brand logo

දිමුත්ට දෙවැනි ටෙස්ට් තරගයත් අහිම වෙන හැඩ

20 January 2021

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නිත්‍ය නායක දිමුත් කරුණාරත්නට අනිද්දා (22 වැනිදා) එංගලන්තය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයත් බොහෝවිට අහිමිවනු ඇති බවට වාර්තා වේ. දකුණු අප්‍රිකාව සමග නිමා වූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ වොන්ඩර්ස්හි පැවැති දෙවැනි තරගයේදී පන්දුව වැදීමෙන් සිදු වූ ඇඟිල්ලේ ආබාධය තවම සුව වී නොමැති වීම මත දිමුත්ට මෙම තරගය අහිමි වනු ඇති බැව් පැවසේ. දකුණු අප්‍රිකාව සමග පැවැති අවසන් ටෙස්ට් තරගයේදී දිමුත් ශතයක් වාර්තා කළ අතර ඒ හේතුවෙන් ඔහුට ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණියේ 15 වැනි ස්ථානය දක්වා පැමිණීමටත් අවස්ථාව උදා විය. මීට අමතරව දිගින් දිගටම අසාර්ථක වී සිටින කුසල් මෙන්ඩිස්ටත් මීළඟ තරගය අහිමි වනු ඇති බැව් වාර්තා වේ. එංගලන්තය සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 15ක් ලබා ගැනීමට පෙර සහභාගි වූ ඉනිම් හතරේදීම ඔහු පිට පිටම ලකුණු නොලබා දැවීයෑම කැපී පෙනෙන කාරණයක් විය. දිමුත්ගේ ස්ථානය සඳහා පළමු තරගයේ මෙන්ම ආරම්භක පිතිකරු වශයෙන් ළහිරු තිරිමාන්න ක්‍රීඩා කිරීමට නියමිතය. කුසල් මෙන්ඩිස්ගෙන් පුරප්පාඩුවන ස්ථානයට රොෂේන් සිල්වා ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතී. මේ අතර කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, නුවන් ප්‍රදීප්, මිනෝද් භානුක සහ ලහිරු කුමාර ව ජෛව ආරක්ෂණ බුබුළෙන් නිදහස් කර ඇති බවද වාර්තා වේ. ගයශාන් විතානආරච්චි
 

More News..