brand logo

දැන් කණ්ඩායමේ රැඳෙන්නනම් දක්ෂතා දක්වන්නම වෙනවා 

24 September 2022

මම කරපු ක්‍රීඩාව මම වට්ටන්නෙත් නෑ මාව වට්ටන්නත් බෑ

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට නොවූ විරූ පණක් ලැබිණි. ඇදහිය නොහැකි ජයග්‍රාහී හැකියාවක් පිළිබිඹු විණි. දසුන් ශානක ප්‍රමුඛ ජාතික කණ්ඩායමේ අපල කාලය ගෙවෙමින් බඹරය වැල්ලේද කැරකෙන කාලයක් පැමිණ ඇති වගක් දිස්වුණි. නමුදු ‍එය වාසනාව හෝ අහම්බයක් නොවීය. එකෙක් වැටෙන විට අනෙකා නැගිට පහර දුන්නේය. ඒ හැකියාව, ඒ ශක්තිය, ඒ කණ්ඩායම් ගැළපීම පසුපස සිටි අදිසි හස්තයක් විය. රැඩිකල් තීන්දු තීරණ ගත් මිනිසෙක් විය. ඒ තීරණ නිසාම සමාජයෙන් පහර කෑ මිනිසකු විය. එසේ පහරකමින් ඔහු සිය ස්ථාවරයේ නොවෙනස්ව රැඳී සිටීමේ ප්‍රතිඵල අද රටක් භුක්ති විඳිමින් සිටියි. අදටද ජයග්‍රහණය පසුපස නිහතමානී නිහඬතාවක් රකිමින් සිටින ඔහුගේ හඬ මෙසේ අවදි කරවීමට අපට හැකිවිය. ඔහු ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝදය වික්‍රමසිංහය.

කාලයක් ඔබ රටේ ක්‍රිකට් ලෝලීන්ගෙන් මදි නැතිව බැණුම් ඇහුවා. දැන් ගල් වෙනුවට මල් එන කාලෙද?

ගල් එනවද මල් එනවද කියනවාට වඩා රටේ මේ වන විට ක්‍රිකට් සම්බන්ධයෙන් යම් පිබිදීමක් ඇතිවෙලා තිබෙනවාද කියන එක ගැන හිතමු. මම මීට පෙර සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් අවස්ථාවේ ඔබත් සමගම කිව්වා අවුරුද්දක් මට කල් දෙන්න කියලා. ඒ වගේම අවුරුද්දකින් දැන් ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. විස්සයි විස්ස විතරක් නෙවෙයි අනිත් සියලුම තරග රටා ගත්තාම ඒ වෙනස පෙනෙනවා. කවුරු මොනවා කිව්වත් මේකේ මූලික සාධකය තමයි ශාරීරික යෝග්‍යතාව කියන දේ. තව පොඩි පොඩි අඩුපාඩු තියෙනවා ඒවා හදාගෙන ලෝකේ ඉන්න පරාජය කරන්න අපහසුම කණ්ඩායමක් බවට අපි පත්වෙනවා අනිවාර්යයෙන්ම.

පළපුරුදු වේග පන්දු යවන්නන් කිසිවෙක් නැතිවයි ආසියානු කුසලානයට ගියේ. එහෙම වෙලත් දිනාගන්න අපට හැකිවුණා. මොකක්ද ඒ රහස?

ඩිල්ශාන් මධුශංඛව කවුරුවත් දැකලා තිබුණේ නැහැ. ඔහුට තවම අවුරුදු 20යි. කොවිඩ් පැවැති සමයේ අපිට අවස්ථාව ලැබුණා කණ්ඩායමට ක්‍රීඩකයින් 20 දෙනෙක් පමණ අරන් යන්න. ඒ ලැබුණු අවස්ථාවේදී අපි කළේ හැම විටම අලුත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ව සංචිතයට ඇතුළත් කිරීම. එහෙම අවස්ථාව ලැබුණු ක්‍රීඩකයින්ගෙන් අයෙක් තමයි ඩිල්ශාන් මධුශංඛ කියන්නෙත්. ඒ විදිහට ඇතුළත් කළ අලුත් අයට අපි කොයි මොහොතකදීවත් තරගයක් දෙන්නේ නැහැ. නමුත් අපි එයාලට ජාත්‍යන්තර තරගයක පසුබිම හුරුකළා, තරග සැලසුම් වෙන්නේ කොහොමද කියලා පෙන්වූවා, පුහුණුවීම් වලදි අපේ හොඳම අයට පන්දු යවන්න අවස්ථාව ලබා දුන්නා. එවැනි අත්දැකීම් අපි ඔවුන්ට කල් තියා ලබා දුන්නා. ඒක කවුරුවත් දැනන් හිටියේ නැහැ. ඒත් මම දන්නවා මේ අය සූදානමින් ඉන්නේ කියලා. ඒ අයව ඕනේ වෙලාවක කණ්ඩායමට දාන්න මට බයක් තිබුණේ නැහැ. ඔවුන්ට යම් චකිතයක් දැනෙනවානම් ඒ එන්නේ පළමු තරගයේදී විතරයි. ක්‍රීඩකයන්ගේ ආබාධයන් හමුවේ ආසියානු කුසලානයේදී මට අවස්ථාව ලැබුණා ඔවුන්ව කණ්ඩායමට යොදවා ගන්න.

