brand logo

දැන් ෆොන්සේකාට ආරක්ෂක ඇමැතිකම දෙන්න ඕන - මද්දුමබණ්ඩාර

04 May 2019

වසර 4 1/2 ක් පුරා රටේ රාජ්‍ය ආරක්ෂක ඇමැති ජනපති වුවත් ජන ජීවිතය ඇතුළු සිවිල් කටයුතු භාර පොලිසිය අවසන් මාස 07 තුළ හැර භාරව සිටියේ ඇමැති සාගල හා ඔබයි. ඔබ දෙදෙනා ජන ජීවිතය රකින්න අසමත් වූ බව පිළිගන්නවාද? ඒ කතාව ඉතා වැරදියි. මම නීතිය හා සාමය ඇමැතිකම දැරූ මාස 8 තුළ මතු වූ දිගන හා අම්පාරේ මෙවැනිම ප්‍රශ්න අපි දින කිහිපයකදී විසඳුවා. සියලු පාර්ශ්ව එක්ක අපි විවෘතව කතා කරලා සාමය තහවුරු කළා. වැරදි කළ අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කළා. කිසිම බුරුලක් දුන්නේ නැහැ. ඊට අමතරව පොලිසියේ තිබූ අනිත් ප්‍රශ්නත් එනම් සුබසාධනය, වැටුප් හා දීමනා මාරුවීම්, උසස්වීම් ඇතුළු සියලු ප්‍රශ්න මමත්, ඇමැති සාගලත් විසඳලා පොලිස් සේවය ගෞරවණීය තැනක් බවට පත් කළා. නමුත් කිසිවකු නොසිතූ ලෙස මරාගෙන මැරෙන මුස්ලිම් ත්‍රස්තවාදයක් මතුවුණේ ආණ්ඩුවේ සීමාව ඉක්මවූ ‘‘කිරි පෙවීම’’ තුළ නේද? මේ ආණ්ඩුව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලු ජාතීන් ලාංකීය ජාතිය ලෙස සලකලා සියලු දෙනාට සහජීවනයෙන් එකමුතුව සාමකාමීව ජීවත් වීමේ පසුබිම ඇති කිරීමේ පදනම දැම්මා මිසක් අපි කිසිම ජාතියකට හෝ ත්‍රස්තවාදයකට කිරිපොවලා ඔවුන් පෝෂණය කරලා නැහැ. මේ මුස්ලිම් අන්තවාදී සංවිධාන ලියාපදිංචි කරලා, ඒ මූලස්ථාන හදන්න, ඉඩම් කොළඹින් දීලා, අන්තවාදීන්ට පඩි ගෙවලා මේ විනාශය පටන් ගත්තේ හිටපු ආරක්ෂක ඔස්තාර්ලා බවට දැන් කරුණු එළි වී තියෙනවා. ඒවා ඔප්පු කළ හැකි සාධක සහිතව වගකීමෙන්ද ඔබ මේවා කියන්නේ? මේ කරුණු අපි කියන්නේ කටට එනවට නෙවෙයි. බුද්ධි අංශ තොරතුරු මත පදනම් වෙලයි. මේවා එළියට ආවාම පොහොට්ටුවේ අය භූමිතෙල් ගෑවුණු ගැරඬි වගේ දඟලන්න පටන් ගත්තේ ඒකයි. අන්තවාදීන්ට පඩි ගෙව්වා කියලා වීරවංශ හා ගම්මන්පිල රූපවාහිනීවලදී වක්‍රව පිළිගත්තා. ෂරියා විශ්ව විද්‍යාල පිහිටුවන්න තමා අත්සන් කළ බව ඩලස් පිළිගත්තා. ඉතිං තවත් මොන කතාද? වහබ්වාදය පතුරුවන්න, මද්‍රසා අරාබි පාසල් පිහිටුවන්න, ෂරියා නීතිය ගැසට් කරන්න කටයුතු යෙදුවේ කව්ද හා කොයි කාලෙද කියලා රටම දැන් දන්නවා. ත්‍රස්ත ප්‍රහාරයේ සියලු වගකීම් ජනපතිට පමණක් බැර කරලා අත සෝදාගැනීම ආණ්ඩුවේ අරමුණද? නැහැ. සාමූහික වගකීම තුළ ආණ්ඩුවත්, වගකීම් භාර ගන්නවා. අපි අතසෝදාගෙන අනිත් අයට විතරක් වගකීම් පවරන්නේ නෑ. මම කියන්නේ වසර 4 1/2 ක් රාජ්‍ය අාරක්ෂාව හා මාස 7 ක ඉඳලා පොලිසිය භාරව හිටියේත් ජනාධිපතිතුමා බව රටට මතක් කරලා දෙන්නයි. ඒ තුළ රටේ ආරක්ෂාවේ සියලු වගකීම් තිබුණේ කාටද කියලා සියලු දෙනාම තේරුම් ගන්නයි මම ඒ පැහැදිලි කිරීම කළේ. අගමැතිතුමා හා ආරක්ෂක රාජ්‍ය ඇමැතිතුමා රටේ ආරක්ෂාවට අදාළ තීන්දු ගන්නා ආරක්ෂක මණ්ඩලයවත් මාස 07 කින් කැඳවීම් කරලා නෑ. ඔය අත්‍යවශ්‍ය ආරක්ෂක කවුන්සිලය මාස ගණනකින් රැස්වෙලා නැති බවටත් තවත් කතා යනවා. එවැනි පසුබිමක අගමැතිතුමා හා ආණ්ඩුව මේ ප්‍රශ්නයේදී පතුරු ගහන්න යමෙක් උත්සාහ කරනවා නම් ඒක ඉතා අශිෂ්ටයි. දෙපැත්තේ අය බෝල පාස් කරගන්නා අතරේ රාජ්‍ය ආරක්ෂාවේ විශාල ‘හිලක් තිබීම’ තුළ නේද අයි.එස් ත්‍රස්තයන් ප්‍රහාර සඳහා ලංකාව තෝරා ගත්තේ කියන එක පිළිගන්නවද? එහෙම පසුබිමක් තිබෙනවා. අාරක්ෂාවේ ‘හිලකට’ වඩා ආරක්ෂාවට අදාළ සියලු වගකිවයුත්තන් හා නිලධාරින්ගේ නොසැලකිලිමත්කම සියල්ලට මුලයි. අදාළ නිලධාරින් දෙන්නෙකු පිටින් සියලු වගකීම් යවලා කාටවත් ඇඟ බේරගන්න බැහැ. ජනාධිපතිතුමාට දැන් ඇමැතිකම් දරාගන්න බැරි ප්‍රමාණයක් හා ආයතන 50 කට වඩා තියෙනවා. තනි කෙනකුට එවැනි රටේ තීරණාත්මක වගකීම් එක්ක රාජ්‍ය නායකත්වය කියන සියල්ලට වඩා විශාල වගකීම දරන්න පුළුවන්ද? එහෙම නම් එතුමා විශ්වකර්මයෙක් වෙන්න ඕනෑ. ඒ තුළත් යම් ගැටලු ආවා වෙන්න බැරි නෑ. ජේ.ආර්. යුගයේදී ඇතුලත්මුදලිට ජාතික ආරක්ෂක ඇමැතිකම දීලා එතුමා හරහා රාජ්‍ය ආරක්ෂාවට විශාල ශක්තියක් ලබා ගත්තා. ප්‍රේමදාස යුගයේදී රන්ජන් විජේරත්නට ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිකම දීලා දකුණේ ත්‍රස්තවාදයෙන් රට මුදවා ගත්තා. චන්ද්‍රිකාගේ කාලේ අනුරුද්ධ රත්වත්තෙට ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිකම දීලා යාපනේ බේරා ගත්තා. මහින්ද යුගයේ පවා විමධ්‍යගත කරලා සෙසු පිරිස්වලට රටේ ආරක්ෂාව ගැන වගකීම් පවරලා තිබුණා. ඒත් වත්මන් ජනාධිපතිතුමා රාජ්‍ය ආරක්ෂාවට අදාළ පොලිසිය ඇතුළු සියලු වගකීම් තමා තනිවම භාරගෙන සියල්ල කරන්න යාම තුළ අතපුසවීම් සිදුවීම ස්වභාවික බව ආරක්ෂක විශේෂඥයන්ගේ මතයයි. එජාපයේ සමහර ඇමැතිවරු හා මන්ත්‍රීවරු ජනාධිපති එක්ක ‘ඩීල් දැම්මා’ මිසක ආණ්ඩුවට අයිති එම ඇමැතිකම් හා ආයතන යළි ලබා ගැනීමට සටන් නොකළේ ඇයි? එජාපය කියන්නේ විනයක් සහිත රාජ්‍ය තාන්ත්‍රික බව ඉහළින් අනුගමනය කරන පක්ෂයක්. අපි ගෞරවනීය ලෙස ජනාධිපතිතුමා එක්ක