brand logo

දීර්ඝකාලීනව කලාවේ රැඳී සිටින්න අදහසක් නැහැ - ඉමාෂා

23 November 2019

ඉමාෂා, මේ වෙනකොට සහේලි බොහොම ජනප්‍රිය චරිතයක් ? ඔව්. සහේලි ගැන ගොඩක් අය කතා කරනවා. ඒ අය බොහෝ දෙනෙක් කියනවා සහේලි ගෙනාවේ සමල්කා ඉවත්වූ නිසා කියලා. මම නම් ඒක කියන්න දන්නේ නැහැ. දෙවෙනි ඉනිම පිටපත් රචක සමන් එදිරිමුණි තමයි ඒක දන්නේ. සහේලි – අනුහස් ප්‍රේම කතාවක් තියෙයිද නැත්නම් ලිහිණිටම අයිති වෙයිද? ඒකත් මට කියන්න අමාරුයි. මොකද සහේලි කතාවට සම්බන්ධ වෙන්නේ මෑතකදී. කොහොම වුණත් සහේලි ගමෙන් කොළඹට ඇවිත් තවම මාස කිහිපයයි. ඉදිරියේදී සහේලිත්, චූටි මැණිකේ ඒ කියන්නේ ලිහිණි ගිය පාසලට යනවා. එතැනින් පස්සෙ මොනව වෙයිද කියා තවම කියන්න බැහැ. ඔබට රංගනය ගැන කියලා දෙන්නේ කවුද? දෙවෙනි ඉනිමෙ සියලුම රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් උදව් කරනවා. විශේෂයෙන් රවීන් කනිෂ්ක, ප්‍රභාත් චතුරංග, දෙනුවන් මතක් කරන්නම ඕනේ. ඉමාෂාගෙ ගම් පළාත බදුල්ල. එහේ ඉඳලා රූගත කිරීම්වලට එන්නේ කොහොමද ? එහේ ඉඳලා රූගත කිරීම්වලට එන්න අමාරුයි. ඒ නිසා අපි අතුරුගිරියට පදිංචියට ආවා. ඔබ වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් ? ඔව්. රූපවාහිනියේ වෙළෙඳ දැන්වීම් නිරූපණයෙන් තමයි මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඒවා අතරින් සිග්නල්, සන්ලයිට් දැන්වීම් ගොඩක් ජනප්‍රිය වුණා. බදුල්ලේ සිටිය ඔබ වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් වුණේ කොහොමද? මගේ මල්ලි සිනමාවේ නිශ්චල ඡායාරූප ශිල්පියෙක්. ඒ හැරුනාම ඔහු වෘත්තීයමය ඡායාරූප ශිල්පියෙක් ලෙසත් සේවය කරනවා. ඔහු තමයි මාව වෙළෙඳ දැන්වීම් නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙළේ. පස්සේ ටෙලිනාට්‍ය කලාවට සම්බන්ධ වෙනවා. ටෙලිනාට්‍ය කියලා ගොඩක් ටෙලිනාට්‍ය රඟ පෑ කෙනෙක් නෙමෙයි මම. මගේ පළමු ටෙලිනාට්‍ය දෙවෙනි ඉනිම. ඒ සඳහා මට අවස්ථාව උදාවෙන්නේ ටී. වී. දෙරණ නාළිකාවෙ පැවැත්වූ සූර්ය මංගල්‍යයේ 2018 අවුරුදු කුමරිය ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසුව. දෙවෙනි ඉනිම අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස්, නිෂ්පාදිකා චාමිකා මෙන්ඩිස් සහ දෙරණ සභාපතිතුමාගේ ආරාධනය මත තමයි මට දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ සහේලිගේ චරිතය ලැබෙන්නේ. මීට පෙරත් වෙළෙඳ දැන්වීම්වල දැකලා ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රඟපාන්න අවස්ථාව ලැබුණා. නමුත් ඒ නිර්මාණ මම භාර ගත්තේ නැහැ. නමුත් දෙවෙනි ඉනිම ආරම්භ කළ කාලයේ සිටම මා ඉතා කැමැත්තෙන් නරඹපු ටෙලිනාට්‍යයක් නිසා ඒ ආරාධනාව ලැබුණම සතුටින් භාර ගත්තා. ඉමාෂා පාසලේදී නාට්‍ය රංගනයට යොමුවෙලා තියෙනවා ද? පාසලේ විෂය බාහිර වැඩවලදී කලාවට සම්බන්ධ නොයෙක් දේ කළත් විෂයක් විදිහට කලාව හැදෑරුවේ නැහැ. මම පාසල් කීපයකටම ගියා. ඒ බදුල්ල විහාරමහාදේවි බාලිකාව, මහනුවර උසස් බාලිකා විද්‍යාලය සහ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය. කොහොමත් මම උසස් පෙළ හැදෑරුවේ ගණිත අංශයෙන්. ඉමාෂා උපාධිධාරිණියක්..? ඔව්. උසස් පෙළ ගණිත අංශයෙන් සමත්ව කොළඹ විශ්ව විද්‍යාලයට යන්න ලැබුණත් මට වාණිජ අංශයෙන් උපාධිය හැදෑරීමට අවශ්‍ය වුණා. ඒ නිසා විදෙස් විශ්ව විද්‍යාලයක (අයර්ලන්ත) විද්‍යාවේදී කළමනාකරණ ගෞරව විශේෂ උපාධිය ලබා ගත්තා. මේ වනවිට එහි පශ්චාද් උපාධිය හදාරනවා. ඒ සඳහා ලබන මාසයේ විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් හිටියේ. ඒත් දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයට සම්බන්ධ වූ නිසා යන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා එම පශ්චාද් උපාධිය ලංකාවේ ආරම්භ කළා. පවුලේ අය ගැනත් කියමු නේද? අම්මයි, තාත්තයි, මමයි, මල්ලියි. තාත්තා ඉංජිනේරුවරයෙක්. අම්මා ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස සේවය කරනවා. මල්ලී තිළිණ බෙන්. ඔහුත් මම වගේම කලාවට සම්බන්ධ වෙලා ඉන්නේ ඒ ඡායාරූප ශිල්පියෙක් විදියට. මෙතරම් හොඳින් ඉගෙනගත් ඔබ රඟපානවට දෙමවුපියන්ගේ අකැමැත්තක් නැද්ද? මම මගේ අධ්‍යාපන වැඩ හොඳින් අවසන් කර මේ වෘත්තියට පිවිසුණු නිසා අම්මයි, තාත්තයි මුකුත් කියන්නෙ නැහැ. සමහර විට මම ඉගෙනුම කඩාකප්පල් කරගෙන රංගනයට ආවා නම් ඒ අය මම රඟපානවට කැමැති වෙන එකක් නෑ. කොහොමටත් දීර්ඝකාලීනව ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙසින් කලාව තුළ රැඳී සිටින්න අදහසක් නැහැ. වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් ලෙස නම් ඉදිරියටත් වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. පෙම්වතා ගැන කියන්න අකැමැති ද? තවම එහෙම කෙනෙක් නැහැ. ඒවා ගැන හිතන්න තව කාලය තියෙනවා. අනාගතය ගැන ලොකු බලාපොරොත්තු ඇති? සිනමාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර ගන්නවා. ඒ වගේම පශ්චාද් උපාධිය අවසන් කරන්නත් ඕනේ. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
 

More News..