ඒ කියන්නේ අපිට දැන් ශක්තිමත් දෙවැනි පෙළක් ඉන්නවා කියන එක?

අනිවාර්යයෙන්. දෙවැනි පෙළක් නිර්මාණය කිරීම තුළින් එතැනින් පියවර කිහිපයක් ඉහළින් ඉන්න ක්‍රීඩකයන්ට පවා තමන්ගේ ස්ථානය පිළිබඳව දැන් අභියෝගයක් තියෙනවා. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. එතකොට තමන්ට ඕනේ වෙලාවට ක්‍රීඩකයන්ට තමන්ගේ නියෝජනය සැහැල්ලුවෙන් ගන්න පුළුවන් වුණා. කකුල් රිදෙනවා කිව්වාම තරගය ක්‍රීඩා නොකර ඉන්න පුළුවන් වුණා. යම්කිසි ක්‍රීඩකයෙක් දැන් එහෙම කරනවානම් ඒ වෙනුවට අපිට තව ඕනේ තරම් ක්‍රීඩකයෝ ඉන්නවා කණ්ඩායමට ඇතුළත් කරන්න. දැන් කණ්ඩායමේ රැඳෙන්නනම් දක්ෂතා දක්වන්නම වෙනවා.

ටෙස්ට් තරග අංශයෙන් අපි දැන් ලොව තුන්වැනි තැනට ඇවිත්. එම අංශයෙන් අංක එකට එන්න සැලසුම?

අවුරුදු 19, 20 සිට අපේ ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ක්‍රීඩකයින්ට අවස්ථාව ලැබුණා. ඒ වයස් කාණ්ඩයේ ක්‍රීඩකයන්ට තව අවුරුදු 10ක් පමණ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ හැකියාව තියෙනවා. වයස අවුරුදු 25, 26 කියන්නෙත් තව අවුරුදු 10ක් පමණ ක්‍රීඩාවේ නියැළෙන්න පුළුවන්. අවුරුදු 29, 30 කියන්නේ තව අවුරුදු 5ක් පුළුවන්. එතකොට ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්නලාට තව අවුරුදු 2ක් 3ක් ක්‍රීඩා කරන්න පුළුවන්. වයස් කාණ්ඩයන් එකතු කරලා එහි සාමාන්‍යය 25ක් වන සේ මේ කාණ්ඩයන්ගෙන් හොඳම කණ්ඩායම හදාගැනීම තමයි අපේ අරමුණ.

මේ සාර්ථකත්වය පිටුපස ඇති කැපී පෙනෙන සාධක?

අපි දැන් හැමෝම එකතුවෙලා එකට වැඩ කරන්නේ. තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර මෙවැනි සබඳතාවයක් මින් පෙර කවදාවත් තිබිලා නැහැ. මහේල, ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සහ පුහුණු කාර්යමණ්ඩලය එකට එකතුවෙලා තමයි සැලසුම් සකස් කරන්නේ. ඔවුන්ගේ සැලසුමට අනුව ඒ සැලසුම සාර්ථකව ක්‍රියාත්මක කරන්න ඕනෙ කණ්ඩායම මම තෝරන්න ඕනේ. ඒ සම්බන්ධතාවය අපේ දැන් ඇතිවෙලා තියෙනවා. කලින් මේ ක්‍රමය තිබුණේ නැහැ. හිතුමතේටයි වැඩ සිදු වුණේ. කණ්ඩායමේ ජයග්‍රහණයේ සාර්ථකත්වයට අද මේ එකමුතුව විශාල හේතුවක්. ක්‍රිස් ඇවිල්ලා තවම මාස කිහිපයයි. මහේල ගිය ලෝක කුසලානයේදීත් අපිත් සමග හිටියා. මම දන්නවා ගිය ලෝක කුසලානයේදී සෙසු රටවල ක්‍රීඩකයාගෙන් ක්‍රීඩකයාට වෙන වෙනම මහේල සැලසුම් සකස් කළා. දැන් ඒවා අලුත් කරලා ගන්න විතරයි තියෙන්නේ. මහේලගේ පැමිණීම මම ඉතාමත්ම අගය කරනවා. ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය ඇති වෙන්න, ඔවුන්ව උද්ද්‍යෝගිමත් වෙන්න, නායකයාට උදව්වක් වෙන්න වගේම ක්‍රිස්ට සෑහෙන පහසුවක් වෙනවා. මේ ලෝක කුසලානෙදි එහි ප්‍රතිඵල දැකගන්න පුළුවන් වෙයි.

