brand logo

දස දහසේ අල්ලසට IP හා PCවසර 28ක් සිපිරිගෙට

10 January 2020

නීති විරෝධී ලෙස ගෝන මස් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකුට එරෙහිව නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් දස දහසක අල්ලසක් ලබාගත් අරලගංවිල පොලිසියේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයකුට සහ පොලිස් කොස්තාපල්වරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් විසින් ඊයේ (9වැනිදා) බරපතළ වැඩ සහිත වසර 28ක සිර දඬුවම් නියම කරන ලදී. අරලගංවිල පොලිසියේ සේවය කළ පොලිස් පරීක්ෂක අනිල් ජයරත්න හෙට්ටිආරච්චි සහ එම පොලිසියේ හිටපු කොස්තාපල්වරයකු වන නීල් කුමාර යන අයට එරෙහිව මෙසේ සිර දඬුවම් නියම විය. සිර දඬුවමට අමතරව විත්තිකරුවන්ට රුපියල් විසිදහස බැගින් දඩද මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කරන ලදී. 2009 වසරේ අගෝස්තු මස 09 වැනිදා නීති විරෝධී ලෙස ගෝන මස් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුට එරෙහිව නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා මෙම විත්තිකරුවන් දෙදෙනා අදාළ පුද්ගලයාගෙන් රුපියල් දස දහසක අල්ලසක් ඉල්ලා තිබේ. පසුව එම අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි. ඉන්පසුව අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන ලදී. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා හතර සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව නිගමනය කළේය. ඒ අනුව එක් චෝදනාවකට වසර හතක් බැගින් චෝදනා හතර සඳහා බරපතල වැඩ සහිත වසර 28ක සිර දඬුවම් නියම කරන බවද සඳහන් කළේය. සිර දඬුවම් නියම වූ මෙම විත්තිකාර පොලිස් පරීක්ෂකවරයා එම චෝදනාව සඳහා නඩු පවරනු ලබන අවස්ථාවේ පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාරවරයෙක් ලෙස කටයුතු කර ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය. අධිකරණ වාර්තාකරු
 

More News..