brand logo

දිනෙත් දෙව්මිගේ පෙම්වතා වෙයිද?

11 June 2019

ගැහැනු ළමයෙක්ට රෝස මලක් දීලා මම ඔයාට ආදරෙයි මචං කියූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පහුගිය දිනෙක අපිට හමුවුණා. ඔහු නමින් දිනෙත් ඈපාලියන. දිනෙත් මේ දිනවල නළුවෙක් ලෙස ජනප්‍රිය වෙමින් සිටියත් මෙම තරුණයා ටෙලි හා සිනමා මාධ්‍යය පිළිබඳ බොහෝ කතා කළ හැකි හෙට දවසක් පිළිබඳ බලාපොරොත්තු අපට ලබාදී තිබෙනවා. ඉතින් ඒ සුබවාදී බලාපොරොත්තු සමගින් අපි දිනෙත් සමග කතාකරමු. දිනෙත්ට දෙවෙනි ඉනිමට එන්න ලැබුණෙ කොහොමද? මම මෙතෙක් පෙනී සිටි වෙළෙඳ දැන්වීම් මියුසික් වීඩියෝ හා මම අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ නිර්මාණ මෙන්ම මම ගැනත් තොරතුරු එකතුවක් දෙවෙනි ඉනිමේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් මහත්මයට යවලා මම ඉල්ලීමක් කළා ඔබගේ ඉදිරි නිර්මාණ සඳහා රංගන ශිල්පීන් තෝරාගැනීමට පරීක්ෂණ පවත්වන අවස්ථාවක මටත් ඒවාට ඉදිරිපත් වෙන්න අවස්ථාවක් ලබාදෙන්න කියලා. ඊට පස්සෙ සාරංග මෙන්ඩිස් මහත්මය මට කතාකරල කිව්වා දෙවෙනි ඉනිමෙ අලුත් චරිතයක් තියෙනව ඇවිත් ඔහුව මුණගැහෙන්න කියලා. ඊට පස්සෙ තිර පරීක්ෂණ දෙකකට පෙනී සිටියට පස්සෙයි මට දෙවෙනි ඉනිමට අලුතින් එකතුවුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගෙ චරිතය රඟපාන්න ලැබුණා. දිනෙත්ට මෙම ක්ෂේත්‍රය ගැන පෙර අත්දැකීම් ඇති හැඩයි ? ඔව්. මම එංගලන්තයෙදි ටෙලි හා සිනමාකරණය වසර හයක් තිස්සේ හැදැරුව. මගේ අධ්‍යාපනපති උපාධියට මම හැදැරුවෙ ටෙලි හා සිනමා අධ්‍යක්ෂණය නිෂ්පාදනය හා තිරරචනයයි. දිනෙත් ළමාවියේ පටන්ම කලා ක්ෂේත්‍රය පිළිබඳව සිහින දකිමින් පැමිණි කෙනෙක්ද? පොඩිකාලෙ ඉඳන්ම රඟපාන්න මගේ ආසාවක් තිබුණා. ඒ විතරක් නෙවෙයි. පුද්ගලිකව මට තිබුණ අලුත් දෙයක් කිරීමේ ආසාව නිසා නිෂ්පාදකවරයෙක් අධ්‍යක්ෂවරයෙන් වගේම රංගන ශිල්පියෙක් හැටියටත් මට ඉදිරියට යා හැකියි කියලා මට හිතුණා ඉතින් ක්ෂේත්‍රයට පිවිසෙන්න පෙර මේ ගැන ඉගෙන ගන්න අවශ්‍යයි කියල හිතුණ නිසා මම එංගලන්තයට ගිහින් මේ ගැන ඉගෙන ගත්ත. දිනෙත් ඔබගේ පාසැල් විය ගැන සඳහන් කරනවා නම්? මම උසස්පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවෙ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. මම පාසල් මට්ටමේ නාට්‍යය තරගවලටත් ඉදිරිපත් වෙලා තියෙනව. මම පාසලෙදි නාට්‍ය හා රංගකලාව විෂයයක් විදිහට හැදෑරුවෙ නැහැ. නමුත් මගේ පාසලෙ නාට්‍ය හා රංගකලා ගුරුවරිය වන ප්‍රවීණ නාට්‍යවේදිනී රත්නා ලාලනී ජයකොඩි මහත්මිය ගෙනුයි මට පාසල් වේකාවෙදි ගුරුහරුකම් ලැබුණේ. ගෙවීගිය කාලය තුළ දිනෙත් මේ ක්ෂෙත්‍රය තුළ කළ දේවල් මොනවද? මම අධ්‍යාපන කටයුතු සඳහා ලංකාවෙන් පිටවුණේ 2010 