brand logo

දුම්කොළ, දුම්වැටි දඩය වැඩි කරන්නැයි ජනපතිට ලියුමක්

22 January 2021

දුම්කොළ බදු සංශෝධන පනත යටතේ නියම කරන දඩ මුදල් වැඩි කරන ලෙස ඉල්ලා තමා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ක්‍රියාත්මක කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ, ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. නීතිවිරෝධී ලෙස ආනයනය කළ දුම්කොළ හෝ දුම්වැටිවල වටිනාකම මෙන් තුන් ගුණයක දඩයක් නියම කිරීමට අධිකරණයට බලයක් ලබා දිය යුතු බව සිය ලිපිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. 1999 අංක 28 දරන දුම්කොළ බදු පනතේ 15 (1) වගන්තිය අනුව එම පනත යටතේ වරදකරු වන තැනැත්තෙකුට රුපියල් ලක්ෂ 10 නොඉක්මන දඩයකට හෝ වසර 05කට නොවැඩි කාලයකට බන්ධනාගාර ගත කිරීමට යටත් විය යුතු බව සඳහන් වෙයි. නීතිවිරෝධී ලෙස සිගරැට් මෙරටට ගෙනවිත් විකිණීම වර්තමානයේ මෙම පනත යටතේ ගැනෙන වැරදි අතරින් වඩාත්ම බරපතළ සිද්ධිය බවත් අඩි 40ක් දිග බහාලුමක නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එන සිගරැට්වලින් ජාවාරම්කරුවකුට ලැබෙන ලාභය රුපියල් මිලියන 400ක් බවට හෙළිවී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ දන්වා සිටියි. එවැනි බහාලුමක් නීතියේ රැහැනට හසු කර ගත්තද වරදකරුවකු ගෙවිය යුතු දඩය රුපියල් ලක්ෂ 10ක් පමණක් බවත් එම ආකාරයේ බහාලුම් 30ක් හෝ 40ක්වුවද ගෙවිත් ඉන් එකක් නිදහස් කරගත හොත් අන් සියලු බහාලුම්වලට ගෙවිය යුතු දඩ මුදල් ගෙවා තවත් ලාභයක් ජාවාරම්කරුවන්ට ඉතිරි කර ගත හැකි වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ දන්වා සිටියි. ඉෂාර රත්නකාර
 

More News..