brand logo

දැන් නම් ආදරෙන් ඈත්වෙලා ඉන්නේ

12 March 2022

මේ දිනවල ‘පාර දිගේ’ බලනවා නම් ඔබට ආන්‍යාව මුණගැහිලා තියෙනවා. සැබැවින්ම සුන්දර යුවතියක් වුණු ආන්‍යා පාර දිගේ කතාව තුළ කුතුහලය රඳවන තවත් එක් චරිතයක් කිව්වොත් නිවැරදියි. කවුද මේ ආන්‍යාට ඉන්නේ කියලා හැමෝම හොයන නිසා පිනිපලස අපි ආන්‍යාට ජීවය ලබා දෙන දේශානි නෙහාරා සමග කළ කතාබහයි මේ... පවුලේ විස්තර අම්මයි, තාත්තයි, මමයි, අක්කයි. තාත්තා ගුවන්තොටුපළ හිටපු කළමනාකාරවරයෙක්. අක්කා හිටපු ගුවන් සේවිකාවක්. අක්කා නම් දැන් විවාහකයි. පාසල් ගියේ සාමාන්‍ය පෙළ දක්වා මරඳගහමුල Clayton විද්‍යාලයට ගියා. උසස් පෙළ කළේ ගම්පහ Wycherley ජාත්‍යන්තර පාසලෙන්. බාහිර ක්‍රියාකාරම් මොනවද කළේ.. ස්පෝර්ට්ස් කරා. කරාටේවලින් තමා ගොඩක් ඉස්සරහට ගියේ. ඒ වගේම ජිම්නාස්ටික්, swimming කරා. කවුරු වෙන්නද සිහින මැව්වේ? නිළියක් වෙන්න නම් ගොඩක් දරුණුවට තිබුණ සිහිනයක්. ඒ වගේම ගුවන් සේවිකාවක් වෙන්නත් මම ආසාවෙන් ඉන්නවා. නිළියක් වෙන්න හිතුවේ කොයි කාලෙද? පොඩි කාලයේ ඉඳලම ආසයි. වැඩියෙන්ම ආස වුණේ සාමාන්‍ය පෙළ කරන කාලේ. ඒ ගැන අම්මටත් කිව්වා. මටත් වැඩිය අම්මගෙත් කැමැත්ත තිබුණා මම මේ ක්ෂේත්‍රයට එනවට. පාසලේදී නාට්‍යවලට සහ කලා අංශයේ වැඩ බොහෝමයකට දායක වුණා. නර්තනය විෂයයක් ලෙසත් හැදෑරුවා.ඒ නිසා කුඩා කාලයේ ඉඳලාම දක්ෂතා තිබුණා. ආන්‍යා වෙන්නේ කොහොමද? ඒක ඇත්තටම අහම්බයකින් වුණු දෙයක්. නිරූපණ ක්ෂේත්‍රයටත් මම ආස කළා. නිරූපණ කටයුතු කරන අතරේ රංගනයට අවස්ථාවක් ලැබෙයි කියලා බලාගෙන හිටියා. ඒත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔහොම ඉන්නකොට ජාන්වි අප්සාරි (දෝනි) නංගිගෙ අම්මයි තාත්තයි හම්බවුණා. ඒ දෙන්නා තමයි චාමර සමරවික්‍රම අයියට මුණගස්සලා මේ අවස්ථාව ලබා දුන්නෙ. මේ පළවැනි නිර්මාණය? ඔව්, මේ මගේ පළවැනි ටෙලි නාට්‍යය. මම හිතුවේ නැති මොහොතක මට ලැබුණු චරිතයක්. මුලදී නම් හිතේ ලොකු බයක් තිබුණා මට කරගන්න පුළුවන් වෙයිද කියලා. කිෂූ සර් වගේ රටේ පිළිගත් චරිතයකගේ දුවක් ලෙස වැඩ කරන්න ලැබීම මට ඇත්තටම සතුටුයි. මගේ පළමු රංගනය මේ වගේ පිරිසක් එක්ක වැඩ කරන්න ලැබීමම ලොකු භාග්‍යයක්. කොහොමද ලැබෙන ප්‍රතිචාර? ඉතා හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. සමහරු මට දැන් ආන්‍යා කියලමයි කතා කරන්නේ. රසික රසිකාවියන්ගෙන් ඉහළ ප‍්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මේ දවස්වල නම් ආන්‍යාට ටිකක් බණිනවා. ඒ නිසා බැණුනුත් අහනවා. ආන්‍යා හින්දා ඉස්සරහට ප‍්‍රශ්න මතුවෙයිද? මම හිතන්නේ නැහැ ආන්‍යා හින්දා ප‍්‍රශ්න ඇතිවෙයි කියලා. ඉස්සරහට කතාව තවත් හොඳ විදිහට ගලාගෙන යාවි. මේ වෙද්දී කතාව එක එක පාරවල්වල යනවා. හැමෝම දැන් පාර