කීප විටක් මේ ගැන කතා කරලා තියෙනවා. එජාපය නීතිය හා සාමයට ඇමැති කෙනෙක් නම් කරලත් යැව්වා. එතුමා කිව්වේ තව ටික දවසකින් ඒක ලබා දෙන්නම් කියලයි. නොදුන්නේ ඇයි කියන එකත් දැන් එතුමාමයි පැහැදිලි කළ යුත්තේ. පොලිසියේ අඩුපාඩු පවා ඔබත්, සාගලත් නිවැරදි කර තිබුණේ නැති බවත් ‘‘ජීප්’’ නැති පොලිසි 32 ක් තිබෙන බවත් ජනාධිපතිතුමා චෝදනා කළේ නැද්ද? ඒ චෝදනාව ඉතා අසාධාරණයි. ජීප් 700 ක් රටට ගේන්න කැබිනට් අනුමැතිය අරන් ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් සල්ලිත් ලබාගෙන තිබූ බව එතුමාට අමතක වීම ගැන මම ඉතා කනගාටු වෙනවා. මාස 07 ක් ගිහිනුත් ඒ ජීප් තාම නෑ. එතුමා එහෙම චෝදනා කිරීම වැරදියි. චෝදනා කරනවා නම් කටට එනවට නෙවෙයි, සාක්ෂි සහිතව කළ යුතුයි. අපටත්, ශ්‍රීලනිපයේ අය ගැන කියන්න ඕනතරම් දේ තියෙනවා. ඒත් වගකීමෙන් කතා කරන්න කාටවත් ප්‍රහාර එල්ල කරන්න එපා කියලා අගමැතිතුමා අප කාටත් උපදෙස් දීලා තියෙන්නේ. පළාත් පාලනවලදී පොහොට්ටුව දිනෙව්වේ කව්ද කියලා විතරක් තම හෘද සාක්ෂියෙන් විමසා බලන්න කියලා විතරක් මම ශ්‍රීලනිප අයට ගෞරවයෙන් මතක් කරනවා. මේ ටිකවත් මම කිව්වේ රට දැනුවත් කරන්නයි. මේ ප්‍රහාරයෙන් පසු ජනපති හා විපක්ෂය චෝදනා කරන්නේ ආණ්ඩුව හමුදාව දුබල කර බුද්ධි අංශ හිරේ දැමීම සියල්ලට මුල බව නේද? 2015 දී අපි එනකොට තිබූ පැහැර ගැනීම්, මිනීමැරුම්වලට අදාළ සුදුවෑන් සංස්කෘතිය අපි නැති කළා. ජනාධිපතිතුමා හා ආණ්ඩුවට ඒ ගෞරවය හිමියි. මාධ්‍යවේදීන් සිවිල් ක්‍රියාකාරිකයන්, ක්‍රීඩකයන්ට මාධ්‍ය ආයතනවලට අත් වූ ඉරණම ජනතාවට මතකයි. රණවිරුවෙක් බුද්ධි අංශ සාමාජිකයෙක් වූ පලියට එවැනි මිනීමැරුම්, පැහැරගැනීම්, අතුරුදන්වීම් කරන්න අයිතියක් නෑ. දරුවන් 11 ක් පැහැරගෙන වද දීලා කප්පමුත් අරගෙන ඒ අය අතුරුදන් කළා. අදටත් දේහයන් පවා නෑ. ඒවා ගැන නීතිය ක්‍රියාත්මක වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණ කරලා නීතිපති එකේ අනුමැතිය මතයි ඒ සැකකරුවන් කොටු කළේ. 10,000 ක් සිටින බුද්ධි අංශයේ 7 දෙනෙක් විතරයි රිමාන්ඩ් එකේ ඉන්නේ. ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඇතුළු සෙසු බුද්ධි අංශ සියල්ලෙම දහස් ගණනක් ක්‍රියාකාරීව තම රාජකාරි කරන අතරේ මේ හත් දෙනා නැතිවීම තුළ බුද්ධි අංශ දුබල වූ බව කීම පුදුමයක්. ජනාධිපතිතුමා හා එක එක්කෙනා කියන බොරුවලින් නොමග ගිය ඇතැම් භික්ෂූන් මේකම කීමයි මහම පුදුමය වෙන්නේ. 