brand logo

දැල්පන්දු ලෝක කුසලාන සඳහා කඳවුරු බැඳීමට තිලකා සහතිකයක් ඉල්ලයි

10 September 2018

එළැඹෙන 2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා වන ශ‍්‍රී ලංකා පිලේ පුහුණුකාරීත්වය තමන් වෙත සහතික කරනු ලබයි නම් ඒ වෙනුවෙන් වන සැලසුම් ප‍්‍රමාණවත් කාලයක් සහිතව ක‍්‍රියාත්මක කළ හැකි යැයි වත්මන් ජාතික දැල් පන්දු පුහුණුකාරිණිය වන තිලකා ජිනදාස මෙනෙවිය පවසා සිටී. ඇයගේ මගපෙන්වීම යටතේ වසර 9කට පසුව ආසියානු දැල්පන්දු ශූරතාවක් ජයගැනීමට ඉකුත්දා ශ‍්‍රී ලංකාවට හැකිවූ අතර ඒ අනුව 2019 වසරේ එංගලන්තයේ ලිවර්පූල් හී පැවැත්වෙන ලෝක කුසලාන දැල් පන්දු තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකාව සුදුසුකම් ලැබීය. මීට පෙර 2009 වසරේදී ශ‍්‍රී ලංකා පිලක් අවසන් වරට ආසියානු දැල්පන්දු ශූරතාවක් දිනා ඇත්තේද තිලකා ජිනදාස ජාතික දැල්පන්දු පුහුණුකාරිණය වශයෙන් කටයුතු කරන අවදියේදී වීම කැපී පෙනෙයි. ‘මුලින්ම 2019 ලෝක කුසලාන දැල් පන්දු තරගාවලියේ පුහුණුකාරිණිය ලෙස මට කටයුතු කරන්න දෙන බවට සහතික කරන්න ඕනේ. එතකොට මට පුලූවන් කල් තියා ඒ සඳහා සැලසුම් සකස් කරන්න. අප මෙයට පෙර ආසියානු ශූරතාව දිනාගත් අවසන් අවස්ථාව වූ 2009 වසරේ මගේ පුහුණුකාරීත්වයෙන් එය දිනාගත්තත් 2011 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන්න මට අවස්ථාව දුන්නේ නැහැ. ඒ කාලේ මම ගොඩක් කලකිරීමෙන් හිටියේ. නමුත් මම විස්වාස කරනවා මේ පාර එහෙම දෙයක් වෙන එකක් නැහැ කියලා.’ යනුවෙන් ඇය පවසා සිටියාය. මෙවර 11 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවේ අවසන් මහා තරගයේදී සත්කාරක සිංගප්පූරුව ලකුණු 69-50 කින් පරාජය කළා පමණක් නොව සමස්ත තරගාවලිය පුරා අපරාජිතව සිටීමටද සමත් විය.
 

More News..