brand logo

දුගී බව තුරන් කර සාමය උදාකර ගැනීමට සියලූදෙනා එක්ව කැපවීම අද රටේ අවශ්‍යතාවයි

04 September 2019

දුගී බව තුරන් කර සාමය උදාකර ගැනීමට ජාති, ආගම් භේදයකින් තොර ව සියලූදෙනා එක් වීම අද රටේ අවශ්‍යතාව බව ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. උතුම් මහමත්තුමාගේ ඉගැන්වීම ද එය බව ජනාධිපතිවරයා සිහිපත් කළේ බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවට සිය සුභාශිංසන පළ කරමිනි. බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව පසුගියදා බම්බලපිටිය, වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප‍්‍රධාන පල්ලිය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරුණු අතර දින 10ක් පුරා පැවැත්වෙන සමුළුවේ සිව්වන දිනය වන අද දින සමුළු ශාලාව වෙත ගිය ජනාධිපතිවරයා ඔවුන් වෙත සිය සුභාශිංසන පිරිනැමී ය. මෙහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ සාමයට කැපවූ ප‍්‍රජාවක් වන බෝරාවරුන්ගේ මෙම සමුළුව මෙවර ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම රටට ගෞරවයක් බවත් ඒ වෙනුවෙන් සිය ස්තූතිය පිරිනමන බවත් ය. "අපට ශ්‍රී ලංකාව විශ්වාසය" "We Believe in SriLanka" යන තේමාව යටතේ රටවල් 40ක බෝරා මුස්ලිම්වරුන් 21,000 ක සහභාගිත්වයෙන් මෙවර සමුළුව ශ‍්‍රී ලංකාවේ දී පැවැත්වෙන අතර විදේශ රටවල බෝරාවරුන් 18,500ක පමණ පිරිසක් ඊට එක් ව සිටින අතර ශ‍්‍රී ලාංකික බෝරාවරුන් 2,500ක් පමණ සහභාගී වී සිටිති. සියලූ ජනකොටස් හා ආගමිකයන් අතර සාමය සහ විශ්වාසය ගොඩනංවිමන් ශ‍්‍රී ලංකාව තුළ ගෙන යන වැඩපිළිවෙළට ශක්තියක් ලබාදීම අන්තවාදය බැහැර කළ, සාමයට කැපවූ බෝරාවරුන්ගේ මෙම සුමළුවේ අරමුණ වන අතර ශ‍්‍රී ලංකාව සංචාරයට සහ වෙළෙදාමට සුදුසු රටක් බව ලොවට කියා පෑම ද මෙහි තවත් අරමුණකි. ඩොලර් මිලියන 31ක විදේශ විනිමයක් මෙම සමුළුව මගින් ශ‍්‍රී ලංකාවට ලැබී ඇති බවට ගණන් බලා ඇත. මෙවැනි සමුළුවක් මින් ඉහතදී 2007 වසරේ ශ‍්‍රී ලංකාවේ දී පැවැත්වුණු අතර 7000ක පමණ පිරිසක් ඊට එක් වූහ. පා.ම ෆයිසර් මුස්තාපා, වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවට එක් ව සිටියහ.
 

More News..