තේරීම් කමිටුව බලාපොරොත්තු වූ ආකාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාවය වර්ධනය කරගෙන ඇති අයුරක් පෙනෙනවා. මේ ඔබ බලාපොරොත්තු වූ මට්ටමද?

ඇත්තටම කියනවා නම් ශාරීරික යෝග්‍යතාවය මගේ කාර්යයක් නෙමෙයි. ඒත් මම තේරීම් කමිටුවට පැමිණි දිනයේ පටන් මම දැක්කා ශරීරික යෝග්‍යතාවය කියන දේ අපේ ක්‍රීඩකයන්ගෙන් මග ඇරිලා තිබුණ බව. මම පැමිණි මුල් කාලයේ ක්‍රීඩකයාට අවශ්‍ය විදිහට තමයි අභ්‍යාසකවරයා වැඩ කළේ. විභාගයක් තියෙද්දි වුණත් අම්මා තාත්තා ටොක්කක් අනිනකම් අපි පාඩම් කරන්නේ නැහැනේ. ඒ නිසයි බැනුම් අහල හරි මේක අතට අරන් ටිකක් තද කරේ. ශාරීරික යෝග්‍යතාවය නැති ක්‍රීඩකයින් දෙතුන් දෙනෙක්ව මම කණ්ඩායමෙන් ඉවත් කලේ ශාරීරික යෝග්‍යතාවය නැත්නම් කණ්ඩායමේ ඉඩක් නැහැ කියන පණිවුඩය දෙන්න. විනාඩි 8.55කදී කිලෝ මීටර් 2ක් කියන්නේ කාටත් දුවන්න පුළුවන් අන්දමේ ඉතාම සරල ඉලක්කයක්. ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය කිලෝ මීටර් 2ක දුවන්නේ විනාඩි 7යි ගණනකට. අපි ලැජ්ජා විය යුතුයි අපේ කණ්ඩායම ඒ මට්ටමේ ඉන්නවා කියන එක ගැන. එවැනි තත්ත්වයක තිබුණු දෙයක් තමයි අද මේ තත්ත්වයට රැගෙන ඇවිත් තියෙන්නේ. මේක තවදුරටත් පවත්වාගෙන යා යුතු නිසා ශාරීරික යෝග්‍යතාවය ක්‍රීඩකයන්ගේ ගිවිසුම් වලට ඇතුළත් කරන්න දැන් කටයුතු කරලා තියෙනවා. යම් ක්‍රීඩකයෙක් මෙය අසමත් වුවහොත් ඔවුන්ගේ කොන්ත්‍රාත්තුවෙන් යම්කිසි මුදලක් අඩු වෙනවා. මේ වෙද්දි මේ කාර්යය සම්පූර්ණයෙන් අභ්‍යාසකට භාර දීලා තියෙන්නේ. ඔවුන්ගේ වගකීම තමයි අපේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය ජාත්‍යන්තර මට්ටමට රැගෙන එන එක. ඒ අතරේ මමත් අහඹු ලෙස ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කරලා බලනවා. පන්දුවට පහරදීලා නැවත පන්දු රකින්න ආවාම නායකයා කියන ඕනෑම ස්ථානයක පන්දු රැකීමේ හැකියාව ක්‍රීඩකයන්ට තිබිය යුතුයි. පන්දු රැකීමේදී අපිට ක්‍රීඩකයන්ව හංගන්න බැහැ. හංගනවා කියන්නේ කවුරුහරි ෆිට් නැහැ කියන එක. ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී අපේ අය පන්දු රැක්ක ආකාරය දැක්කානේ. පන්දු රකින්නන්ට හැමවිටම තරගයක ලකුණු 20ක් 30ක් නවත්වන්න පුළුවන්. මේක වෘත්තීමය ක්‍රීඩාවක්. හොඳට ක්‍රීඩා කළොත් ඉල්ලුම වැඩියි. ලීග් තරග ක්‍රීඩා කරන්නත් පුළුවන්. ඒ කොයි දේ කරන්නත් ක්‍රීඩකයින්ට ශාරීරික යෝග්‍යතාවය අවශ්‍යයි. දැන් එය ක්‍රීඩකයන්ට තේරෙන්න ඕනේ.

අවසන් මහා තරගයේදී භානුක රාජපක්ෂ ගහපු 70ත් එක්ක ශාරීරික යෝග්‍යතාව පෙරට ගෙන භානුකව කණ්ඩායමෙන් ඉවත් කළාය කියන කාරණය නැවත කරලියට ආවා. ඇත්තටම මොකක්ද ඒ වුණේ?