2015 ට වඩා හමුදාව පොලිසියට තවත් බඳවාගෙන වැඩිවරප්‍රසාද වැටුප් හා පහසුකම් දීලා මේ රජය ඒවා ශක්තිමත් කළා. අාරක්ෂක අමාත්‍යාංශයට වැඩිම මුදලක් වෙන් කළේ මේ රජයයි. බුද්ධි අංශ නිසි වේලාවට සියලු තොරතුරු සොයලා දුන්නා. ඒත් ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළම සිට පහළ දක්වා අය ඒ අනුව ක්‍රියාත්මක නොවීමයි ප්‍රධානම ගැටලුව වුණේ. අගමැති හා ආණ්ඩුවට ඒ තොරතුරු ලබා දීලා නැහැ. ලබාදුන්නා නම් මේ විනාශය වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. කනගාටුව එයයි. මෙම ප්‍රහාර ගැන ජනපති ආරක්ෂක ලේකම් හා එම අමාත්‍යාංශ ඉහළම අය වීඩියෝ හා සිතියම් පවා පෙන්වමින් දැනුවත් කළ බව බුද්ධි අංශත් සියලු බුද්ධි තොරතුරුත් වෙලාවට වාර්තා කළ බව පොලිසියේ ඉහළම පිරිසුත් කියද්දී ‘අපි දන්නේ නෑ’ කීමේ හතර බීරි කතාව මොකක්ද? ජනපති ලෙස වැඩ අධික නිසා රාජ්‍ය ආරක්ෂාවට වගකිවයුතු නියෝජ්‍ය තනතුරු ඇති කරලා අතීතයේ වගේ වැඩ බෙදා හැරිය යුතු බව අපි කියන්නෙත් ඔය නිසයි. එජාප කණ්ඩායම් රැස්වීමේදී සඳුදා අපි තීන්දු කළේ නීතිය, සාමය ඇමැතිකම මේ රටේ හොඳම හමුදාපති හා වසර 30 ක කොටි ත්‍රස්තවාදය නැති කරන්න සැලසුම හදලා වැඩ පෙන්නපු ෆොන්සේකා මහතාට දිය යුතුයි කියලයි. අපි ඒ ගැන ජනපතිට ‘‘බල කරනවා.’’ අැමැති සංඛ්‍යාව 30 ඉක්මවන්න බැරි බවට ජනාධිපතිතුමා කියාවි කියලා තර්ක මතුවුණා. මේ වෙලාවේ සංඛ්‍යාව නොවේ රටේ ආරක්ෂාවයි තහවුරු කළ යුත්තේ. පාර්ලිමේන්තුවේ සමහරු ඒකට විරුද්ධ වේ නම් ඔවුන් ද්‍රෝහීන්. 30 සංඛ්‍යාව ඉක්මවන්නම බැරිනම් ඇමැතිකම පූජා කරන්න අර්ජුන ඇතුළු ඇමැතිවරු සූදානම්. මේ ආණ්ඩුව තනතුරු හෝ බල කෑදරකමට වඩා රට පෙරට කියලයි ක්‍රියා කරන්නේ. මම මීට වඩා ඒ ගැන කතා කරන්නේ නැත්තේ එහෙම වුණොත් නොයෙක් දෙනාගේ රෙදි ගැලවෙන නිසයි. ඒත් මහින්ද රාජපක්ෂ ෆොන්සේකාගේත් ඔහු මහින්දගේත් පිටවල් මාරුවෙන් මාරුවට කසාගත් බව පාර්ලිමේන්තුවේදී පෙනුණා. ෆොන්සේකා බිලිබෑමේ ක්‍රියාවලියක් යන බවට පවතින රාවය ගැන මොකද කියන්නේ? රට යුද්දෙන් බේරපු සැලසුම් හදලා යුද්ධය දිනපු ෆොන්සේකා ඒ ජයග්‍රහණයෙන් පස්සේ හමුදාව දාලා රට අල්ලන්නේ නැතිව ප්‍රජාතන්ත්‍රවාදීව ජනපතිවරණයට ආව කියලා කකුල් දෙකෙන් ඇදගෙන ගිහින් අසාධාරණව හිර කරපු පිරිස එක්ක යළි දීග යන්න තරම් ෆොන්සේකා ලැජ්ජා නැති හා දීන කෙනෙක් වේවි කියලා මම විශ්වාස කරන්නේ නෑ. ගෝඨාභය යටපත් කරන්න මේ වෙලාවේ රාජපක්ෂ පවුලම ෆොන්සේකා වර්ණනා කළ බවටත් ඉතා පිළිගතහැකි තර්කානුකූල විග්‍රහයක් රට තුළ තියෙනවා. මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් යමෙක් පටු දේශපාලන වාසි ලබන්න දඟලනවා නම් ඔහු මනුෂ්‍යත්වයට නිගා දෙන කෙනෙක්. විපක්ෂයේ හුඟ දෙනෙක් තවම වගකීමෙන් කතා කිරීම අපි අගය කරනවා. ඒත් බලයට කෑදර උන්මත්තක මානසිකත්වයක් ඇති ජාතිවාදීන් කිහිප දෙනෙක් දැඟලීම ජනතාව හෙළා දකිනවා. තවත් සමහරු මේ බෝම්බය අස්සෙත් තම ජනපති අපේක්ෂකත්වය තහවුරු කරගන්න දඟලන එකත් ගෞරවනීය ක්‍රියාවක් නෙවෙයි. අැතැම් ජනමාධ්‍යයත් මේ වෙලාවේ වගකිව යුතු ලෙස මෙන්ම පටු තැනක ඉඳලා ක්‍රියා කරන ආයතනත් තියෙනවා. මුලින්ම රට කියලා හිතන්නැයි මම කාගෙනුත් ඉල්ලනවා. නවසීලන්තයේ පල්ලියේ ඝාතනවලින් පසු එරට පක්ෂ විපක්ෂ දේශපාලකයන් හා ජනමාධ්‍ය හැසිරුණු විදිය ආදර්ශයට ගන්න. එජාප ඡන්ද පදනම මේ බෝම්බ ප්‍රහාරය විසින් සුනුවිසුණු කළ බව ඔබ පිළිගන්නවාද? එජාපයට එවැනි කිසිම දේශපාලන අනතුරක් නෑ. මේ බෝම්බ පිපිරුවේ කවුද? ඔවුන් පෝෂණය කළේ කව්ද? මේ අවස්ථාවේ රාජ්‍ය ආරක්ෂාව භාරව සිටි අය ගෙන් සිදු වූ ප්‍රමාද දෝෂ හා අතපසුවීම් මොනවාද, එජාපයට මෙහිදී කිසිවක් කරකියාගත නොහැකි ලෙස ආරක්ෂාවට අදාළ කිසිදු වගකීමක් නොතිබූ බව ආදී සියලු කරුණු ජනතාව දන්නවා. ඒත් ආණ්ඩුවක් ලෙස සාමූහික වගකීම, අපි භාර ගන්නවා. වැරැද්ද කා අතද කියලා නොව දැන් රටේ ආරක්ෂාව තහවුරු කරලා රට යළිත් ආර්ථික ලෙස ඉදිරියට තල්ලු කිරීම හා සාමාන්‍ය ජන ජීවිතය ස්ථාපිත කිරීම අපි කාගේත් මූලික ඉලක්කය විය යුතුයි. අපි ඉතා සාර්ථකව හා වේගයෙන් එතැනට එමින් ඉන්නවා. මේ ප්‍රහාරයේ මූලික වගකීම එජාප පැත්තට දාන්න බැරි බව මම වගකීමෙන් යළිත් කියන්නේ රටේ ආරක්ෂාවට අදාළ කිසිදු වගකීමක් අප වෙත නොතිබූ නිසයි. ප්‍රහාරයෙන් පසු හමුදාව පොලිසිය බුද්ධි අංශ තම හැකියාව පෙන්වමින් සිටියත් කොටි ත්‍රස්තවාදය නිම කිරීමට වසර 30 ක් ගිය පසුබිමක මුස්ලිම් ත්‍රස්තවාදය ඉක්මනින් නිම කළ හැකි වේද? පැහැදිලිවම ඔව්. ඉතා වැදගත් ප්‍රශ්නයක් ඔබ මතු කළේ. ආරක්ෂක අංශ. බුද්ධි අංශ අපි දුබල කළා කියන මහ බොරුවට දැන් උත්තර ලැබෙමින් තිබෙනවා. දින කිහිපයකින් සියල්ල පාලනය කළ අපේ රණවිරුවන්ට ඉතා කෙටි කලකින් මේ අන්තවාදී ත්‍රස්තවාදය මේ මහ පොළොවෙන් මුලිනුපුටා දානවා ඒකාන්තයි. සියලු දෙනාගේ සහාය හා ආශිර්වාදය විතරයි ආණ්ඩුවක් ලෙස අපි ඉල්ලන්නේ. අශෝක ජයතුංග
 

More News..