brand logo

දිවුලපිටියේ කතට රෝගය වැලඳුණු හැටි කියන්නේ අද

05 October 2020

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවට කොවිඩ් - 19 වැලඳුණු ආකාරය පිළිබඳව අද (05වැනිදා) දිනය වන විට අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. කොවිඩ් තත්ත්වය පිළිබඳව දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (04 වැනිදා) පැවැති සාකච්ඡාවකට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ඔහු මේ බව කියා සිටියේය. මෙම කාන්තාව සේවය කළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ රෝගී තත්ත්වයක් පෙන්නුම් කළ 23 දෙනකු නිරෝධායනයට යොමු කර ඇති බවද ඔහු අනාවරණය කළේය. ඇඳිරිනීතිය පැනවුණු දිවුලපිටිය සහ මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීමේ විශේෂ වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන්නැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති ස.තො.ස. සමුපකාර සමිති සහ වෙනත් පෞද්ගලික ආයතන සම්බන්ධකර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසද උපදෙස් දී ඇත. ඒ අනුව ඇඳිරිනීතිය පනවා ඇති දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල ග්‍රාම සේවා වසම් 150කට ආසන්න ප්‍රදේශයක ජීවත් වන පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට නියමිතයි. දිවුලපිටියට - මිනුවන්ගොඩට මනෝජ් එදිරිසිංහ - මීරිගම ජනක ලලිත් ජයතිලක - දිවුලපිටිය
 

More News..