brand logo

දිෂ්ටි බලයෙන් බෙහෙත් කරන ධම්මික බණ්ඩාර ගැන නොදත් දේ

05 December 2020

‘‘ධම්මික බණ්ඩාර’’ මේ දිනවල ලංකාව පුරාම කතා කරන නමකි. කෑගල්ල උඩුමාගම ප්‍රදේශයේ පදිංචි ධම්මික බණ්ඩාර කොරෝනා සඳහා ආයුර්වේද ඖෂධයක් නිෂ්පාදනය කර ඇති බව රටම දනියි. ඒ එම බෙහෙතට මාධ්‍ය මගින් ප්‍රචාරය වීම සහ රාජ්‍ය අනුග්‍රහය ලැබුණ බව ධම්මික බණ්ඩාර ප්‍රකාශ කිරීම හේතුවෙනි. මේ ‘‘ධම්මික බණ්ඩාර’’ යන නාමයෙන් තමාව හඳුන්වා ගන්නා නිෂ්පාදකයා සොයා පසුගිය සිකුරාදා (04දා) අපි කෑගල්ල උඩුවාගම ප්‍රදේශයේ සංචාරයක නිරත වූයෙමු. එම ප්‍රදේශයේ කාලි මෑණියන්ගේ දේවාලයක් අසල අපි නතර වූයේ කථානායකයා සොයා ගැනීමේ අරමුණිනි. එහි වාහන රැසක්ද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ පුද්ගලයෝද දේවාලය අසල පොරකමින් සිටියහ. ‘‘වෙද මහත්තයා ඉන්නවද’’ අපි විමසා සිටියේ දේවාලයේ සිටි පුද්ගලයෙකුගෙනි. ‘‘අද කාලි මෑණියෝ නැහැ’’ හදපු බෙහෙත් ඉවර වෙලා. හදන්න ගියා. ඇය අඟහරුවාදා තමයි බෙහෙත් දෙන්නේ’’ ඔහු පැවසුවේය. කථානායකයා දේවාලයේ නොසිටි නිසා ගම් පියසේ සැරි සැරූ අපට තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකි විය. ‘‘ධම්මික බණ්ඩාරගේ’’ නියම නම ‘‘අප්පු කුට්ටි කංකානම්ලාගේ ධනපාලයි’’ කෑගල්ල මාතුර හෙට්ටිමුල්ලේ උපන් ඔහු මේ වන විට උඩුමාගම අඹවල ප්‍රදේශයේ පදිංචිවසිටියි. වසර 25ක කාලයක් මෙහි පදිංචිව සිටින ඔහු කලාකරුවෙකි. ගීත ගැයීමට, ඩොල්කි ගැසීමට රූකඩ නැටවීමට මෙන්ම කැටයම්වලටද රුසියෙකි. වඩු වැඩ කරමින් සිය ජීවිකාව ගෙන ගිය ධම්මික බණ්ඩාර දෙදරු පියෙකි. වඩු වැඩ කරමින් සිටි මොහුට කාලි මෑණියන්ගේ වරමක් ලැබුණු බව කියමින් දේවාලයක් ඉදි කළේ මීට වසර කිහිපයකට පෙරයි. ‘‘මහත්තයො මෙහේ මිනිස්සු නම් ඔය මනුස්සයා ආශ්‍රය කරන්නෙ නැහැ. බෙහෙත් ගන්න යන්නෙත් නැහැ. හැබැයි එයාගේ බෙහෙත් බීලා කොරෝනා රෝගීන් සුව වෙනවානම් අපිත් කැමැතියි’’ ගම්වැසියෝ අප හා පැවසූහ. ‘‘ගමේ වැඩවලට විහාරස්ථානයේ වැඩවලටත් ධම්මික දායක වෙනවා.’’ ගම් වැසියෝ තවදුරටත් පැවසූහ. භද්‍රකාලි මෑණියන්ගේ වරම් ලැබුවත් එම දේවාලයේ තිලෝගුරු බුදුපියාණන්ගේ දහම් ගුණ, සෙත් පිරිත් වැඩි වශයෙන් ඇසෙන බවද ගම්වාසීහු කියා සිටියහ. දකුණු පළාතේ භද්‍රකාලි මෑණියන් අදහන පිරිස් වැඩි වශයෙන් මෙම දේවාලයට පැමිණෙති. ඒ අතරේ ඔහු කොවිඩ් 19 සඳහා සකස් කළ බව කියන ආයුර්වේද ඖෂධය නොමිලේ දෙන අතර මුදල් අය නොකිරීමද විශේෂත්වයකි. ධම්මික බණ්ඩාර හිටපු අමාත්‍යවරයකුද වන අතාවුද සෙනෙවිරත්න සමග සමීපව කටයුතු කළ පුද්ගලයෙකි. ඔහුගේ බෑණා කෙනකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය කාන්ත ගුණතිලක සමගද සමීපව කටයුතු කර ඇති මොහු තමන් සොයා ගත් ඖෂධය දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයටද රැගෙන එන්නේ එම සබඳතා හරහාය. මොහුට විරුද්ධව කෑගල්ල පොලිසියෙ නඩුවක්ද පවරා තිබේ. ඒ ඉඩම් නඩුවකි. රිමාන්ඩ් භාරයේද සිටි ධම්මික බණ්ඩාර නඩුවෙන්ද සමථයකට පත්ව භද්‍රකාලි දේවාලය පවත්වා ගෙන යාමට සමතෙකි. ‘‘ඔය මනුස්සයාට කපු මහත්තයා කීවම හොඳටම තරහා යනවා. කාලි මෑණියෝ කියනවා නම් කැමැතියි’’ ගම්වැසියෝ ඔහුගේ පැටිකිරිය හෙළි කළහ. කෙසේ වෙතත් ධම්මික බණ්ඩාර යනු දේශීය වෛද්‍යවරයෙක් හෝ පාරම්පරික වෛද්‍යවරයෙක්ද නොවෙයි. තමන් නිෂ්පාදනය කළ බෙහෙත අවට පොලිස් ස්ථානවල නිලධාරීන්ටද පෙවීමට සමත් වූ පුද්ගලයෙකි. කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහටද මෙම නිෂ්පාදනය පෙවීමට ඔහු උත්සාහ කළත් ව්‍යාර්ථ විය. නමුත් මෙම නිෂ්පාදනයේ සත්‍ය අසත්‍යභාව සෙවීමට වෛද්‍යවරයාද සූදානමින් සිටියි. කෙසේ වෙතත් මෙම පුද්ගලයා පිළිබඳ ආයුර්වේද ​වෛද්‍ය සභාවටද පැමිණිල්ලක් ලැබී තිබේ.

