brand logo

දැන් මම පෙම්වතියක්

30 January 2021

හර්ෂි රසාංගා අවුරුදු ගාණක ඉඳන් හුරු පුරුදු රංගන ශිල්පිනියක්. ඇය මුලින්ම ප්‍රේක්ෂකයන්ට හුරු පුරුදු චරිතයක් වෙන්නේ ළමා රංගන භූමිකාවෙන්. සුජාතා ටෙලි නිර්මාණයෙන් හැමෝගෙම ආදරය දිනාගත්ත හර්ෂි දැන් පුංචි තිරයේ පෙම්වතියක් දක්වා දුර ඇවිත්. මම පුංචිම කාලේ මුලින්ම සම්බන්ධ වෙන්නේ වෙළෙඳ දැන්වීම්වලට. හය වසරෙදි තමයි මට ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබුණේ. ඒ රවින්ද්‍ර විජේරත්න මහත්මයා අධ්‍යක්ෂණය කළ සුජාතා ටෙලි නාට්‍යය. පළමු ටෙලි නාට්‍යයෙන්ම මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. බොහෝ අයට ජනප්‍රිය වෙන්න කාලයක් ගියාට මට වාසනාවකට වගේ බොහෝ දෙනාගේ ආදරය ලැබුණා පුංචි කාලෙදීම. අදටත් සුජාතා නාට්‍යයේ හිටපු පුංචි රංගන ශිල්පිනිය විදිහට මාව හඳුනගන්න බොහෝ පිරිසක් ඉන්නවා. අවුරුදු දහයක් වගේ කාලයක් ඇතුළත මේ වගේ තැනකට එන්න ලැබීම ඇත්තටම සතුටක්. රංගන ශිල්පිනියක් වෙන්න හිතේ තිබ්බ හීනයක් හර්ෂිව මේ තරම් දුර එක්ක ආවද කියන ප්‍රශ්නයටත් ඇය පිළිතුරදැන් මම පෙම්වතියක්ක් දුන්නා. රංගන ශිල්පිනියක් වෙන්න මට එහෙම හීනයක් බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. හැබැයි මාව හම්බෙන්නත් කලින් අම්මටනම් ඒ වගේ හීනයක් මං ගැන තිබිලා තියෙනවා. අම්මා කවදාවත් එයාගේ හීනය මගේ ඔළුවට දැම්මේ නැහැ. දෛවය නිසා වෙන්න ඇති මට රංගන ශිල්පිනියක් වෙන්න ලැබුණා. අහම්බෙන් තමයි මට ඒ අවස්ථාව ලැබුණෙත්. සුජාතා ටෙලි නිර්මාණයෙන් පස්සේ සමනලුන් පියාඹයි, අනන්තා, හුස්මක් තරමට වගේම කුමී වගේ නාට්‍ය කිහිපයකිනුත් අපිට හර්ෂිව මුණගැහුණා. මේ දවස්වලත් ඇය රංගනයට කාර්යබහුල ශිල්පිනියක් කියලයි ආරංචි වුණේ. මම මේ දවස්වල හදවතේ කතාවේ තත්සරණි සහ තාදි ටෙලි නාට්‍යයේ සමන්ති කියන චරිතවලින් තමයි ප්‍රේක්ෂකයන්ට මුණ ගැහෙන්නේ. තත්සරණි කියන්නේ අහිංසක චරිතයක්. සමන්ති කියන්නේ කටකාර, දඟකාර ඒත් අහිංසකකමත් තියෙන චරිතයක්. ඒ නිර්මාණ දෙකට අමතරව චරිත් අබේසිංහ අයියා අධ්‍යක්ෂණය කරන නම්බර් 9 කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලටත් එකතු වෙලා ඉන්නවා. මෙච්චරකල් අපිට හර්ෂිව මුණගැහුණේ ළමා චරිතවලින්. ඇය මේ වෙනකොට පුංචි තිරයේ පෙම්වතිය වෙලා අඩියක් ඉදිරියට තියලයි තියෙන්නේ. තාදි ටෙලි නාට්‍යයේදි තමයි මට මුලින්ම පෙම්වතියකගේ චරිතයක් රඟපාන්න ලැබුණේ. මම මෙතෙක් කල් කළේ මගේ වයසට සමාන චරිත. මොකද මට තවම අවුරුදු 18යි. තාදි ටෙලි නාට්‍යයෙදි පෙම්වතියකගේ චරිතයක් කරන්න ලැබෙද්දි චරිත් අයියා මට කිව්වේ ඔයාගේ වයසට හානියක් වෙන දෙයක් මේ චරිතය තුළ නෑ කියලා. අවුරුදු 18දී පෙම්වතියකගේ චරිතයක් කරද්දි මගේ නමට හානියක් නොවෙන්න වැඩ කරන්න එයාලා මට උදවු කළා. ඇත්තටම මුලින්ම ඒ වගේ චරිතයක් කරද්දි ලැජ්ජාවක්, සබකෝලයක් තිබ්බා. හැබැයි නාට්‍යයේ හැමෝම සහයෝගයෙන් වැඩ කරද්දි ඒ සබකෝලය ටිකක් අඩු වුණා. නදීමාල් පෙරේරා ගායනා කරන ආදරියේ ගීතයේ මියුසික් විඩියෝවේ නදීමාල්ගේ ආදරවන්තිය