brand logo

දීගොඩ ගොඩගිය වගයි?

14 September 2019

දැන් දීගොඩ කුමාරගේ දෙව් සුවකිරීමේ මෙහෙයට ගිය අයගෙන් තිදෙනෙක් මළවුන් අතරය. ඒ ඇත්තන් එදා හොරොව්පතානට ගියේ මළවුන් අතරට යන්නට නොව අටානූවක් රෝග නවානූවක් ව්‍යාධි සංහිඳවාගෙන එන්නටය. දීගොඩ කුමාරද මේ සුව කිරීමේ මෙහෙය කළේ ශ්‍රාවකයන්ට හානි කරන්නට නොව ඔවුන්ට සෙත සාදා දීමටය. එසේ නම් මේ වරද කවරේද? මේවා ඝාතකයකු නැති ඝාතනය. ඝාතනයක් නැති ඝාතනය. පත්තර, රූපවාහිනී, රේඩියෝ නොදකින දෙයක් නිරන්තරයෙන් මේ සමාජයේ සිදුවෙමින් තිබේ. දීගොඩ කුමාර චිත්‍ර ශිල්පියකු ලෙස ප්‍රකටව සිටියත් ඉන්ද්‍රජාලිකයකු ලෙස මාධ්‍ය හඳුනාගෙන සිටියේ නැත. පෑන්වලට, රූපවාහිනී කැමරාවලට නොපෙනී නොදැනී අනුගාමිකයන් මහා පිරිසක් පිරිවරා රෝග සුව කරන්නකු ලෙස ඔහු හිඳ ඇත. කිසිදු පිරික්සීමකට විචක්ෂණ සොයා බැලීමකට හසු නොවී ඔහු කටයුතු කරමින් හිඳ ඇත. දහස් ගණනක් ඉන්ද්‍රජාලිකයෝ මන්ත්‍රාචාර්යයෝ රෝග සුව කරන්නෝ කිසිම පිරික්සුමකට, සොයා බැලීමකට ලක් නොවී දීගොඩ කුමාර මෙන් ගොඩ යති. ඔවුන් ගැන හෙළිදරව් වී අවසානයක් එළඹෙන්නේ මහා ඛේදවාචකයක් සිදු වූ කලය. ජනතාව මෙබඳු ඛේදවාචක සිදු වෙමින් වුවද ​ලෝකයත්, ජීවිතයත් පිළිබඳ ප්‍රශ්න හමුවේ ඉන්ද්‍රජාලිකයන්ගේ, මන්ත්‍රකරුවන්ගේ සුවකරන්නන්ගේ පිහිට පතන්නේ කවර තතු යටතේද? රටක දේශපාලනය අර්ථිකය පිරිහෙන්නට වූ කල, ඒවාට වුවමනා, විසඳුම් නැති කල ජනතාව මෙබඳු උන්ගෙන් පිළිසරණ පතති. මහ බැංකු වාර්තාවේ සඳහන් කෙරෙන ඒකපුද්ගල ආදායම පහළ යද්දී දේවාල කීයක් නම් ගමේ මතු වෙනවා දැයි සොයා බැලිය යුතුව ඇත. නැති වූ බඩුව සොයා ගන්නට යන ඇත්තන්ට දේවාලයේ දේවාභරණ පරෙස්සම් කර ගන්නට සීසීටීවී කැමරා සවි කරගෙන ඉන්නවා කවදාවත් නොපෙනේ. දේවාලවල සීසීටීවී කැමරා හයි කරන්නේ රට පෙළුෑ ආර්ථික ප්‍රශ්නයෙන් දේවාලයද ගැලවී නැති නිසාය යන දුර දැක්ම කවදාවත් එහි සරණ පතා යන්නන්ට නොලැබේ.  