දිගේ එක එක පැතිවල ගිහිල්ලා අන්තිමට එකම තැනකදී හමුවේවි. රඟපෑමට ගෙදරින් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද? ගෙදරින් ලොකු සහයෝගයක් හම්බවෙනවා. ඇත්තටම කිව්වොත් තාත්තානම් මුලින් ගොඩක් අකමැති වුණා. ගෙදර කෑගහලා අඬලා තමා කැමැත්ත අර ගත්තේ. දැන් නම් අම්මගෙන් වගේම තාත්තගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ තනියට එන්නේ ඒ දෙන්නා. අම්මා නැත්නම් අක්කා තමා මගෙත් එක්ක ෂූටින් එන්නේ. ‘පාර දිගේ’ තාත්තා බලනවද? ඔව්, තාත්තා බොහොම ආසාවෙන් නාට්‍යය බලනවා. ඒ වගේම දන්න අයගෙනුත් අහනවා නාට්‍යය බලනවද? ආන්‍යාට ඉන්නේ දුව කියලත් කියනවා. දැන් තාත්තා තමා ඔක්කොටම වැඩිය ආස. දේශානි එක්ක අක්කා ෂූටින් ඇවිත් එයත් රඟපාන්න එයිද? එයා නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. එයාට ආරාධනා ලැබෙනවා. ඔයාත් එන්න රඟපාන්න කියලා. මොකද එයා මට වඩා ලස්සනයි. සමහරු කියනවා නංගිට වඩා අක්කා හොඳයි කියලත්. දේශානිට තව ආරාධනා ලැබිලද තියෙන්නේ? ආරාධනා ගොඩක් ලැබුණා. ඒ දේවල් මම පොඩ්ඩක් පසුවට තිබ්බා. ඇයි ඒ? මම හිතුවා මගේ පළමු නිර්මාණයට මුල්තැන දෙන්න ඕනේ කියලා. හැබැයි ඉස්සරහට සලකලා බලනවා. කොහොමද කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය? ඉතාමත් හොඳ සුහදශීලි සහයෝගයක් ලබා දෙනවා. මම ආධුනිකයි කියලා මට කොතැනදීවත් දැනෙන්න දීලා නැහැ. ඒ ලැබෙන සහයෝගය මට ලොකු ශක්තියක් මගේ චරිතය ගොඩ නගා ගන්න. මේකප් කරන අයියාගේ ඉඳන් හැමෝම මට හොඳ සහයෝගයක් ලබා දෙනවා. බොහෝ දෙනා හොයනවා කවුද මේ ආන්‍යා කියලා, සමාජ මාධ්‍ය තුළ ඔබ සක්‍රිය කෙනෙක් නෙවෙයිද? මම සමාජ මාධ්‍ය තුළ ඉන්නවා. නමුත් ලොකුවට නැහැ. ඒ නිසා මාව ටිකක් හොයාගන්න අමාරුයි කියන එක කියලා තියෙනවා. මාව හොයා ගත්තට පස්සේ ඔයාව හොයා ගන්න අමරුයිනේ ආන්‍යා කියලා මැසේජ් පවා එවලා තියෙනවා. ඉස්සර නම් මම සමාජ මාධ්‍ය තුළ හිටියේම නැහැ. මොකද මම එතරම් ආස නැහැ. නමුත් ක්ෂේත්‍රයට ආවට පස්සේ සමාජ මාධ්‍ය ගිණුමක් හැදුවා. දැන් ආන්‍යා නිසා දේශානි නෙහාරා ජනප්‍රියයි, කොහොමද ඒ ජනප්‍රියතාව දැනෙන්නේ? ඒ ගැන ගොඩක් සතුටුයි. මොකද මේක මගේ සිහිනයක් සැබෑවීමක්. ගොඩක් අය දැක්කම අනේ මේ ආන්‍යා නේද කියලා කතා කරනවා. ඒ වගේම ගොඩක් පොඩි ළමයිගෙන් තමා ප්‍රතිචාර ලැබෙන්නේ. දිගටම රඟපාන්නද අදහස? මගේ ඉගෙනීමේ වැඩ කටයුතු කරගෙන යන ගමන් රඟපාන්න තමා බලාපොරොත්තුව. ඒ එක්කම මගේ ගුවන් සේවිකාවක් වීමේ සිහිනයත් තියෙනවා. ඒකට තවම ජොබ් වේකන්සි නැති නිසා රංගන කටයුතු කරගෙන යනවා. චරිතයක් තෝරා ගනිද්දී වැඩියෙන්ම සැලකිල්ලක් දක්වන්නේ මොනවටද? අනිවාර්‌යෙන්ම පිටපත මම බලනවා. මගේ ආත්ම ගරුත්වයට හානියක් නොවන චරිතයක් විය යුතුයි. මොන වගේ චරිතවලටද කැමති? ගොඩක් මම