වන්නේත් හර්ෂි. ඒ ගැනත් කතා කරන්න අපි අමතක කළේ නැහැ. මම පොඩි කාලේ එකම එක මියුසික් විඩියෝවකට විතරයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මියුසික් විඩියෝවලට සම්බන්ධ වෙන්න මට ආරාධනා ලැබුණත් මම ඒවට සම්බන්ධ වුණේ නැහැ. සජිත අනුත්තර අයියා මට මේ වැඩේට කතා කරලා මියුසික් විඩියෝවේ කතාව කිව්වට පස්සේ ඇත්තටම මට ආස හිතුණා ඒකට සම්බන්ධ වෙන්න. ඒක වෙනස් විදිහේ විඩියෝවක් කියලා තේරුණා. ඒ වගේම නදීමාල් අයියා කියන්නේ මම පුංචි කාලේ ඉඳන් ආස ගායකයෙක්. ඉතිං හරිම කැමැත්තෙන් මේ නිර්මාණයට එකතු වුණා. තාදි ටෙලි නාට්‍ය පටන් ගන්න කලින් ආදරියේ මියුසික් විඩියෝව රිලීස් වුණා. ප්‍රේක්ෂකයන්ට මාව මුලින්ම පෙම්වතියක් ලෙස මුණගැහෙන්නෙත් මේ නිර්මාණයෙන්. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මම බලාපොරොත්තු වුණාටත් වඩා ලස්සන විදිහට නිර්මාණය කෙරිලා තිබුණා. අපි හැමෝම එකතු වෙලා ලස්සනට මේ නිර්මාණය කළා කියලා හිතනවා. සතුටුයි ඒ වැඩේ ගැනත්. නදීමාල්ගේ නිර්මාණයකින් මියුසික් විඩියෝ කලාවට අලුත් ආරම්භයක් තිබ්බ හර්ෂිව ආයෙත් මියුසික් වීඩියෝවලින් දකින්න ලැබෙයිද කියලත් අපි අහලා බැලුවා. බොහෝ වෙලාවට මේක මම සම්බන්ධ වෙන අන්තිම මියුසික් වීඩියෝව වෙයි. හැබැයි මම සජිත අයියගේ වැඩවලට ආසයි. තෝරලා බේරලා එකම රැල්ලේ යන්නෙ නැති හොඳ නිර්මාණයකට මම සම්බන්ධ වෙයි. හර්ෂි පුංචි වයසෙන්ම සිනමාවටත් දොරගුළු හැරගත්ත කෙනෙක්. මම මුලින්ම සම්බන්ධ වුණේ තරු අතර මම කියලා චිත්‍රපටයකට. දිල්හානි ආන්ටි පාලිත අංකල් වගේ ප්‍රවීණ පිරිසක් එක්ක මට ඒ නිර්මාණයේ වැඩ කරන්න ලැබුණා. හැබැයි ඒ නිර්මාණය තවම ප්‍රේක්ෂකයන් අතරට ආවේ නැහැ. ඊට පස්සේ මම සුජාත පුත්‍ර සහ උදුම්බරා කියන චිත්‍රපටවලට සම්බන්ධ වුණා. උදුම්බරා චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබීමත් මට ලොකු අවස්ථාවක් වුණ. ජැක්සන් මාමාගෙන් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. ආයෙත් හොඳ සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න කැමැතියි. මගේ චරිතයට හානියක් නොවෙන ලස්සන හොඳ කතාවක් තියෙන චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ලැබුණොත් සම්බන්ධ වෙනවා. රංගන ශිල්පිනියන් ප්‍රේක්ෂක ආදරයට වගේම විවේචනවලටත් ඉක්මනින් ලක්වෙන කොටසක්. පුංචි වයසක ඉන්න හර්ෂිට ප්‍රසංසා වගේම විවේචන දරාගන්නත් හැකිවෙයිද කියන දේටත් ඇයගෙන් පිළිතුරක් ලැබුණා. ප්‍රේක්ෂකයන් ආදරයට අපි ගැන හොයනවා තමයි. ඒ වුණාට පෞද්ගලිකත්වයට මම ගොඩක් කැමැතියි. සමහර වෙලාවට මගේ නමින් ෆේක් ප්‍රොෆයිල් හදපු අවස්ථාවල මට රංගනයෙන් අයින් වෙන්න හිතුණ අවස්ථා තිබ්බා. හැබැයි දැන් මට දැනෙනවා අපි ආශ්‍රය කරන සමහර අයට එයාලා හිතපුවත් නැති දේවල් වෙලා තියෙනවා. හැබැයි එයාලා ඒවට මුහුණ දීලා අද ලොකු තැනකට ඇවිත් ඉන්නවා. අපි ඇයි පොඩි පොඩි දේවල්වලට වැටෙන්නේ කියලා මං හිතුවා. දැන් මම කවුරු මොනවා කිව්වත් කවුරු මොනවා කළත් මගේ ගමන යනවා. තිළිණි කෞශල්‍යා විජේසිංහ
 

More News..