brand logo

දිමුත්ට සති දෙකක් තුළ 'ඩබල් ප්‍රමෝෂන්'

07 May 2021

අයි. සී. සී. නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ප්‍රසාද ලකුණු 712ක් සමගින් 11 වැනි ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සමත්ව සිටි. බංග්ලාදේශ තරගාවලිය ආරම්භ වීමට පෙර දිමුත් අදාළ ශ්‍රේණියේ 22 වැනි ස්ථානයේ පසු වූයේය. අනතුරුව බංග්ලාදේශය සමග පැවැති පළමු තරගයේදී ද්විත්ත්ව ශතකයක් රැස් කරමින් දැක් වූ දක්ෂතා හේතුවෙන් ලෝක ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණියේ 15 වැනි ස්ථානය දක්වා පැමිණීමට දිමුත්ට හැකි විය. නැවතත් බංග්ලාදේශය සමග පැවැති දෙවැනි තරගයේ පළමු ඉනිමේදී ශතකයක් සහ එම දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක් රැස් කිරීම හේතුවෙන් අදාළ 11 වැනි ස්ථානය දක්වා උසස් තැනකට පැමිණීමට දිමුත්ට හැකි වූයේය. ඒ අනුව ගෙවුණු සති දෙකක කාලයේදී වතාවන් දෙකකදී ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 11ක් ඉදිරියට පැමිණීමට දිමුත්ට හැකි වීම විශේෂත්වයකි. එම දක්ෂතා හේතුවෙන් ලොව ප්‍රධාන පෙළේ ක්‍රීඩා සඟරාවක් වන විස්ඩන් සඟරාව විසින් නම්කළ අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමටත් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නගේ නම ඇතුළත් විය. අදාළ පිතිකරුවන් ලැයිස්තුවේ 24 (618)වැනි ස්ථානය ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් පසුවේ. බංග්ලාදේශ සංචාරයේදී පිතිකරුවන් ලෙස දස්කම් දැක්වූ නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා පිළිවෙළින් 31 (589) වැනි සහ 32 (588) වැනි ස්ථානයන්හි පසුවේ. එම ශ්‍රේණියේ මීළගට ශ්‍රී ලංකාවෙන් සිටිනුයේ දිනේෂ් චන්දිමාල්ය. ඔහු ප්‍රසාද ලකුණු 526ක් සමගින් 50 වැනි ස්ථානයේ පසුවේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවෙක් වශයෙන් සාර්ථක වෙමින් සිටින ළහිරු තිරිමාන්න එහි 60 වැනි ස්ථානයේ රැඳී සිටී.
 

More News..