brand logo

දිස්ත්‍රික්ක11ක නියඟය - පවුල් ලක්ෂයක් පීඩාවට

30 March 2019

දිස්ත්‍රික්ක එකොළහකට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් ලක්ෂයකට ආසන්න පවුල් ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. කෑගල්ල, පුත්තලම, වව්නියාව, යාපනය, කිළිනොච්චිය, මාතලේ, මහනුවර, අම්පාර, අනුරාධපුර, කුරුණෑගල, කළුතර ආදී දිස්ත්‍රික්කවලට නියඟයෙන් දැඩි පීඩා එල්ල වී ඇත. වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ පුත්තලම හා යාපනයේ දිස්ත්‍රික්කවල වන අතර පුත්තලමේ පවුල් අටදහසකට අධික පිරිසක්ද යාපනයේ පවුල් අටදහසකට ආසන්න පිරිසක්ද මෙසේ පීඩාවට පත්ව තිබේ. ඉදිරි සති කිහිපයේදී ද වියළි කාලගුණයක් පවතින අතර එම තත්ත්වය නිසා දැඩි බලපෑමක් එම දිස්ත්‍රික්කවලට එල්ල වනු ඇත. මේ හේතුවෙන් බීමට ජලය ලබා ගන්නා ජල මූලාශ්‍ර සිඳීයාම නිසා ජනතාව මෙන්ම සතුන්ද දැඩි පීඩාවට පත්ව තිබේ. මේ සම්බන්ධයෙන් ජාතික ආපදා සේවා සහන කාර්යාලයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ හදිසි ආපදා සඳහා අවශ්‍ය කරන මුදල් ලැබී ඇති නිසා එම මුදල් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ලබාදී ඇති බවයි. මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 6කට හා කළුතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 5කට ජලය බෙදාහැරීම සිදු කරන බව ඒ මහතා පැවසීය. ඊට අමතරව කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්කවලට පානීය ජලය බෙදා හැරීමට අධ්‍යයනය කරන බවත් සෑම දිස්ත්‍රික්කයකටම විශාල ප්‍රමාණයේ බවුසර් හා කුඩා බවුසර් ජල ටැංකි ලබාදී ඇති බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
 

More News..