brand logo

දැන් කොළඹදී පෙන්වනවා ස්විස් තානාපති නාඩගම

09 December 2019

කොළඹ තානාපති කාර්යාල සිය ගණනක් තිබුණද දෙසතියක් පුරා මුළු රටේම කතාබහට ලක්වන තානාපති කාර්යාලය වන්නේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය ය. එය මුලින්ම ආන්දෝලයට ලක්වූයේ ජනපතිවරණයෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කන්දප්පා ස්විස්ටර්ලන්තයට දේශපාලන රැකවරණ පතා පැන යාම නිසාය. එම කතාවේ උණුසුම යන්නත් පෙර ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය යළි කරළියට ආවේ එහි සේවය කරන කතක් සුදු වෑන් රියකින් පැහැරගත් බවට කෙරෙන චෝදනාව නිසාය. එහෙත් මෙම චෝදනාවත් සමග තානාපති කාර්යාලය දැන් සිටින්නේ අර්බුදයකය. ඒ මෙකී චෝදනාවේ විශ්වසනීයත්වය ගැන බරපතළ ප්‍රශ්න ඇතිවෙමින් තිබෙන බැවිනි. සුදු වෑන් රථයකින් ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක් නොවැම්බර් 25 වැනි සඳුදා දිනයේ පැහැරගෙන ගොස් ඇතැයි මුලින්ම හෙළිකර තිබුණේ ශ්‍රී ලංකාවේම වෙබ් අඩවියකය. නොවැම්බර් 26දා රාත්‍රි 9.44ට පළවූ එම පුවතින් කියැවුණේ මෙම පැහැරගැනීම ගැන කතා කරන්නට ස්විස් තානාපතිවරයා අගමැති මහින්ද රාජපක්ෂව බදාදා (27දා) මුණගැසෙන බවය. ඒ වනතුරු රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ශ්‍රී ලංකා රජයට කිසිදු දැනුම්දීමක්වත් කර තිබුණේද නැත. ශ්‍රී ලංකාවේ වෙබ් අඩවියේ තොරතුරු සඳහන් කරමින් ස්විස් ඉන්ෆෝ (Swissinfo.com) නමින් වූ එරට වෙබ් අඩවියක් බ්‍රහස්පතින්දා (27දා) දිනයේ මෙම සිද්ධිය වාර්තා කළේය. මේ සම්බන්ධව මෙරට ස්විස් තානාපති හාන්ස් පීටර් අගමැතිවරයා හමුවී මේ ගැන නිල වශයෙන් දැන්වූයේය. ඒ අනුව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න ඇතුළු කණ්ඩායමක් මෙරට ස්විස් තානාපති කාර්යාලය වෙත ගියද සිද්ධිය සම්බන්ධව පෞද්ගලිකව තොරතුරු දීම තානාපති නිලධාරිනිය ප්‍රතික්ෂේප කළාය. ඇගේ අනන්‍යතාව දැඩි රහසක් සේ රකින්නට තානාපති කාර්යාලය උත්සාහ කළේය. ශ්‍රී ලංකා රජය ඉක්මන් විමර්ශන ඇරඹීමත් සමග ස්විස් තානාපතිවරයා වෙනුවෙන් එහි දෙවැනි නිලධාරී රාහුල් ඉන්බාජ් ලිඛිත පැමිණිල්ල පොලිස් දෙපාර්තමේන්තුවට ගෙනැවිත් දුන්නේ තානාපතිගේ අත්සනින්මය. පැමිණිල්ලට අනුව සිද්ධියට මුහුණ දුන් නිලධාරිනිය ගැන තොරතුරු අතිශය රහසක් විය. පැමිණිල්ලට අනුව ඇය තානාපති කාර්යාලයෙන් පිටව යන්නේ පස්වරු 4.15ට පමණය. ඇය එතැනට ඌබර් ටැක්සියක් ගෙන්වාගෙන කුරුඳුවත්තේ පිහිටි ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය වෙත ළමයින් දෙදෙනාගේ දෙමාපිය රැස්වීමක් සඳහා පිටව ගිය බව පැමිණිල්ලට අනුව කියවුණේය. සුදු