ප්‍රතිකාර කරන්න මම දිෂ්ටි බලයක් උපයෝගි කරගන්නවා...........

කොරෝනාවට බෙහෙත් සොයාගත් බව කියන ධම්මික බණ්ඩාර කියයි

කෑගල්ල, හෙට්ටිමුල්ල, උඩුමාගම මහාවීර බද්‍ර කාලී දේවාලයේ ධර්මාචාර්ය, පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙක් යනුවෙන් තමා හඳුන්වා ගන්නා ඩී.එම්. ධම්මික බණ්ඩාර මාධ්‍යයේ ප්‍රසිද්ධ වීමට පෙර අපේ වරකාපොළ මාධ්‍යවේදී නිමල් වසන්තට කියූ කතාව. ‘‘කොරෝනා වසංගතයෙන් රෝගීන් සුවපත් කිරීම සඳහා මම බෙහෙතක් සාදා තිබෙනවා. ඒ සඳහා ලංකාවේ තිබෙන බෙහෙත් වර්ග හතරයි අරන් තියෙන්නේ. පිරිසුදු මීපැණි, මීපැණි හොඳ ජීව පදාර්ථයක්. මේ ඖෂධය දීලා රෝගය සුව කරලා තියෙනවා. ඒක විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන්. මෙම බෙහෙත අවසන් වශයෙන් දුන්නේ වතුපිටිවල නිරෝධායන මධ්‍යස්ථානයට. එතැන රෝගීන් 146 දෙනකු සිටියා. ඒ සියලු දෙනාටම බෙහෙත් දුන්නා. දින හතරක් යනවිට සුව වී තිබුණා. මේක නොමිලයේ ලබා දෙන්නේ. මෙම බෙහෙත් සොයා ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා. රජයෙන් හෝ වෙනත් ආයතනයකින් මෙම බෙහෙත් සොයා ගැනීමට අවශ්‍ය නිසයි රාජ්‍ය අනුග්‍රහය ඉල්ලන්නේ. විශේෂයෙන් මම ඉල්ලා සිටින්නේ පිරිසුදු මීපැණි හා සාදික්කායි. අනිත් වර්ග සොයා ගැනීමට පුළුවන්. මීපැණි ලැබෙන කාලය තව ඉදිරියට තියෙන්නේ. සාදික්කාත් තව ඉදිරියට කඩන්න පුළුවන්. මේ බෙහෙත් දෙක තමයි සොයා ගැනීම අපහසු. ලංකාවේ අද වෙනකොට රෝගීන් පන්දහස් ගාණක් වාර්තා වෙනවා. මේ සියලු දෙනාට මම බෙහෙත් දීලා දින තුනකදී නිට්ටාවට සුව කරනවා. ආයෙ කිසි දවසක හැදෙන්නේ නැහැ. සෙම් රෝගයක්වත් හැදෙන්නේ නැහැ. නමුත් මට කියන්න බැහැ යමෙකුට උණ රෝගයක් හැදෙන්නේ නැහැ කියලා. සෙමෙන් හැදෙන රෝගයක් හැදෙන්නේ නැහැ. තවත් රෝග තිබෙනවා. දියවැඩියාව පාලනය කරන්න පුළුවන්, කොලෙස්ටරෝල් අඩුවෙනවා. මේක පුරාණයේ සිට එන, එනම් රාවණා රජතුමාගේ කාලයේ සිට එන බෙහෙතක්. එදා මහරහතන් වහන්සේලා පවා පාවිච්චි කර තිබෙන බවට සඳහන් වෙනවා. ඒ කාලයේදීත් මෙවැනි වසංගත තිබිලා තියෙනවා. මේකේ තියෙන්නේ බෙහෙත් හතරයි, ඒවා සජීවී බෙහෙත්. වැඩිහිටි රෝගියකු මේස හැන්දෙන් හතරක් දිනපතා උදේ සවස බිව්වොත් මේ රෝගය නැවත හැදෙන්නේ නැහැ. ඒ තරමටම ගුණයි, අත්දුටුවයි. බිව්ව අය ඉන්නවා, සුව වෙලා ඉන්නවා. වෛද්‍යවරුන්ට, ඈත පළාත්වල අයට දීලා තිබෙනවා. ඒ අය සුවවෙලා තිබෙනවා. රජයේ අනුග්‍රහයෙන් ලෑස්ති කරනවා නම් රජයේ රෝහල්වල නේවාසිකව ඉන්න අයට බෙහෙත් දෙන්න, ඒ සඳහා සැලසුමක් කර දෙන්න. මුදල් එපා. මෙම බෙහෙත් බෝතලයක් හදාගන්න රුපියල් හයදාස් පන්සීයක් වියදම් වෙනවා. බෙහෙත හොයන්න මහන්සි වෙන්න ඕනෑ, ශ්‍රමය යොදන්න ඕන. එම මුදලවත් අපට එපා. අවශ්‍ය බෙහෙත් ටික සොයා දෙන්න. මම මෙම බෙහෙත දුන්නේ පළමුවෙන්ම කොරෝනා හැදෙන සංචාරකයන් ගෙන යන මගපෙන්වන අයකුට. ඔහු සමග 11 දෙනෙක් හිටියා. ඉන් 10 දෙනෙක් නිරෝධායනයට ලක්වුණා. එක් අයෙක් පැනලා ගියා. ඔහු ආසාදිතයෙක්. පළමුවෙන්ම බෙහෙත් දුන්නේ ඔහුට. කැස්ස, උණ තිබුණා, ගිලීමේ අපහසුකම් තිබුණා. පළමුවෙන්ම බෙහෙත දුන්නේ ඔහුට. ඔහු සුව වුණා. දවස් දෙකයි බේත් දුන්නේ, හතර වේලයි. ඉන්පසුව සුව වුණා. එතැනින් පස්සේ තමයි මම අනිත් අයට ප්‍රතිකාර කරන්න ආරම්භ කළේ. මට තිබෙනවා දිෂ්ටි බලයක්. ඒකත් උපයෝගි කරගන්නවා.’’