මම තේරීම් කමිටුවට එද්දි භානුක හිටියේ එළියේ. අවුරුදු 09ක් භානුකව ජාතික කණ්ඩායමට කවුරුවත් ගෙනල්ලා තිබුණේ නැහැ. මම ඇවිල්ලා පන්දුවට පහරදීමේ වේගය 140ට වැඩි අය කවුද ඉන්නේ කියලා බැලුවාම භානුක ඒ තැන හිටියා. හැබැයි භානුකට තිබුණ චෝදනාව තමයි භානුක ශාරීරික යෝග්‍යතා ව්‍යායාම කරන්නේ නැහැ, ඒවා මග අරිනව කියන එක. මම භානුකට කතා කළා. ශාරීරික යෝග්‍යතාව අනිවාර්ය කළා. ඒ වගේ අපි කොහොම හරි භානුකව හදලා ගත්තා. ගිය විස්සයි විස්ස ලෝක කුසලානයේදී භානුක ශාරීරික යෝග්‍යතාවය හරියටම කළා. ඒ නිසා ඔහුට කණ්ඩායමේ අවස්ථාව හිමි වුණා. නමුත් ඊට පස්සේ භානුක නැවත ශාරීරික යෝග්‍යතාවය කිය දේ අතඇරියා. මම ආයෙත් ඔහුට කතා කරලා කිව්වා, නෑ මේක ඔයා හදාගන්න ඕනේ කියලා. ඒ විදිහට කියලා කියලා එයාගේ ශාරීරික යෝග්‍යතාව හරිතැනට ගත්තා. මට ඕනේ වුණේ භානුකව තරගයකට දෙකකට ක්‍රීඩා කරවන්න නෙමෙයි. වසර පහක් විතර කණ්ඩායමේ දිගටම තියාගන්න. දැන් එයාටම තේරිලා තියෙනවා එයාගේ හැකියාව ගැන. මට චෝදනාවක් ආවා මම භානුකව කපනවා කියලා. එහෙම අවශ්‍යතාවක් තිබුණා නම් ඒ වෙනුවෙන් අමුතුවෙන් දෙයක් කරන්න අවශ්‍ය නෑ. මට එනකොටත් කණ්ඩායමෙන් කැපිලා තිබුණු ඔහුව ඒ විදිහට තියන එක විතරයක් මට කරන්න තිබුණේ. මම කළේ කැපිලා හිටපු භානුකව අරගෙන කණ්ඩායමට අවශ්‍ය විදිහට ඔහුව හදලා ගත්ත එක. සාමාජ මාධ්‍ය වල එක්තරා සංවිධානාත්මක කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ගේ වුවමනාව තමයි මට මඩ ප්‍රහාර එල්ල කිරීම. එක් කොටසක් ඉන්නවා අපේ ක්‍රිකට් පරදිනවා බලන්න ආස. ඊට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා කරන්න පුළුවන්නේ. නමුත් තරග දින්නොත් ඒක කරන්න බැහැ. මම දන්නවා මේ අය කවුද කියලා. මම ක්‍රිකට්වලට අහසින් වැටුණා නෙමෙයිනේ. මේ තියෙන්නේ මමත් ගහපු ක්‍රිකට් එක, ඒක මම හදනවා. මට ඉන්න ක්‍රීඩකයන්ගෙන් මම වැඩේ ගන්නවා. ප්‍රමෝදයව වට්ටන්න බැහැ.

ලෝක කුසලාන තරගාවලිය අත ළඟටම ඇවිත්. ආසියානු කුසලානේදී ලබාගත් ජයග්‍රාහී රිද්මය ලෝක කුසලානේදිත් ඒ අයුරින්ම පවත්වාගැනීමට ඇති හැකියාව?

අපිට මුලින්ම තියෙන්නේ සුදුසුකම් ලැබීමේ වටයේ තරග ක්‍රීඩා කරන්න. ඒ දිහා බලනකොට පේනවා අපේ ක්‍රිකට් මීට පෙර කොහෙද තිබුණේ කියලා. ප්‍රධාන තරගාවලියට පෙර සුදුසුකම් ලැබීමේ තරගද, ඇතුළුව තරග පහක් ක්‍රීඩා කරන්න ලැබීම එක අතකින් හොඳ දෙයක් ලෙස මම හිතනවා. ඒ නිසා තරගාවලියට අපිට හොඳ ආරම්භයක් ලබා ගන්න හැකි වෙනවා. ක්‍රීඩකයෝ ආබාධයන්ට ලක් නොවී අපි තියාගත්තොත් අනිවාර්යයෙන්ම මේ ලෝක කුසලානය පිළිබඳව අපිට බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන්. ඉන්ද්‍රජිත් සුබසිංහ
 

More News..