් ඒ සඳහා කරන සටනෙන් ජය ලැබුණත් තවත් පැත්තකින් තමන්ද ඇතුළුව සමස්ත රටටම හානියක් සිදුවන්නේ නම් ලබන ජයග්‍රහණයට වුවද වටිනාකමක් ලැබෙන්නේ දැයි කල්පනා කළ යුතුය. එහෙත් අවාසනාවකට මස් රාත්තලම ඉල්ලන වෘත්තීය සමිති මිස රටක් ගැන සිතන වෘත්තීය සමිති අපට නොතිබීම ඉතා කනගාටුදායක තත්ත්වයකි. අපේ කුමන ක්ෂේත්‍රයක වේවා වෘත්තීය සමිති තමන්ගේ ඉල්ලීම් ගැන මිස තමන් නිරත සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම ගැන සටන් කරනවා අප දැක නැත. යකාගේ හැටියට විමානේ කිව්වා සේ අපේ ආණ්ඩුද, වැඩවර්ජන යනු සෑම විටම තමන්ට එරෙහි ක්‍රියාමාර්ග ලෙස සිතනවා මිස සේවකයන්ගේ පැත්තෙන් කල්පනා කරන්නේ නැත. වැඩවර්ජකයන්ගේ ඉල්ලීම් දීම හෝ නොදීම දේශපාලන අර්ථයකින් තීරණය කරනවා මිස රට ගැන සිතා තීරණය කරන බවක් පෙනෙන්නේ නැත. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් වූ පමණින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.
 

More News..