brand logo

දින පනස් එකේ ආණ්ඩුවේ ලේකම්වරුන්ට තොප්පියක්

20 July 2019

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්ව සිටි දින පනස් එකේ ආණ්ඩුවේ අගමැති ලේකම්වරයා ලෙස හා අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනෙක් ප්‍රශ්න කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවට කැඳවිය යුතු බවට යෝජනා පහක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ. ඊට අමතරව එම කාලයේදී රාජ්‍ය මාධ්‍ය ආයතනවල කටයුතු කළ සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවට වන යෝජනාවක්ද න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ. දින පනස් එකේ ආණ්ඩුවේ අගමැති ලේකම් සිරිසේන අමරසේකර, මුදල් හා ආර්ථික කටයුතු ලේකම් එස්.ආර්. ආටිගල, නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ, ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන ලේකම් එස්.ටී. කොඩිකාර සහ වෙළෙඳ, පාරිභෝගික, සමුපකාර සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු ලේකම් බර්නාඩ් වසන්ත පෙරේරා යන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස මෙම යෝජනාවෙන් ඉල්ලා ඇත. මෙම ලේකම්වරු නීත්‍යානුකූල නොවන අගමැතිවරයාගේ සහ ඇමැතිවරුන්ගේ වියදම් පියවීම සඳහා රජයේ අරමුදල් යොදා ගන්නා බවටද ඒ පිළිබඳ කරුණු විමසීමට ඔවුන් පාර්ලිමේන්තු කාරක සභාවක් ඉදිරියට කැඳවිය යුතු බවද පවසමින් යෝජනා පහක් වෙන වෙනම ඉදිරිපත් කර ඇත. එම යෝජනාවලට අත්සන් තබා ඇත්තේ පාඨලී චම්පික රණවක, ලක්ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක, වෛද්‍ය රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම් සහ අර්ජුන රණතුංග යන ඇමැතිවරුන් විසිනි. රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් නීත්‍යනකූල නොවන ආකාරයෙන් කටයුතු කළේ යැයිද එනිසා නීතිමය පියවර ගත යුතු බවද පවසමින් පාර්ලිමේන්තුවට යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ වෛද්‍ය රාජිත සේනාරත්න, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ වජිර අබේගුණවර්ධන යන ඇමැතිවරුන්ය. මෙම යෝජනා සියල්ල දින නියමයෙන් නැති යෝජනා ලෙස පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.
 

More News..