brand logo

දිමුත් එක්දින නායකත්වය හැරයයි

11 May 2021

එක්දින ක්‍රිකට් නායකයා වශයෙන් කටයුතු කිරීමේදී තමාට සහය දුන් සැමට ස්තූතිවන්ත වන බව, හිටපු එක් දින ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න කියයි. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබිණි. 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට නිශ්චිත නායකයකු නොසිටි සමයේ එවක ටෙස්ට් නායකයා ලෙස කටයුතු කළ දිමුත්ට අදාළ නායකත්වයේ වගකීම පැවරිණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ දක්වා එක් දින තරග 17කට නායකත්වය ලබා දී තිබෙන ඔහු ඉන් තරග 10ක් ජයගෙන ඇත. ඒ අනුව ලබන 25 වැනිදා සිට පැවැත්වෙන බංග්ලාදේශ තරග සංචාරයේ සිට, ශ්‍රී ලංකා එක් දින නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමිව තිබේ. අදාළ බංග්ලාදේශ තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අතර දිමුත්ගේ නමත් ඇතුළත්ව තිබීම කැපී පෙනෙන කාරණයක් විය. කෙසේ නමුත් මෑත භාගයේ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ ලකුණු අතර සිටි ක්‍රීඩකයන්ගෙන් කෙනෙක් වන්නේ දිමුත්ය. ඔහු අවසන් වරට සහභාගි වූ තරග 7දී පිළිවෙළින් 31, 01, 52, 44, 1, 52 සහ 46ක් වශයෙන් රැස්කරගෙන තිබේ. නමුත් ආරම්භක පිතිකරුවන් සඳහා කණ්ඩායමේ ඇති ඉඩකඩ සැලකීමේදී දිමුත්ගේ ප්‍රහාරාත්මක වේගය සමග කුසල් ජනිත් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලකගේ ප්‍රහාරාත්මක වේගය සලකා අවසන් තීරණය ගැනීමට තේරීම් කමිටුවට සිදු වූ බව පැවසේ. එහෙත් ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරනුයේ නව එක් දින නායකයා වශයෙන් කුසල් ජනිත් පෙරේරා පත් කළ බවට ක්‍රිකට් ආයතනය විසින් දිමුත්ට දැනුම් දී ඇත්තේ ඒ පිළිබඳ මාධ්‍ය වාර්තාද පළ වූ පසුව බවයි. ගයාශාන් විතානආරච්චි  

ෆේස්බුක් ගිණුමේ සටහන

 

More News..