පැහැති කාර් රථයකින් කුරුඳුවත්ත පොලිස් වසමේ වූ ශාන්ත බ්‍රිජට් කාන්තා විදුහල අසලදී ඇයව පැහැරගත් බව පැමිණිල්ලට අනුව සඳහන්ය. පැහැරගෙන යන අතරේ වදහිංසා පමුණුවා ලිංගික හිංසනයට ලක්කර ඇති බවත් සඳහන්ය. ඇය තානාපති කාර්යාලයට පවසා ඇති ආකාරයට ජංගම දුරකථනය බලෙන් පැහැරගෙන පරීක්ෂාවටද ලක්කර ඇත. ස්විස්ටර්ලන්තයට පැනගිය පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සමග ඇති සබඳතාව ගැනත් ඇගෙන් ප්‍රශ්න කර තිබුණු බවත් එම පැමිණිල්ලෙන් කියැවුණේය. ස්විස් තානාපති කාර්යාලය අතිශය රහසිගත දෙයක් ලෙසින් මෙම නිලධාරිනියගේ තොරතුරු වසන් කළේ ශ්‍රී ලංකා රජයත් නොමග යවමින්ය. තානාපති කාර්යාලයේ දෙවැනි නිලධාරී රාහුල් ඉන්බාජ් ඉදිරිපත් කළ ලිඛිත පැමිණිල්ලට අනුව ඇය කොළඹ 07, ඩී.ඇස්. සේනානායක මාවතේ වූ තානාපති කාර්යාලයෙන් පිටවෙන්නේ පස්වරු 4.15ට පමණය. ඇය ඌබර් ටැක්සියක් (Uber) ගෙන්වා ගන්නේ ඇගේම ජංගම දුරකථනයෙන්මය. සුදු වාහනයකින් ඇයව පැහැරගෙන ගොස් ලිංගික අතවර කර වදහිංසා පමුණුවා ජංගම දුරකථනය පරීක්ෂා කරමින් ප්‍රශ්න කර ඇතැයි කීවද මූලික රහස් පොලිස් පරීක්ෂණයෙන්ම මෙහි තිබූ බොරුව හෙළිවන්නට විය. සුදු වෑන්, සුදු කාර් ගැන කියූ තානාපති කාර්යාලය හා ස්විස් වෙබ් අඩවිවල අතේ පැළවෙන පළවැනි බොරුව හෙළිවන්නේ ඇය ගමන්ගත් මෝටර් රථයේ තොරතුරු සොයද්දීය. රහස් පොලිසියට මෙම කාන්තාව ගැන කිසිදු තොරතුරක් ලබාදී නොතිබුණෙන් මුලින්ම අවධානය යොමුකළේ සිද්ධිය වූ දින හා පසුදින ඒ අවට සීසීටීවී දර්ශන වෙතය. ඩී.ඇස්. සේනානායක මාවතේ සීසීටීවී දර්ශනවලින් එවැන්නක් තහවුරු කරගත නොහැකි විය. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අවට සීසීටීවී කැමරාවලින්ද එවැන්නක් තහවුරු නොවීය. රහස් පොලිසිය කිසියම් හෝ හෝඩුවාවක් සොයා ගැනීමට ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය වෙත යන්නේද එහි වූ ලිපිලේඛන අනුව දෙමාපිය රැස්වීමකට ආ මේ කියන තැනැත්තිය ගැන සොයන්නටය. එහිදී පාසලේ ළමුන් තුන්දහසකගේ පමණ ලේඛනගත තොරතුරු පරීක්ෂා කර දෙමාපියන්ගේ විස්තර අනුව තානාපති කාර්යාලවල සේවය කරන දෙමාපියන්ගේ තොරතුරු එකිනෙක පරීක්ෂා කරන්නට වූයේ මෙය රටේ අවශ්‍යතාවක් වූ නිසාය. එහිදී ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාවක ගැන තොරතුරු තහවුරු කරගත හැකි විය. ඇය ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ය. මරදාන, මාලිගාකන්දේ මහල් නිවාස සංකීර්ණයක ඇය පදිංචි බවත් එහිදී තහවුරු වන්නේය. ඇගේ සැමියා පෞද්ගලික බැංකුවක සේවය කරන බවද හෙළිවිය. ස්විස් තානාපති කාර්යාලය අබිරහස් කාන්තාවක ලෙස සඟවාගත් ගානියා බැනිස්ටර්ගේ වෙස්මුහුණු මෙන්ම ස්විස් තානාපති කාර්යාලයේ නිරුවත හෙළිවන්නට වූයේ මින් පසු කළ විමර්ශනවලදීය. මෙම කාන්තාව දරුවන් දෙදෙනාගේ දෙමාපිය රැස්වීමක් සඳහා පිටත්ව ගිය බව තානාපතිගේ ලිපියේ සඳහන් විය. නමුදු එදින ඇයව දෙමාපිය රැස්වීමකට පාසලෙන් කැඳවා තිබුණේ නැත. ගුරුවරියක් විසින් දරුවන්ගේ දෙමාපියන් අටදෙනකුව පමණක් එදින (25දා) පාසලට කැඳවා ඇතත් ගානියාගේ දරුවන් සම්බන්ධව කැඳවීමක් පාසලෙන් කර නොමැති බව කියැවුණේය. පාසලෙන් සොයාගත් ජංගම දුරකථන අංක අනුව එම සිද්ධිය වූ දිනයේ ක්‍රියාත්මක වූ ආකාරය ගැන දුරකථන සංඥා කුලුනු මාර්ගයෙන් නිරීක්ෂණය කරන්නට වූයේය. මේ අනුව ගානියාගේ දුරකථනයෙන් ඌබර් ටැක්සි සේවාවෙන් කාර් රථයක් ගෙන්වාගෙන ඇතැයි අනාවරණය විය. ඉන්දියාවේ ඌබර් සමාගමේ සහායද ඇතිව ටැක්සි රථ රියැදුරා හඳුනාගෙන ඔහුගේ වාහනය ගමන්ගත් මාර්ගය හා ගානියා ආගිය තැන් විමර්ශනයට ලක් කළේය. සුදු පැහැති වෑන් හා සුදු පැහැති කාර් ගැන කීවත් ගානියා පිටත්ව ගොස් ඇත්තේ රතු පැහැති මෝටර් රථයකිනි. ඇගේ ගමන් මාර්ගය අනුව ඇය ගොස් ඇත්තේ බම්බලපිටියේ නිවසකටය. එම නිවසේ සිට ඇත්තේ වයසක යුවළකි. ඒ ගුරුවරියකගේ ගෙයක් බව කියැවුණේය. එහිදී පැය එකහමාරක් පමණ කාලය ගතකර දුරකථන ඇමැතුම් කිහිපයක්ද ගෙන ඇති ඇය මීළඟට ගොස් තිබුණේ මාලිගාකන්ද නිවසටමය. ගාලුපාරේදී මැය කොළ පැහැති ත්‍රිරෝද රථයකට නගින ආකාරයේ දර්ශනයක් සීසීටීවී දර්ශනවල වුවත් එහි අංකයක් හෝ පැහැදිලි දර්ශනයක් සොයාගත නොහැකි වී තිබුණේය. ඌබර් රියැදුරාට අනුව මෙම කාන්තාව මාලිගාකන්ද නිවසටම ඇරලවා ඇති බව කියැවුණේය. මෙම තොරතුරුවලට අනුව මාලිගාකන්ද මහල් නිවාස සංකීර්ණය වෙත රහස් පොලිස් නිලධාරීන් යන්නේ එහිදී තොරතුරක් සොයාගැනීමටය. එහි නිවස වසා දමා තිබුණේය. ගානියා පවුලේ අයත් සමග පිටරට ගිය බවට මුරකරුට පැවසුවේ ගානියාගේ මව ‘‘අපේ දුවලා ඇඳුම් අරගෙන රට ගියා’’ යැයි මුරකරුට කියා තිබුණ නිසාය. ගානියාගේ මවගේ මව පමණක් සොයාගෙන ප්‍රකාශ සටහන් කළද ඇය කියා තිබුණෙත් ඔවුන් ඇඳුම් රැගෙන පිටව ගිය බවය. මෙම පැහැර ගැනීමේ චෝදනාව සම්බන්ධව ස්විස් තානාපති කාර්යාලයෙන් දුන් තොරතුරු පරස්පර බවට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරන්නේ දෙසැම්බර් 01දාය. සීසීටීවී දර්ශන, ඌබර් ආයතනයෙන් ලබාගත් වාර්තා, දුරකථන වාර්තා, ජීපීඑස් දත්ත එකිනෙකට නොසැසඳෙන බව එම නිවේදනය නිකුත් කර ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න ඇතුළු නිලධාරීන් එදින (01දා) ස්විස් තානාපති කාර්යාලයට ගොස් ස්විස් තානාපති හෑන්ස් පීටර් හා නියෝජ්‍ය තානාපතිවරිය හමුවී මේ ගැන දැන්වූහ. පරීක්ෂණ ඉදිරියට කරගෙන යාමට