ධම්මික එන්න ඇවිත් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.....

කොරෝනාවට තමා දේශීය ඔසුවක් සොයාගත් බව කියන කෑගල්ලේ, හෙට්ටිමුල්ලේ, උඩුමාගම ඩී.එම්. ධම්මික බණ්ඩාර හා ඔහුගේ ඖෂධය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අපි ඔහුගේ ජංගම දුරකථනයට ඇමැතුම් ගණනාවක් දුන්නෙමු. එහිදී දුරකථනයට පිළිතුරු දුන් ඉන්දික නමැති අයෙක් කීවේ වෙද මහතා පත්තරවලට ආටිකල් දීම නතර කර ඇති බවය. වෛද්‍යවරයෙක් බව කියාගන්නා ධම්මික බණ්ඩාරගේ වෛද්‍ය සුදුසුකම් ගැන විමසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඉන්දික නමැති අය සුදුසුකම් ඇති වෛද්‍යවරුන් මෙච්චර දවසක් කළේ කුමක්දැයි යනුවෙන් කියමින් දුරකථනය විසන්ධි කළේය. එබැවින් ධම්මික බණ්ඩාර නමැති අය පිළිබඳ පැන නැගී ඇති අනෙක් ප්‍රශ්න අසන්නට ඉඩක් නොලැබුණි. පාඨකයාගේ දැන ගැනීම පිණිස එම ප්‍රශ්න මෙසේ ඉදිරිපත් කරමු. * ඇත්තටම ඔබ ආයුර්වේද වෛද්‍යවරයෙක්ද? * ඔබ ආයුර්වේද වෛද්‍ය උපාධිධාරියෙක්ද? පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙක්ද? * ඔබ ආයුර්වේද වෛද්‍ය උපාධිධාරියෙක් නම් එම උපාධිය ලැබුවේ කුමන ආයතනයකින්ද? කවදාද? * ඔබ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙක් නම් ඔබගේ වෙද පරම්පරාව කුමක්ද? * ඔබගේ පරම්පරාවේ අය කොපමණ කලක් රෝගීන්ට බෙහෙත් කර තිබේද? * ඔබ කොපමණ කලක් රෝගීන්ට ප්‍රතිකාර කර තිබේද? * රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පෙර ඔබ වෙනත් වෘත්තීන්වල යෙදී සිටියාද? * ඔබගේ නම ​දේශීය වෛද්‍යාචාර්ය ඩී.එච්. ධම්මික බණ්ඩාර නොවන බවත්, ඔබ කට්ටඩියෙක් බව පැවසෙන කතාවේ සත්‍යතාවක් තිබෙනවාද? * ඔබ දුන් බව කියන ප්‍රතිකාරවලින් කෙරෝනා රෝගීන් සුව වී ඇති බව කිසියම් පිළිගත් ආයතනයක් තහවුරු කර තිබෙනවාද? * එසේ නම් එම ආයතනය කුමක්ද? * තහවුරු කළ නිලධාරීන් කවුද? * ඔබ සොයාගත් බව කියන ප්‍රතිකාරයෙන් රෝගීන් සුව වූ බවට ඔවුන් නිගමනය කළ ක්‍රමවේදය කුමක්ද?   උදයජීව ඒකනායක සාලිය ගමසිංහඅරච්චි - කෑගල්ල
 

More News..