brand logo

පක්ෂෙන් දුන්නේ නැත්නම් ස්වාධීනව එනවා - රන්ජන්

04 December 2019

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් නාමයෝජනා නොලැබුණහොත් තමන් එයට ස්වාධීනව ඉදිරිපත් වන බව, එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පැවසීය. මහා සංඝරත්නයට අපහාස වන අන්දමින් ප්‍රකාශ සිදුකිරීම නිසා රන්ජන් රාමනායකට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා හිමි නොවන බවට පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය. තමාගේ ප්‍රකාශයේ කියැවුණේ සමහර භික්ෂුන් පිළිබඳව බවත්, තමන්ගෙන් චෝදනා ලැබූ භික්ෂුන් මේ වන විටත් බන්ධනාගාරගත වී ඇති බවත් මන්ත්‍රීවරයා කීය. එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම මනාපලාභියා වන තමා පිළිබඳව මෙබඳු සංවාදයක් ඇතිවීමම පුදුමයට කරුණක් බවද පවසන මන්ත්‍රීවරයා, බැඳුම්කර වංචාවට නම නොකියැවුණු, පවුලේ සාමාජිකයන් කාර්ය මණ්ඩලයට බඳවා නොගත්, කිසිම දිනක හෙරොයින්, එතනෝල් මෙරටට රැගෙනවිත් නැති තමා පිළිබඳ මෙවන් අදහසක් දැරීමට හේතුව කුමක්දැයි පක්ෂය තමාට පැහැදිලිව කිව යුතු බවද සඳහන් කළේය. කලණ වීරසිංහ
 

More News..