දළදා මන්දිරයේදී මෛත්රී-මහින්ද හමුවේ
21 May 2019
දළදා මන්දිරයේදී මෛත්රී-මහින්ද හමුවේ
21 May 2019
ඉකුත් සතියේ සෙනසුරාදා උදේ විපක්ෂ නායක මහින්ද, ලොහාන්, මහින්දානන්ද, කෙහෙලිය, දිලුම් යන මන්ත්රීවරුන් සමග දළදා වහන්සේ වැඳ පුදා ගනිමින් සිටියදී, දළදා වහන්සේ වැඳ පුදාගැනීම සඳහා තවත් විශේෂ අමුත්තෙක් ද පැමිණ සිටියේ ය. ඒ අන් කිසිවෙකුත් නොව, ජනාධිපති සිරිසේනය.
මහින්ද දළදා වහන්සේ වැඳ පුදාගෙන එළියට එනතුරු පහත මාලයේ රැඳී සිටි ජනාධිපතිවරයා මහින්ද සමග විනාඩි කිහිපයක් කතා බහ කිරීමට අමතක කළේ නැත. දෙදෙනා ආගිය තොරතුරු කතා කළා මිස වෙනත් ‘දේශපාලන කතා’ කතා කළේ නැත.
ඉන් අනතුරුව මල්වතු මහනායක හිමියන් මුණගැහෙන්නට ගිය මහින්ද අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් සමග ද ටික වේලාවක් කතාබහ කරමින් සිටියේ ය.
‘‘ආණ්ඩුව ගැන ජනතාවට දැන් විශ්වාසයක් නෑ... ළමයි බයවෙයි කියලා අත්අඩංගුවට ගන්න කඩු පෙන්නන්න එපා කියලත් කියනවා... එහෙනම් ඉතිං ඔය හොලිවුඩ් චිත්රපටි පෙන්නන්න එකත් නතර කරන්න වෙයි... පොඩි ළමයි ඒවටත් බය වෙනවනේ....’’ විමලධම්ම හිමියන් පැවසුවේය.
‘‘ආණ්ඩුව කරන්නේ අපේ හාමුදුරුවනේ කරන්න ඕනෙ දේ නෙවෙයි... ආණ්ඩුවට මේ ගැටුම කළමනාකරණය කරගන්න එක ගැන කිසිම අවබෝධයක් නෑ...’’ මහින්ද කීවේය.
‘‘මහින්ද ජනාධිපතිතුමාගෙ කාලේ කොටි එක්ක යුද්ධ කරනකොටත් අපි ඔහොම කළේ නෑ...’’ කෙහෙළිය ද කීවේය.
ඉන් අනතුරුව අස්ගිරි මහනායක හිමියන් බැහැ දැකීමට ගිය මහින්ද අස්ගිරිය අනුනායක වේඬරුවේ උපාලි හිමියන් බැහැදුටුවේය. ඉන්පසුව ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයට ගිය මහින්ද කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් ද බැහැදුටුවේ ය.
‘‘ඔබතුමා ගැන තමයි ජනතාව විශ්වාසය තියලා තියෙන්නේ... දැන් මේ රටේ ආණ්ඩුවක් නෑ වගේනෙ... දෙතුන් දෙනෙක් එකට එකතු වෙලා මේ රට විනාශ කරනවා...’’ සිරිවිමල හිමියෝ පැවසූහ.
ඉන්පසුව රාමඤ්ඤ නිකායේ මහ නායක හිමියන්ද බැහැදුටු මහින්ද අනුරාධපුරය බලා ගොස් සෙනසුරාදා රාත්රිය අනුරාධපුර ඩී.එස්. ගුණසේකර මහතා ගේ නිවසේ ගතකළේය. ඉන්පසුව ඉරිදා උදෑසනම ජයසිරි මහා බෝධිය වැඳ පුදා ගැනීමෙන් පසුව රුවන්වැලි සෑය ද වැඳපුදා ගත්තේ ය. රුවන්වැලි සෑයට කරඬුවක් ද, කප්රුක් පූජාවක් ද කළ මහින්ද ලංකාරාමය ද වැඳපුදාගෙන කොළඹ ආවේ ඉරිදා සවස් භාගයේ දී ය.