brand logo

දැන දැන වැරදිකර සිරබතේ රස සොයන ජපන් වැඩිහිටියෝ

11 February 2019

හිරේ යන්න ඕන නිසාම ජපන් වැඩිහිටියන් හොරකම් කරනවා. ඊළඟට ඔවුන්ම පොලිසියට ගිහින් භාර වෙනවා.

ජපන් සිරමැදිරිවල ඉන්න රැඳවියන් පස් දෙනකුගෙන් එක් අයෙක් මේ විදිහට සිරගත වූවන්.

එක් රැඳවියෙක් වෙනුවෙන් වසරකට ඇරෙමිකානු ඩොලර් 20,000 ක වියදමක්.

ජේලර්වරුන්ගේ රස්සාවත් සාත්තු සේවයට මාරුවෙලා ජනගහණයට සාපේක්‍ෂව මහලු උදවිය වැඩියෙන්ම සිටින රටවල් අතර ජපානය ඉදිරියෙන්ම සිටින රටකි. එරට ජනගහනයෙන් හතරෙන් එකක් ම වයස අවුරුදු 65 ට වැඩි අය බව පැවසේ. මේ නිසා එරට ආර්ථික, සෞඛ්‍ය, සුබ සාධන වැනි ක්‍ෂේත්‍ර රැසකට විවිධ අභියෝගවලට මුහුණ දෙන්නට සිදු ව තිබේ. මේ අතර මෑතක සිට වාර්තා වන කාරණයක් වන්නේ ජපානයේ බන්ධනාගාර වලට ද මෙම වැඩිහිටි ප්‍රශ්නය ලොකු බලපෑමක් කිරීමට පටන්ගෙන ඇති බවයි. එයට එක් හේතුවක් වන්නේ මහලු උදවිය විශාල වශයෙන් විවිධ සුළු වැරදි සිදු කරමින් වුවමනාවෙන්ම බන්ධනාගාර ගත වීමට පටන්ගෙන තිබීමයි. මහලු පිරිමින් පමණක් නොව මහලු කාන්තාවන් පවා මේ ආකාරයෙන් සුළු වැරදි සිදු කරමින් බන්ධනාගාර ගත වීමට කැමැත්තක් දක්වන බව වාර්තා වෙයි. මෙවැනි තත්ත්වයක් ඇති වීමට බොහෝ දුරට බලපා ඇත්තේ ජීවිතයේ අසරණ වී, ආර්ථික වශයෙන් ද කඩා වැටී සිටින මෙම මහලු උදවිය බලා කියා ගැනීමට, නඩත්තු කිරීමට කිසිවෙකු නැති වීමයි. මේ සමහරුන් තමුන්ටම කියා ගෙයක් දොරක් හෝ පවුලක් පන්සලක් හෝ නොමැති, ජීවිතයේ හුදෙකලා වී සිටින පුද්ගලයින් ය. තවත් සමහරුන්ට ගෙවල් දොරවල් තිබුණා වුවත්, ඥාතීන් සිටියා වුවත් ඔවුන් නිසි ආකාරයෙන් ආදරයෙන් රැක බලා ගැනීමට කිසිවෙකුත් නැති බව පෙනේ. අද කාලයේ බොහෝ දෙනෙකුට, ආර්ථික ප්‍රශ්න නිසා හෝ අධික ලෙස කාර්ය බහුල වීම වැනි හේතු නිසා හෝ තම මහලු වැඩිහිටියන් නිසි ආකාරයෙන් රැක බලා ගැනීම අපහසු වී ඇති බව රහසක් නොවේ. මේ නිසා ඉන්න හිටින්න තැනක් තිබුණත් මේ වැඩිහිටියන්ට සමීපතමයෙකුගේ ලෙන්ගතු බවක, දයාබර බවක උණුසුම නොලැබෙයි. මේ අතර වාර්තා වන තවත් කනගාටුදායක කාරණයක් වන්නේ ජපානයේ තනිපංගලමේ ජීවත් වන මහලු පුද්ගලයින්ගේ ගණන පසුගිය වසර තිහක කාලය තුළ සියයට 600 කින් පමණ වැඩි වී ඇති බවයි. මෙම පසුබිම තුළ ජපානයේ බොහෝ මහලු පුද්ගලයින්ට බන්ධනාගාර ජීවිතය වඩා සැනසිලිදායක යයි හැඟෙන්නට පටන් ගෙන ඇති බව පෙනේ. මේ නිසා යම් යම් සුළු වැරදි සිදු කරමින් බන්ධනාගාර ගත වීමට ඔවුන් පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි. සමහර අය කරන්නේ පොඩි පොඩි හොරකම් ය. මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ එක් මහලු පුද්ගලයෙකු පවසා තිබුණේ තමා පාර අයිනේ නවතා තිබූ බයිසිකලයක් සොරකම් කරගෙන ගොස් තමුන්ම පොලිසියට භාර වූ බවයි. තවත් කෙනෙක් පවසා තිබුණේ තමා පිහියක් රැගෙන ගොස් උද්‍යානයක විවේක සුව විඳිමින් සිටි කාන්තාවන් කිහිප දෙනෙකුට පෙන්වා ඔවුන්ට තර්ජනය කළ බවයි. හොඳ වෙලාවට ඒ අතරින් කෙනෙකු මේ ගැන පොලිසියට දැනුම් දුන් බව ද, ඒ නිසා තමුන්ට බන්ධනාගාර ගත