brand logo

දුම්රිය මගීන්ට දැන් එකම සරණ ජේ.ආර්-ප්‍රේමදාස යුගයේ බයිසිකල් චේන් හමුදාවද?

02 July 2019

පසුගිය සතියේ යහපාලන ආණ්ඩුව තවත් ගැසට් එකක් නිකුත් කොට තිබේ. ඒ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කරමිනි. මෛත්‍රීපාල සිරිසේන ජනපති යුගය මෙරට ඉතිහාසයට එක්වන කරුණක් වනු ඇත්තේ තම ධුර කාලයේ වැඩිම ගැසට් නිවේදන ගණනක් නිකුත් කළ ජනාධිපතිවරයා ලෙසය. අලුතින් ගැසට් පත්‍රයක් නිකුත් කොට ඇත්තේ රාජ්‍ය දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කිරීමට අදාළවය. රාජ්‍ය දුම්රිය යැයි කිව්වේ ලංකාවේ ‘ප්‍රයිවට්’ දුම්රිය සේවයක් ක්‍රියාත්මක නොවන නිසාය. දුම්රිය ධාවනය, දුම්රිය මාර්ග නඩත්තුව, සංඥා පද්ධති හා මෙහෙයුම්, ප්‍රවේශපත් නිකුත් කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කළ යුතු සියලු කාර්යයන් හා සේවා සඳහා ශ්‍රමය සැපයීම කළ යුතු බව එම ගැසට් පත්‍රයේ සඳහන් වේ. අංක 2129/72 දරන මෙම ගැසට්ටුව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇත. එහෙත් දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කිරීම නොසලකා දුම්රිය වර්ජනයට සැරසෙන බව දැනගන්නට ලැබුණු විට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කරන ලදදේ දුම්රිය ගැසට්ටුව ගැන නොසලකා වර්ජනය කළහොත් නීති පියවර ගන්නා බවය. මේ ගැන දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා ප්‍රකාශ කොට ඇත්තේ මහජන සේවා පනත යටතේ නිසා දුම්රිය වැඩ වර්ජනයට ගැසට් නිවේදනයෙන් නීතිමය බාධාවක් නොවන බවය. මේ ගැසට්ටුව නිකුත් කොට ඇත්තේ 1971 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා වන අතර, එහි උප ලේඛනය අනුව මගීන් හෝ භාණ්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන් ඊට යටත් කොට තිබේ. එහෙත් මෙම දුම්රිය ගැසට් පත්‍රය හදිසි නීතිය යටතේ ප්‍රකාශයට පත් කළේ නම් එහි නීතිමය තත්ත්වය මුළුමනින්ම වෙනස් ස්වරූපයක් ගනු නියතය. දුම්රිය වර්ජකයන් පැවසුවේ වර්ජන කාලය තුළ කිසියම් සේවකයකු අත්අඩංගුවට ගැනීම, සේවයෙන් පහ කිරීම සිදු වුවහොත් දුම්රිය වර්ජනය අඛණ්ඩ දුම්රිය වර්ජනයක් දක්වා දියත් කරන බවය. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කිරීම ගැන නීතිඥ සංගමයේ හිටපු සභාපති යූ.ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත්තේ මෙම සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කොට තිබියදී සේවයට වාර්තා නොකරයි නම් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති බවය. සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ හදිසි අවස්ථා නීති රෙගුලාසි යටතේ ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ඇති බවය. මෙහිදී දුම්රිය සේවකයන්ට