ආස දඟ චරිතවලට. ඒ වගේම දරුණු චරිතවලට තමා මම කැමති. Harley Quinnවගේ චරිතයක් ලැබුණොත් නම් නියමයි. මම හිතනවා මට ඒ වගේ චරිතයක් කරන්න ලෙහෙසි වෙයි කියලා. සිනමාවට ආරාධනා ලැබුණද? තවම නම් සිනමා නිර්මාණයකට ආරාධනා ලැබුණේ නැහැ. ලැබුණොත් පිටපත බලලා මට ගැළපෙන චරිතයක් නම් අනිවාර්‌යෙන්ම භාර ගන්නවා. වෙළෙඳ දැන්වීම් සහ රූප රචනාවලට ආරාධනා ලැබිලද තියෙන්නේ? ඔව් ආරාධනා ලැබුණා. ඒවාට සහභාගි වෙනවා. කරපු ඒවා තියෙනවා. ඒවා ඉස්සරහට එයි. ‘පාර දිගේ"’ අමතක නොවන අත්දැකීම් ඇති... ගොඩක් තියෙනවා. පාරේ සින්දු කියන්න වුණා. පාරේ මිනිස්සු ඉස්සරහ රඟපාලා තිබ්බේ නැති නිසා මුලදී පොඩි ලැජ්ජාවක් සහ බයක් ඇති වුණා. ඒ වගේම මම ලයිසන් අරගෙන මුලින්ම පාරේ ඩ්‍රයිව් කරන්නේ ‘පාර දිගේ’ ටෙලි ඩ්‍රාමා එකට. ඒ දවස නම් මට අමතක වෙන්නෙම නැහැ. ආන්‍යා නම් ආදර සබඳතාවල පැටලිලා ඉන්නේ, එතකොට දේශානි නෙහාරා කොහොමද? ආදරේට ආදරේ කරනවා. ආදරේ කරලත් තියෙනවා. දැන් නම් ආදරෙන් ඈත් වෙලා ඉන්නේ. ඒ නිසා මම හිතන්නේ නැහැ දැන් ආදරේ ගැන. ක්ෂේත්‍රයේ කෙනෙක්ගේ යෝජනාවක් ආවොත්? මම ගතිගුණ තමයි ගොඩක්ම බලන්නේ. ඒ නිසා ක්ෂේත්‍රයේ කෙනෙක්ද කියන එක නෙවෙයි විශේෂ වෙන්නේ. ගතිගුණ හොඳයි නම් මම සලකලා බලනවා. ආන්‍යා සහ දේශානිගේ සමාන අසමානකම් මොනවද? ආන්‍යා උසස් පවුලක කෙනෙක්. නමුත් දේශානි නෙහාරා කියන්නේ සාමාන්‍ය පවුලක කෙනෙක්. සමානතා කිව්වොත් දෙන්නම සරලයි. බොරු සෝබන නැහැ. නිළියක් විදියට ඉන්නවද? ගුවන් සේවිකාවක් වෙනවද කියන දෙකෙන් එකක් තෝරා ගන්න වුණොත්... හ්ම්... මම හිතන්නේ නැහැ එහෙම වෙයි කියලා. මොකද ඒක ඒ තරම් ආමාරු ප්‍රශ්නයක්. හැබැයි තවම ගුවන් සේවිකාවක් වෙලා නැති නිසා රංගනය තෝරා ගනියි. දේශානි කියන්නේ අභියෝග භාර ගන්න කෙනෙක්ද? ඔව්, මම අනිවාර්‌යෙන්ම ජීවිතේට එන අභියෝග භාර ගන්න කෙනෙක්. පොඩි කාලේ ඉඳලම මගේ ජීවිතේට එක එක අභියෝග ආවා. ඒ හැම දෙයකටම මම සාර්ථකව මුහුණ දුන්නා. ඒ නිසා ඉදිරියටත් එන අභියෝග භාරගන්නවා. දේශානි සැබෑ ජිවිතේ මොන වගේ චරිතයක්ද? මම නම් පොඩ්ඩක්වත් අහිංසක නැහැ. දන්නා අය දන්නවා. මම ගොඩක් නපුරු දඟ කෙනෙක්. ඒ වගේම මම කැමතිත් නැහැ මම අහිංසකයි කියලා හිතනවට. මොකද සමහරු අහිංසකයි කියලා පෙන්නුවට එහෙම අහිංසක නැහැ. මම කැමති නැහැ පිටින් අහිංසක විදියට ඉඳලා ඇතුළතින් වෙනස් වෙන්න. අනික මම අහිංසකයි කියන එක දුර්වලකමක් විදියට දකින්නේ. අහිංසක වුණාම මිනිස්සු ඔළුවට අත හෝදන්න එනවා. ඒකට මම ආස නැහැ. කරාටේ දන්න නිසා කට්ටිය බය කරන් ද ඉන්නේ? ඔව්. බය කරලා තියන් ඉන්නවා. සමහර වෙලාවට කරාටේ කරලා පෙන්වන්න කියලත් තියෙනවා. එතකොට කරලා පෙන්වනවා. ඉතින් කට්ටිය කියනවා මෙයාගෙන් නම් පරිස්සම් වෙලා ඉන්න ඕනේ කියලා. අනූෂා රණසිංහ
 

More News..