වීමට හැකි වූ බව ද ඔහු සිනාසෙමින් පවසා තිබිණි. මේ ආකාරයෙන් වුවමනාවෙන්ම බන්ධනාගාර ගත වන කාන්තාවන් අතරින් සියයට 90 ක්ම කරන්නේ වෙළෙඳසැල්වලින් පොඩි පොඩි දේවල් සොරකම් කිරීම (shoplifting) බව ද සඳහන් වේ. එක් වරක් සිර දඬුවම් විඳ නිදහස්ව ගිය පසු ටික කලකින් නැවතත් යම් වරදක් සිදු කර බන්ධනාගාරය වෙත පැමිණීමට මේ සමහරු පුරුදුව සිටිති. පසුගිය වසර 20 ක පමණ කාලය තුළ, මේ ආකාරයෙන් අත්අඩංගුවට පත්වන වියපත් පුද්ගලයින්ගේ ගණන සතර ගුණයකින් පමණ වැඩි වී ඇති බව අනාවරණය වෙයි. ජපානය ඉතා සුළු වැරදි සම්බන්ධයෙන් වුවද දැඩි දඬුවම් ලබා දෙන රටක් වන අතර මෙය මෙම මහලු උදවියට වාසිදායක තත්ත්වයක් උදා කර දී ඇත. එරට බන්ධනාගාරවල මේ වනවිට සිටින රැඳවියන් අතරින් සෑම පස් දෙනෙකුට එක් අයෙකු ම මේ ආකාරයේ මහලු පුද්ගලයෙකි. බන්ධනාගාරයක ජීවිතය ඉතා දුෂ්කර එකක් වුවද මේ අය සාමාන්‍ය සමාජයේ දී විඳින දුක් වේදනා ඊටත් වඩා දරුණු වීම නිසා මෙවැනි විසඳුමක් තෝරාගෙන ඇති බව මේ පිළිබඳ අදහස් දක්වන සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙති. අඩු තරමින් බන්ධනාගාරයේ දී සම වයසේ පිරිසක් ඇසුරු කිරීමට ලැබීම පවා ඔවුන්ට විශාල සහනයක් අත් කර දෙන බව පෙනේ. එමෙන්ම බෙහෙත් හේත්, සාත්තුව සහ ආහාර පාන ආදිය නිසි වේලාවට ලැබීම වැනි වාසි ද ඔවුන්ට මේ තුළින් හිමිවේ. එක් මහලු කාන්තාවක පවසා තිබුණේ වරක් තමා නිදහස් වී යද්දී නැවත එහි නොපැමිණෙන බව සිතාගෙන ගියත් ටික කලක් යද්දී, තමා බන්ධනාගාරයේ ගත කළ ජීවිතය සහ මිතුරු මිතුරියන් සිහි වී සාංකාවක් දැනුණු බවයි. උදා වී ඇති මෙම තත්ත්වය දැන් එරට බන්ධනාගාරවලට ලොකු ගැටලුවක් බවට පත්ව තිබේ. සාමාන්‍යයෙන් එක් රැඳවියෙකු වෙනුවෙන් ජපානයේ බන්ධනාගාර වසරකට ඇමෙරිකානු ඩොලර් 20,000 ක පමණ මුදලක් වැය කරයි. නමුත් මහලු රැඳවියන්ට අමතර බෙහෙත් ඇතුළු විවිධ සාත්තු සප්පායම් අවශ්‍ය වන නිසා ඔවුන් වෙනුවෙන් වැය වන මුදල ඊට වඩා වැඩිවෙන බව බලධාරීහු පෙන්වා දෙති. මෙම මහලු රැඳවියන් බලා ගන්නා ජේලර්වරුන් පවසන අන්දමට ඔවුන් කරන්නේ ජේලර් රස්සාවකට වඩා සාත්තු සේවක සේවිකාවන් ගේ රස්සාවකි. කෙසේ වෙතත්, බන්ධනාගාර පද්ධතියට ඇති වී තිබෙන මෙම ගැටලුව විසඳීම සඳහා විවිධ පියවර ගැනීමට ජපානය කටයුතු කරමින් සිටියි. මහලු වැඩිහිටියන් ට නිසි රැකවරණය, සාත්තු සප්පායම්, ආදරය කරුණාව ලබා දෙන අන්දමේ සමාජ සේවා සහ සුබ සාධන වැඩසටහන් වඩාත් ව්‍යාප්ත කිරීම එවැනි එක් විසඳුමකි. ජපානය තුළ වැඩිහිටි ජනගහනය විශාල වශයෙන් ඉහළ යාමට ප්‍රධාන හේතුවක්ව ඇත්තේ එරට ජනයාගේ ආයුෂ ප්‍රමාණය වැඩි වීමයි. ජපානයේ සාමාන්‍ය පරමායුෂ වසර 85 කට ආසන්න වේ. පිරිමින්ගේ පරමායුෂ අවුරුදු 82 ක් ලෙස ද, කාන්තාවන්ගේ පරමායුෂ අවුරුදු 88 ක් ලෙස ද සඳහන් ය. ලෝකයේ රටවල් අතර පරමායුෂ අතින් අංක 1 ස්ථානයෙහි පසුවන්නේ ද ජපානයයි. අනෙක් අතට මෑත කාලයේ එරට බිලිඳු උපත් ප්‍රමාණය ද විශාල වශයෙන් පහත වැටී තිබේ. අඩු සරුඵලතාව ආදී සාධක ද මේ සඳහා බලපා ඇති බව අනාවරණය වෙයි. නිහාල් පීරිස්
 

More News..