brand logo

දිශාව හොයන්න ගිය කුමාරයාට මල පනියි

10 December 2019

සීනු නාදය අතහැර දිශාව බලාගන්නා යන්ත්‍රයකට මාරු වූ රතුපාට පක්ෂයේ රැස්වීමක්, දෙතුන් දවසකට ඉහත මහනුවරදී පැවැත්විණි. රැස්වීමේදී අරමුණ වී තිබුණේ ජනාධිපතිවරණයේ තම පක්ෂයට වූ ඉරණම ගැන පශ්චාත් පරීක්ෂණයක් පැවැත්වීමටය. රැස්වීමේ ප්‍රධානත්වය ගත්තේ රතුපාට පක්ෂයේ ජනප්‍රිය නායකයෙකි. රජරට පැත්තේ කනබොන හිත හොඳ අයකු ලෙස ඔහු පක්ෂයේ මෙන්ම මාධ්‍යයේදී බොහෝ ප්‍රසිද්ධය. හිතේ කහටක් නැතිව කියන්න ඕනෑ දේ ඕනෑම ප්‍රසිද්ධ සභාවක කියන ඔහු ගැන කුමාරයෙක් මෙන්ම ‘දිනන තුරු’ ලේකම්වරයාත් වැඩි මනාපයක් නැති බව ඉකුත් කාලයේ කියවුණේය. ජනපතිවරණයට පෙර මේ කියන නායකයා කීවේ රාජපක්ෂලාට බැණ බැණ ඉන්නේ නැතිව අපේ වැඩක් බලාගනිමු යනුවෙනි. ඔහු කී ඒ කතාවටත් කුමාරයාට මල පැනලා හිටියලු. මක්නිසාද කුමාරයා වචන සියයක් කතා කළොත් අනූපහකම ඇත්තේ රාජපක්ෂ නම නිසාලු. මේ අතරේ මහනුවර පැවැති රැස්වීමට පැමිණි පාක්ෂිකයන් බොහෝ දෙනෙක් පවසා තිබුණේ දිශාව බලා ගන්නා යන්ත්‍රයක් ලොකු කර ගත්තද දැන් පක්ෂයට යන එන දිශාවක් නැතැයි කියාය. ඒ කතාව මහ ඉහළින් අනුමත කර ඇති රතුපාට පක්ෂයේ ජනප්‍රිය නායකයා කීවේ අපූරු කතාවකි. ඒ, ජනපති ගෝඨාභය රාජපක්ෂ දැන් කරන විදියට දිගටම ලකුණු දාගත්තොත් මහ ඡන්දයේදී දිශාව සොයන යන්ත්‍රයට හිමිවන්නේ මන්ත්‍රී ධුර දෙකක් බවය. ඒ කතාව නම් සහතික ඇත්තැයි, රැස්වීමට පැමිණි බොහෝ දෙනෙක් ඔහුට පවසා තිබේ.
 

More News..