brand logo

දිනකට බොල්පොයින්ට් පෑන් බට 80kgක් පරිසරයට

25 September 2020

පාසැල් දරුවන් අකුරු ලිවීම සඳහා උපයෝගී කර ගන්නා බෝල් පොයින්ට් හිස් පෑන් බට දිනකට කිලෝ ග්‍රෑම් 80ක් පමණ පරිසරයට මුදා හරින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. පරිසර අමාත්‍යාංශයේ ඊයේ(24) පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ අනුව වසරකට භාවිත කළ බෝල්පොයින්ට් පෑන් කිලෝග්‍රෑම් 29,200 ක් පමණ මෙලෙස පරිසරයට මුදාහරින බවට අනාවරණ වී තිබේ. රාජ්‍ය හා වෙනත් පුද්ගලික අංශයෙන් බැහැර කරන හිස් බෝල් පොයින්ට් පෑන් ප්‍රමාණය කෙතෙක් දැයි තවමත් ගණනය කර නොමැත. එහෙත් මෙරට පාසැල් පද්ධතිය තුළින් පමණක් මුදා හරින අති විශාල ප්‍රමාණයක් වන හිස් බෝල් පොයින්ට් පෑන් ප්‍රමාණය නිසා දෛනිකව විශාල පරිසර හානියක් සිදුවන අතර විදිමත් පරිදි ඒවා බැහැර කිරීමට ක්‍රමවේදයක් නොමැතිකමත්, ඒ සම්බන්ධව දැඩි අවධානයක් මෙතෙක් යොමු නොවීමත් හා නිසි ප්‍රතිචක්‍රියකරණ වැඩ පිළිවෙළක් නොවීමත් හේතුවෙන් දැවැන්ත පරිසර හානියක් දිනපතා සිදුවන බවත් අමාත්‍යවරයා කීය. මේ අන්දමින්ම ප්ලාස්ටික් දත් බුරුසු ද විශාල ප්‍රමාණයක් දිනපතා පරිසරයට යොමු කරනු ලබන අතර සාමාන්‍යයෙන් ඉවත දමන බෝල් පොයින්ට් පෑන් හා දත් බුරුසු හේතුවෙන් විශාල ලෙස පාංශු දූෂණයක් සිදුවේ. එයට හේතුව නම් මෙම වර්ග දෙකම දිරාපත් වීම සඳහා වසර 50-75 දක්වා කාලයක් ගත වීමයි. මෙම තත්ත්වය තුළ සිදුවන පරිසර හානිය වළක්වාගැනීම සඳහා එම අපද්‍රව්‍ය එකරැස් කර ප්‍රතිචක්‍රීකරණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
 

More News..