වර්ෂයේ. නැවතත් මම ලංකාවට ආවෙ 2016 දී. එංගලන්තයේ මම අධ්‍යාපනය හදාරණ කාලයේ ඉන්දීය සමාගමක් සමග සම්බන්ධ වෙලා මියුසික් වීඩියෝ හා වෙනත් නිර්මාණ කළා. මගේ අධ්‍යාපනපති උපාධියේ අවසන් නිබන්ධය වෙනුවෙන් මම ලංකාවට ඇවිත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කළා. ලංකාවට ආවට පස්සෙ වෙළෙඳ දැන්වීම් නිරූපණයටත් එක්වුණා. ඇත්තටම දෙවෙනි ඉනිමෙන් නළුවෙක් විදිහට ඉදිරියට එන්න පෙර මම කැමරාව පිටුපස ඉඳන් වසර හයක් තිස්සේ රූපවාහිනී හා සිනමා මාධ්‍ය තුළ වැඩ කරල තියෙනව මම අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කළ දෙහදක ආදරයක් චිත්‍රපටය ළගඳීම තිරගත කරන්න සුදානම් වෙමින් ඉන්නෙ. ඔබ නිර්මාණය කළ චිත්‍රපටයෙ රඟපාන්න නොහිතුවෙ ඇයි? මම ඒ චිත්‍රපටයෙ රඟපාන්නෙ නැහැ. ඒකට හේතුව මම එම නිර්මාණය කරන්නෙ මගේ අධ්‍යයන කටයුත්තක් විදිහට. එතැනදි මට තිබුණ භූමිකාවෙ හැටියට මට කරන්න පුළුවන් වෙන්නෙ අධ්‍යක්ෂණය නිෂ්පාදනය විතරයි. ඒ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය රඟපෑවේ දසුන් නිශාන්, ශ්‍රියන්ත මෙන්ඩිස් හා කුසුම් රේණු යන ප්‍රවීණ ශිල්පීන්. දිනිත්ගෙ මතු බලාපොරොත්තු අතර ඉදිරියෙන්ම තියෙන්නෙ කුමක්ද? මම දැන් බලාපොරොත්තු වෙන්නෙ රංගනය පැත්තෙන් ඉදිරියට යන්න. හොඳ පිටපතකින් යුතු හොඳ චිත්‍රපට හා ටෙලි නිර්මාණවල රඟපාන්න බලාපොරොත්තු වෙනවා. දැන් මම මාස හයක පමණ කාලයක් තිස්සෙ රංගන ශිල්පිනී දමයන්ති ෆොන්සේකා මහත්මිය යටතේ රංගනය හදාරමින් ඉන්නව. ලංකාවෙ රංගන වෘත්තිය ආර්ථිකමය ස්ථාවරයක් නැති වෘත්තියක් කියන මතය ඔබට අදාළ නැතිද? දැනට මට ඒ පිළිබඳ ප්‍රශ්නයක් ලොකුවට දැනෙන්නෙ නැහැ. ලංකාවේ වෘත්තීයමය රංගන ශිල්පියෙක් වෙන එක ආර්ථිකමය පැත්තෙන් හොඳක් නැහැ කියලා මම අහල තියෙනව. ඒක ඇත්ත කියලා කියන්න පුළුවන්. නමුත් මම ඒක අත්විඳල නැහැ. මොකද මගේ ආර්ථිකමය පසුබිම ටිකක් වෙනස්. දිනෙත්ගෙ වෘත්තිය වෙනත් ක්ෂේත්‍රයක්ද? මගේ තාත්තගෙ සහ අපෙ පවුලෙ අයගෙ ව්‍යාපාරයක් තියෙනව. අපේ ව්‍යාපාරය සංචාරක නිකේතන හා සංචාරක අවන්හල් පවත්වාගෙන යෑමයි. මම යැපෙන්නෙ එම ව්‍යාපාරයෙන් දෙවෙනි ඉනිමේ රංගනයට දැන් ප්‍රතිචාර ලැබෙනවද? මගේ පළවෙනි දෙබස තිබුණෙ මම ඔයාට ආදරෙයි මචං කියන්නෙ ඒකෙන් පස්සෙ. මගේ හිතවත් අයගෙන කෙටි පණිවිඩ දුරකථන ඇමතුම් ලැබෙන්න පටන් ගත්තා. මම ඔයාට ආදරෙයි මචං කියලා. දෙවෙනි ඉනිමෙ ඔබ දෙව්මිගෙ පෙම්වතා වෙන්නද යන්නෙ? ඒක ඔබට ඉදිරියෙදි දෙවෙනි ඉනිමෙන්ම දැකගන්න ලැබෙයි. අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය අමතක කරලද ඉන්නෙ? නැහැ. ඒත් මම හිතනව ඒකට මට තව ටික කාලයත් ගතවේවි. මොකද තවදුරටත් මේ කර්මාන්තය ගැන අවබෝධයක් ලබාගැනීමට අවශ්‍යයි කියලා මම හිතනව. සුරංජි පතිරණ
 

More News..