නම් සිද්ධියට මුල් වූ ගානියාගෙන් ප්‍රකාශයක් ගැනීමටත්, වෛද්‍ය වාර්තාවක් ගැනීමටත් අවශ්‍ය බවට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය දැන්වීය. තානාපති නිලධාරිනියගේ නම අද වනතුරුත් හෙළි නොකරන ස්විස් බලධාරීන් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කළ එරට විදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ගානියා බැනිස්ටර්ගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඇගෙන් ප්‍රශ්න කළ නොහැකි බවත්, ඇගේ සෞඛ්‍ය තත්ත්වය සියල්ලටම වඩා ප්‍රමුඛ බවත් ශ්‍රී ලංකා රජයට දැන්වීය. ගානියා බැනිස්ටර්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවට ස්විස් රජය තීරණය කර තිබුණේ එරට සිට වෛද්‍යවරයකු වීඩියෝ කෝල් තාක්ෂණය ඔස්සේ කළ පරීක්ෂාවකින් බවද හෙළිවූයේය. ගානියා බැනිස්ටර්ව ගිලනුන් ගෙන යන ජෙට් යානාවකින් එරටට ගෙන යාමට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය ඉල්ලීමක් කළද අනන්‍යතාව ඔප්පු නොකරන ශ්‍රී ලාංකික කතක වූ ඇයට රටින් පිටව යාමට අවසර දීමට නෛතික බලයක් විදේශ කටයුතු අමාත්‍යාංශයට නොමැති බව පෙන්වා දුන්නේය. යම් ආකාරයකින් ඇය විදේශගත වුවහොත් මෙම විමර්ශනය මෙතැනින් අහවර වන බවත්, ශ්‍රී ලංකාව අසත්‍ය චෝදනාවක් නිසා අවමානයට පත්වන බවත් තේරුම්ගත් නීතිවේදීන් වහාම ඇයව විදෙස්ගත වීම වැළැක්වීමට අධිකරණ නියෝගයක් ගැනීමට උපදෙස් දුන්නේය. අපරාධ නඩු විධිවිධාන සංග්‍රහ පනතේ 109 (06) වගන්තිය අනුව ගානියා බැනිස්ටර්ට රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි සඳුදා (02දා) දිනයේම භාරදෙන්නේ ඇගේ මාලිගාකන්ද හා ජාඇල නිවාසවලටත්, ස්විස් තානාපති කාර්යාලයටත් සැමියා සේවය කරන බැංකුවටත්ය. පසු දිනම (03දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය වෙත කරුණු දක්වමින් ලබන 09දා තෙක් රටින් පිටවීම තහනම් කරමින් විදෙස් ගමන් තහනම් නියෝගයක් පනවන්නේ ඊට පෙර රහස් පොලිසියට ප්‍රකාශයක් ලබාදෙන්නට නියෝග කරමිනි. සිකුරාදා (06දා) වනතුරුත් ගානියා බැනිස්ටර් ගැන තොරතුරක් නොවීය. ඇය පවුල පිටින්ම ස්විස් තානාපති කාර්යාලය මගින් සඟවා ඇතැයි කියැවුණද තානාපති කාර්යාලයට පිවිසීමට ලංකාවේ නිලධාරීන්ට නොහැකිය. ඒ වියානා සම්මුතිය අනුව තානාපති කාර්යාල බිම එරටට අයත් බැවිනි. කෙසේ වුවත් ඇයට තානාපති මුක්තිය හිමිවන්නේ නැත. ඒ ඇය එහි සේවය කරන ශ්‍රී ලාංකික කතක් වීම නිසාය. ලක් රජය අපහසුතාවට පත් කරන්නට ස්විස් තානාපති කාර්යාලය තවත් නාටකයක් ඉදිරිපත් කර ඇති බව පැහැදිලිය. එහෙත් එහි තිර පිටපත ඉතා දුර්වල බව මේ කතාව හෙළිවන විට දැන් හොඳටම පැහැදිලිය.
 

More News..