අනාගතය ගැන අහන්නට දේවාලයට යන විට කපුවාගේ පුතා කුඩුවලට ඇබ්බැහි වී ඉන්නවා ශ්‍රාවකයන්ට පෙනෙන්නේ නැත. දීගොඩ කුමාර කොරු ඇවිද්දවූ බව කියැවේ. අන්ධයන්ට පෙනීම දුන් බවද කියැවේ. කොටින්ම ඔහු බයිබලයේ ජේසු ස්වාමි දරුවන් කළ ප්‍රාතිහාර්යයන්ටත් එහා ගිය දෑ කළ බවය, පෙනෙන්නේ. එහෙත් දීගොඩ කුමාර ලෙඩ වූ විට වෛද්‍යවරයකුගෙන් බෙහෙත් ගන්නා බව කාටත් නොපෙනේ. ආලෝකය විකිණිය හැකිය. අන්ධකාරය ද විකිණිය හැකි බව දීගොඩ අපට ඔප්පුකර ඇත. මේ එක තැනක මිථ්‍යාව හෙළිදරව් වූ විට අනුගාමිකයෝ ඔහු හැර යන්නේ මළ කුණක් හැර යන්නාක් මෙනි. හාස්කම් තිබුණු පිල්ලෑව බෝධියටද, දොළුකන්දටද වූයේ එසේය. ඒවා හැර ගිය අය ගියේ ප්‍රඥාව පහලවීම නිසා නොව ඊට වඩා හොඳ හාස්කම් තියෙන තැනක් සොයාගෙනය. කොතැනක හෝ නොපෙනෙන බලවේගයක ශක්තිය ඇතැයි සිතාය. අප ඇසට නොපෙනෙන නොදැනෙන දෑ විශ්වයේ අපමණය. එහෙත් ඒවාට මිනිස් අතකින් කළ හැකි දේ කරන්නට හෝ පදාර්ථය මවන්නට නසන්නට නොහැකි යැයි තේරුම් යන දවස තව බොහෝ දුරය. විද්‍යාව, තාක්ෂණය දියුණු  පමණට මිථ්‍යාව නැසෙතැයි අප පූර්වාචාරීහු සිතූහ. විදුලිය ආ විට තුංමං හන්දිවල හුන් යකුන් යක්ෂණියන් පලා ගියහ. ශීතකරණය ආ විට මළ පෙරේතයන්, කුම්භාණ්ඩයන් පලා ගියහ. ඒ අදහස් දැන් ගම්වල නැත. එහෙත් එස්.එම්.එස්. පණිවුඩයෙන් දැන් සාත්තර කියයි. ගොක්කොළයක් නැතිව බෙර පදයක් නැතිව කොළඹ තොවිල් කරති. සමහර පරිගණක විශේෂඥයන්ගේ බෙල්ලේ නැතිනම් ඉණ වටේ සුරය. දේශපාලනඥයකු, නළුවකු, වෛද්‍යවරයකු දේවාල බිමේ පස් පෑගීම කපුවන්ට දැනෙන්නේ දේවාරාධනාවට දෙවියන් වැඩීමක් බඳුය. අසවල් දේශපාලනඥයාද, නළුවාද, විද්‍යාඥයාද යන බැවින් හුදී ජනයාද ඔවුන් අනුගමනය කරති. සායිට සේවය කළේ මහාචාර්යවරුය. ඇතැම් විද්‍යාඥයෝ මහා ඉන්ද්‍රජාලිකයන්ගේ කාර්ය මණ්ඩලවල සේවය කරති. සඳට ගිය නීල් ආම්ස්ට්‍රෝං මුලින්ම දෙවියන්ට ස්තුති කළේය. ඊළඟට අභ්‍යාවකාශයේ දී අල්ලාගේ හඬ ඇසූ බව කීවේය. ඒ අනුවම දීගොඩ කුමරා වෙතද ගොස් ලෙඩ සුවකරගත් නීතිඥයෝ, ඉංජිනේරුවෝ ඉන්නා බව කියැවේ. ඉංජිනේරුවෝ, පරිගණක විද්‍යාඥයෝ ඇදහූ පමණින් එයට වසඟ වන ජනතාවට කීමට දෙයක් ඇත. විද්‍යාඥයෝ තමන්ගේ විෂය සම්බන්ධයෙන් යමක් පවසන්නේ නම් එය පිළිගැනීමේ වරදක් නැත. එහෙත් විද්‍යාඥයා ඔහුගේ විෂයෙන් පිටස්තර දේ ගැන කියන විට ඔහුද රටේ ඉන්නා ගොවියා, කම්කරුවා මෙනි. වැස්සටවත් පාසලට ගොඩ නොවූ හාදයින් වැනිය
 

More News..