brand logo

දින 54ට රාජ්‍ය සේවකයන් 8200ක් දොට්ට

10 January 2020

නව ආණ්ඩුව බලයට පත්ව ගතවූ දින පනස් හතරක කාලය ඇතුළත රාජ්‍ය සේවකයන් අටදහස් දෙසීයක් (8,200) සේවයෙන් ඉවත් කරමින් රාජ්‍ය සේවකයන් එකොළොස් දහස් හත්සියයක (11,700) ගෙන් පළිගැනීම් සිදුකර ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර පවසයි. මන්ත්‍රීවරයා මෙම චෝදනාව එල්ල කළේ ඊයේ (9 වැනිදා) එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය. මන්ත්‍රීවරයා සඳහන් කරන ආකාරයට රජයේ පුහුණු ව්‍යාපෘති සහකාරවරුන් 6800 ක් මේ වනවිට සේවයෙන් ඉවත් කර ඇත. ඊට අමතරව පාසල් සෞඛ්‍ය සහකාරවරුන් 100 ක්, ඉන්ධන සංස්ථා සේවකයන් 167 ක්, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ 1200 ක් සේවයෙන් පහකර තිබේ. ‘‘පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එක්දාස් දෙසීයකට දැනුම් දී තියෙනවා ලබන සතියේ ඉඳලා වැඩට එන්න එපා කියලා. ගමනාගමන මණ්ඩලයේ සේවකයන් එක්දාස් පන්සීයකට ලැබුණු උසස්වීම් නීති විරෝධී චක්‍රලේඛයක් මගින් අත්හිටුවලා ඔවුන්ව ශ්‍රේණියෙන් පහත හෙළලා. එම නීතියට පටහැනි නියෝගය පිළිනොගත්ත සේවකයන් පිරිසකට කම්කරු අමාත්‍යාංශය හරහා නීති විරෝධී අකාරයෙන් සේවය අතහැර ගියා සේ සලකනවා කියලා ලිපි යොමුකරලා. මීට අමතරව සමෘද්ධි පරිගණක නිලධාරීන් 1600 කට තවදුරටත් වැටුප් ගෙවන්නේ නැහැ කියලා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ ඒ දිස්ත්‍රික් ප්‍රධානීන්ට දැනුම් දීලා. මහජන බැංකුවේ අසූ එකක කණ්ඩායමක් ලබන සතියේ එළියට දාන්න සූදානම් වෙනවා. මේ විදිහට තමයි රාජ්‍ය සේවකයන්ගෙන් දින පනස් හතර ඇතුළත රජය පළිගනිමින් ඉන්නේ’’ යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. නයන තරංග ගමගේ
 

More News..