brand logo

දිනකට මුව ආවරණ මිලියන 6ක් ඉවතට

24 November 2020

  කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය හමුවේ දිනකට පරිසරයට බැහැර වන මුව ආවරණ සංඛ්‍යාව මිලියන 06ක් බවත්, මුව ආවරණය බැහැර කිරීම ගැන නිසි පරිදි සෞඛ්‍ය උපදේශයක් මෙතෙක් ලබා දී නැති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. කොවිඩ් ආසාදිතයන්, ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පලඳින පුද්ගලයන් වශයෙන් කොටස් තුනක පිරිස් මුව ආවරණ පලඳින බවත් ආසාදිතයන් හා ආශ්‍රිතයන් පලඳින මුව ආවරණ ඇතුළු අපද්‍රව්‍ය විධිමත් පරිදි බැහැර කෙරේ. එහෙත් කිසිදු ආරක්ෂක පිළිවෙතක් අනුගමනය කරමින් අවිධිමත් ලෙස මුව ආවරණ පරිසරයට විසිකර දමන පුද්ගලයන්ද සිටින බව ඇමැතිවරයා කීය. පරිසර අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සමග පසුගියදා (20 වැනිදා) පැවැති සාකච්ඡාවේ දීය. ලොකුම ගැටලුව තමයි පොදුවේ කොවිඩ් 19න් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පැලඳ සිටින අය. සමහරු මුව ආවරණ ඉවත් කරන්නේ කිසිදු ආරක්ෂක පිළිවෙතක් අනුගමනය කරමින් නොවෙයි. තමන්ට හිතෙන පරිදි ඒවා ඉවතට විසි කර දමනවා. කොවිඩ් 19 වයිරසය එම බැහැර කරන මුව අවාරණවලින් නැවත ව්‍යාප්ත වෙන්න පුළුවන් වගේම මේවා මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා ගංගා ඇළදොළවලට මිශ්‍ර වෙලා ඒ හරහා ජලයට කොවිඩ් 19 වයිරසය එකතු විය හැකියි. පසුගිය සතියේ ඉක්වදෝරයේ ගංගාවක ජලයේ සාම්පල සියයකට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කර තිබුණා. එම ජල සාම්පල සියල්ලම කොවිඩ් 19 වයිරසය සහිත බව තහවුරු වුණා. ඒ නිසා අපේ රටේත් ගංගා පද්ධතිය ආශ්‍රිතව මෙම වයිරසය ව්‍යාප්ත වුවහොත් බරපතළ සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දෙන්නට සිදු වේවි. ඒ නිසා මම කියන්නේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් දැනට සකසා ඇති කොවිඩ් 19 වළක්වාලීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස පළාත් පාලන ආයතනවලට උපදෙස් දිය යුතුයි. මුව ආවරණ දිනකට මිලියන 06ක් එකතු වෙනවා කියන්නේ මාසයකට මිලියන 180ක්. එම නිසා මේ පිළිබඳ දැඩි අවධානය යොමු කරන්නැයි අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
 

More News..