brand logo

දාහත් වසක් තහනම් ගහේ ගෙඩි කෑ සැමියා ක්වේටයේ සිටියා කියා ගෙදර ඇවිත්

26 June 2020

ක්වේට් රටේ සිටි බව පවසමින් 17 වසරකට පසු නිවසට පැමිණි සැමියගෙන් ඔහු නිරෝධායනය වූ බවට ලබා දෙන සහතිකය බිරිඳ විසින් ඉල්ලා සිටි පුවතක් කටුගස්තොට පොලිස් වසමෙන් වාර්තා වේ. විවාහ වී බිරිඳ හා දරුවන් දෙදෙනා සමග තම නිවසේ විසූ සැමියා විදේශ රැකියාවක් සඳහා කටාර් බලා පිටත්ව ගොස් තිබේ. කටාර් හි වසර දෙකක් පමණ සේවය කළ මොහු ඉන්පසු නිවසට පැමිණ සති දෙකක් පමණ නිවසේ රැඳී සිට නැවත පිටව ගොස් ඇත්තේ ක්වේට් රටේ සේවය සඳහා යන බව පවසමිනි. මෙසේ නිවසින් පිටව ගිය සැමියා ක්වේට් රටට නොගොස් වසර 17 ක කාලයක් කිරිබත්ගොඩ ප්‍රදේශයේ වෙනත් කාන්තාවක් සමග ජීවත් වී තිබේ. තමන් විදෙස් රටක සිටිනා බව පවසමින් මෙරටේ විසූ මොහු පසුගිය දිනෙක තම බිරිඳ හා දරුවන් පදිංචිව සිටි බිරිඳගේ නිවස වෙත පැමිණ තිබේ. ඔහු නිවසට පැමිණි විගස බිරිඳ විසින් ඔහු මෙරට තුළ නිරෝධායනය වූ බවට ලබාදෙන සහතිකය ඉල්ලා තිබේ. ඉන්පසු ඔහු පවසා ඇත්තේ තමාට එවැනි සහතිකයක් නොලැබුණු බවය. මෙම පුද්ගලයා තම දියණිය හා දරු දෙදෙනා ඇතුළු සියලු දෙනාම රවටා ඇති බව වටහාගත් බිරිඳගේ පියා මොහු නිවසින් පිටමං කර ඇත. පසුව ඔහු අලවතුගොඩ තම උපන් ගමට ගොස් තිබේ. මොහු විදෙස් රටක සිට පැමිණි බවට සැක පහළ කළ ගම්වාසීන් ද නිරෝධායනය නොවී ඇති මෙම පුද්ගලයා හට විරෝධය පළ කර තිබේ. මේ අවස්ථාවේ කිසිවක් කරකියාගත නොහැකි වූ මොහු තමා රට නොගිය බවත්, කිරිබත්​ගොඩ ප්‍රදේශයේ ජීවත් වූ බවත් ප්‍රදේශවාසීන් හට පවසා තිබේ. මෙම පුද්ගලයා නිවසින් පිටව ගෙවූ වසර 17 ක කාලයේදී ඔහුගේ දෙමාපියන්ද මියගොස් ඇති බව වාර්තා වේ. බිරිඳ විසින් මොහුට විරුද්ධව කටුගස්තොට පොලිසිය වෙත පැමිණිල්ලක් ද කර තිබේ.
 

More News..