එල්ල වන චෝදනාව වන්නේ හදිසි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවක අත්‍යාවශ්‍ය සේවාවක් පැහැර හැරීම යන චෝදනාවය. කෙසේ නමුත් 28 වැනි සිකුරාදා වන විට පිට පළාත්වල සිට කොළඹ කොටුව හා මරදාන දක්වා කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය කීපයක් ධාවනය කිරීමට සැලසුම් කොට තිබුණි. මෙම දුම්රිය මහනුවර, හලාවත, මහව, රඹුක්කන, ගාල්ල, මාතර හා අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථානවල සිට ධාවනය වීමට නියමිත ඒවාය. මේ දුම්රිය ධාවනය සඳහා කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියැදුරන්, දිස්ත්‍රික් යාන්ත්‍රික පරීක්ෂකවරුන්, දුම්රිය රියැදුරන් වෙනුවටද දුම්රිය නියාමකවරුන් වෙනුවට දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂකවරුන්ද යොදාගෙන මෙම දුම්රිය ධාවනයට සැලසුම් කොට තිබුණි. මෙම දුම්රිය වර්ජනයට ප්‍රධාන හේතුව වී ඇත්තේ වැටුප් විෂමතාවට විසඳුම් ලබා ගැනීමය. සෑම බ්‍රහස්පතින්දා දිනකම මධ්‍යම රාත්‍රි 12 සිට සිකුරාදා මධ්‍යම රාත්‍රි 12 දක්වා පැය 24ක වැඩ වර්ජනයක් දියත් කරන බව දුම්රිය ලොකෝ මෝටිව් ඔපරේටින් ඉංජිනියරින් රියැදුරු සංගමය පවසා ඇත. එහෙත් ඔවුන් මුදල් ඇමැති මංගල සමරවීර සමග පැවති සාකච්ඡාවේදී මුදල් ඇමැතිවරයා පවසා ඇත්තේ දුම්රිය වෘත්තීය සමිති කියන දේවලට එකඟ වුණොත් අනෙක් ක්ෂේත්‍රවල ඊට වඩා අවුලක් ඇතිවන බවය. පසුගිය 27 වැනිදා මුදල් අමාත්‍යාංශයේදී මුදල් අමාත්‍යවරයා කියා සිටියේ ඔවුන්ට දිය යුතු පිළිතුර දුන් බවත්, ඊට වඩා දෙයක් දීමට නොහැකි වන අතර, වර්ජනය නිසා දුම්රිය නොමැති වූවොත් ඒ වෙනුවට බස් රථ යොදවන බවය. එහෙත් දුම්රිය ප්‍රවේශ පත්‍රයෙන් බස් රථයේ ගමන් කළ හැකි බවක් මුදල් ඇමැතිවරයා කියන්නට ගියේ නැත. මේ ගැන ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා ප්‍රකාශ කොට ඇත්තේ දීර්ඝ දුම්රිය වැඩ වර්ජන අවස්ථාවලදී එවැනි පහසුකමක් ලබාදුන්නත් දින දෙක තුනක දුම්රිය වර්ජනයකදී එවැනි පහසුකමක් සැලසීම ප්‍රායෝගිකව අපහසු බවය. අශෝක අබේසිංහ මහතා ප්‍රකාශ කරන පරිදි මෙම වැටුප් විෂමතාවට වගකිව යුත්තේ පෙර පැවති ආණ්ඩුවයි. අමාත්‍යවරයා පවසන්නේ රාජ්‍ය සේවයේ ලක්ෂ 14ක් සේවයේ නියුතුව ඇති බවය. දුම්රිය වෘත්තීය සමිති ඉල්ලා සිටින පරිදි වැටුප් විෂමතාව විසඳුවහොත් රාජ්‍ය සේවකයන් පන් ලක්ෂ දහඅට දහසකට අලුත් ගැටලු ඇතිවන බව ඔහුගේ මතයයි. ‘‘මේ ගැටලුව විසඳන්න තියෙන එකම විසඳුම දුම්රිය සේවය සංවෘත සේවයක් කිරීම. ජනාධිපතිතුමා, සරත් අමුණුගමගේ සභාපතිත්වයෙන් අනු කමිටුවක් පත් කළා. ඒකෙන් දුම්රිය සේවය සංවෘත සේවයක් කරන්න වැඩ කරන්න පටන් ගන්නකොටම ආයෙත් වැඩ වර්ජනයක් පටන් ගත්තා. ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ තවත් කමිටුවක් පත් කළා. ඒ කමිටු වාර්තාව තාම නිකුත් වෙලා නැහැ. එහෙම තත්ත්වයකදී ආයෙත් වැඩ වර්ජනයකට ගියා. ජනාධිපති කමිටුව නිසා මුදල් අමාත්‍යාංශයට මේකට සෘජුව මැදිහත් වෙන්න බැහැ.’’ දුම්රිය සේවය වසරකට ලබන පාඩුව රුපියල් කෝටි 700ක් ලෙස ගණන් බලා ඇත. දුම්රිය වර්ජනයේදී දිනකට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන අලාභය මිලියන 15ක් බව ගණන් බලා ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක වැටුප් සඳහා පමණක් මසකට වැයවන මුදල කෝටි 100කි. ‘ඕටී’ නොහොත් අතිකාලවලට වැයවන මුදල ඔබ ඇසුවොත් දුම්රිය සේවකයන් බොහොමයක් දුම්රිය දෙපාර්තමේන්තුවේම පදිංචිකරුවන්දැයි ප්‍රශ්නයක් පැන නගිනු ඇත්තේ නිරායාසයෙනි. එදා දුම්රියේ ඕටී අනුමත කරන පුද්ගලයාට දොළපිදේනි ලෙස පඩි දවසේ අරක්කු බෝතල් 60කට වැඩි ගණනක් ලැබෙන බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් සුරාබදු ආඥා පනතේ ඇති එක වගන්තියක් නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ කිසිදු අයෙකුට මත්පැන් අලෙවි නොකළ යුතු බවය. දුම්රිය ධාවනයට වැයවන ඉන්ධන, මාර්ග නඩත්තුව, සංඥා නඩත්තුව සහ දුම්රිය මෙහෙයුමකට යෑම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ටිකට් අලෙවියෙන් ලැබෙන ආදායම කිසිසේත්ම ප්‍රමාණවත් නැත. වැටුප් ගෙවන්නවත් ආදායමක් නැති දුම්රිය සේවය පවත්වාගෙන යාමට අවසානයේ දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූවන්නේ විශ්‍රාම ලබා සිටි සේවකයන් නැවත ගෙන්වා ගැනීමටය. විශ්‍රාම ලබා සිටි දුම්රිය එන්ජින් රියැදුරන්, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක හා මාර්ග පරීක්ෂකවරුන් නැවත සේවයට පත්කර ගැනීමට පසුගිය සිකුරාදා නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී එක්රැස් කරනු ලැබීය. මෙරට වැඩ වර්ජන නිසා වූ හානිය මහ බැංකු වාර්තාවකින් අවසන් වරට හෙළිදරව් වූයේ පසුගිය වසරේදීය. එම වාර්තාවේ සඳහන් පරිදි ඒ වසරේ වැඩ වර්ජන නිසා අහිමි වූ දින පැය ගණන 82,294කි. එය 2016 වසරේදී 104,327 දක්වා වැඩි විය. රාජ්‍ය අංශයේ විදුලි, වෛද්‍ය, ඛනිජ තෙල් වර්ජන නිසා මෙරට ජන ජීවිතවලට අත්වූ ඉරණම එයින් සිතාගත හැකිය. ජේ.ආර්, ප්‍රේමදාසගේ ධර්මිෂ්ට පාලන යුගවල නම් මෙවැනි වැඩ වර්ජනවලට ‘බයිසිකල් චේන් හමුදාව’ පතඅට එකට සිඳුවා ප්‍රතිකාර කරන ලදී. ඒ යුගයේ කොටුව දුම්රිය ස්ථානයේ මෙවැනි දුම්රිය වර්ජනයකට ධර්මිෂ්ට ආණ්ඩුවේ බයිසිකල් චේන් ප්‍රහාරයක් එල්ල විය. පසුදින රජයේ පුවත්පත් එම සිද්ධිය සිය ශීර්ෂ පාඨයේ වාර්තා කොට තිබුණේ මෙසේය. ‘‘කුපිත වූ දුම්රිය මගියෝ දුම්රිය වර්ජකයන්ට පහර දෙති.’’ දුම්රිය සේවකයන් අත වනන්නේ නැවතත් එවැනි යුගයක ආශ්චර්යයේ පහස ලැබීමට විය යුතුය. වජිර ලියනගේ
 

More News..